Ranjith Dissanayaka

අජිත් පැරකුම් ජයසිංහ

රංජිත් දිසානායකට නැති තැන කළු රංජි කීවත්, අප කවුරුත් ඔහුට ගරුසරු ඇතිව කතා කළේ රංජිත් අයියා කියා ය. දැන් ඔහු කළු රංජි නමින් තරුවක් වී සිටියි. කිසිදා තරුවක් වන්නට නොපැතූ මිනිසකු තරුවක් කිරීමට හා ප්‍රසිද්ධියේ ඊර්ෂ්‍යාවට පවා ලක් කිරීමට උපුල් ශාන්ත සන්නස්ගලගේ රෝයල් තැප්‍රොබේනියන් අවකාශය සමත් වී තිබේ.

රංජිත් දිසානායක යනු 1971 කැරැල්ලට සම්බන්ධව සිටි, පසුකාලීනව ඉතාලියේ ජීවත්ව නැවත ලංකාවට පැමිණ වර්තමානයේදී අගහස් ප්‍රකාශන ආයතනය පවත්වාගෙන යන, සමාජ ක්‍රියාකාරිකයෙක්. ලංකාවේ වාම, ප්‍රගතිශීලී සහ සිවිල් සමාජ අවකාශයේ බොහෝ දෙනෙකු රංජිත් දිසානායක හඳුනනවා.

මීට පෙර රංජිත් දිසානායක ප්‍රවර්ධනය කළ තවත් තරගකාරී පොත් ප්‍රකාශකයකු වන්නේ ජනක ඉනිමංකඩ බව ද සිහිපත් කරගත යුතු ය. රංජිත් දිසානායක තමන් සමග නිතර බ්‍රැන්ඩි බොන මිතුරකු බව ඔහු පැවසුවා. ඔහුගේ සෙසු සමීප මිතුරන් වන්නේ මහාචාර්ය ජේ.බී. දිසානායක වැනි අයයි. කළු රංජි තමන්ගේ මිතුරකු බව පැවසීමට සංස්කෘතික ප්‍රභූ සමාජය ඉදිරිපත් වීම මා නම් දකින්නේ ඉතා සාධනීය තත්වයක් ලෙසයි. හැබැයි, කළු රංජි ගැන කතා කරන්නට ඉදිරිපත් නොවුණාට මා සිතන පරිදි ප්‍රේම් දිසානායකත් ඔහුගේ දීර්ඝකාලීන මිතුරෙක්.

රංජිත් දිසානායක කියන්නේ වාම අවකාශයේ අත්‍යවශ්‍ය සුබසාධනවාදී භූමිකාව ස්වේච්ඡාවෙන් භාරගෙන ඉටු කරන ක්‍රියාකාරිකයෙක්. ඔහු නැතිනම් ඒ භූමිකාව ඉටුකරන්නට වෙනත් කෙනෙකු වමට නැහැ. ඔහු කිසිදාක න්‍යායික තර්ක විතර්ක කරන හෝ කිසිදු පුද්ගලයකු හෝ කණ්ඩායමක් සමග ගැටුම් ඇති කරගන්නා පුද්ගලයෙකු නෙමෙයි. තමන් ස්වේච්ඡාවෙන් භාරගෙන කරන කාර්යභාරයට අමතරව වෙනත් දේශපාලන නායකත්ව වගකීම් භාරගැනීමට ඔහු කිසිදාක ඉදිරිපත් වුණේ නැහැ.

රංජිත් දිසානායක වැනි බොහෝ පුරාවෘත්තමය පුරුෂ චරිතවලට නිදහසේ වැඩකරන්නට අවශ්‍ය ආර්ථික පරිසරය හැදෙන්නේ ඔවුන්ගේ භාර්යාවන්, සහකාරියන් නිසා බව බොහෝ අය සිතන්නේ නැහැ. රංජිත් අයියා කුමන පාඩුව විඳ දරාගත්තත්, ඔහුගේ හෝ පවුලේ හෝ ජීවිතය බිඳ නොවැටෙන ආර්ථික ශක්තියක් ඔහුගේ බිරිඳ නීතා විසින් සපයනවා. ඇය නීතිඥවරියක්. ඔහුගේ දරුවන් ද ඔහුට උපකාර කරනවා. වාමාංශික සහෝදරවරුන් නම් කිසිවෙකු ඔහුගේ ව්‍යායාමයන්ට උපකාර කරනවා ඇතැයි මා සිතන්නේ නැහැ.

එහෙත්, ඔහුට විදර්ශන කන්නන්ගර කියන විදියේ ‘නොදැනුමේ දැනුමක් තුළ අපහරණව වන….
සංකීර්ණ නරුමයෙකු…. මුග්ධ අහිංසක’ කෙනෙකු නෙමෙයි. ඔහු කියන්නෙ මෙහෙමයි: “රංජි කියන්නෙ ලාභයට, මුදලට හා ප්‍රාග්ධනයට මිනිස් සබදතා, දේශපාලනය හා කලා-සංස්කෘතිය හිලව් නොකළ කල්‍යාණ සහෘදයෙක්. සන්නස්ගල කියන්නෙ සංස්කෘතිය හා අධ්‍යාපනය වානිජ ප්‍රාග්ධනයට යටත් කෙරුණු ලාංකේය පසු ධනවාදයේ සංස්කෘතික නිර්මිතයක්. විකිණීම උදානයක් කරගත් ඔහුව මීට දශක කිහිපයකට පෙර පලු ඇරපු සංස්කෘතික ප්‍රභූවරු අද ඔහුවත් පසුකරමින් පට්ට ධනකාමීන් වෙලා. සංස්කෘතිය කියන කලාපය ධනෝපායන මාර්ගයක් කරගත් මේ අලුත් ප්‍රභූ ධනපතීන් ගැන අපට සදාචාර විනිශ්චයක් නැහැ. සන්නස්ගල වැන්නෙකු අතින් කලා-සංස්කෘතික කලාපය තුළ සිදුවන සමහර ප්‍රයෝජනවත් වැඩ වලට ආන්‍තිකව දමල ඇරීමේ හදිස්සියකුත් මට නැහැ. එහෙත් අපට මේ ප්‍රවනතා ගැන දේශපාලනික-ආචාර ධාර්මික ගැටලුවක් තියෙනවා. සදාචාරය හා ආචාරධර්මය කියන්නෙ දෙකක්. සංස්කෘතිය, ප්‍රාග්ධන සමුච්චනයේ මූලෝපායක් බවට පත්කරල හදිසි ධනවතුන් වූ ප්‍රභූන්ට විමුක්ති දේශපාලනය වෙනුවෙන් ජීවිතය කැප කරල බොහෝ දේ අහිමි කරගත්ත රංජි වගේ මිනිස්සුන්ව සමරන්න ඕන වෙන්නෙ ඇයි? රංජි නම් වූ ෆැන්ටසියක් ඔවුනට අවශ්‍ය වන්නේ කවර ක්ෂතිමය යථාවකින් පලා යන්නද? මයිල් නැති හිත හොඳ පුකක රෝස මල් හිටවීම දේශපාලනික නැත්ද? කළු රංජි සහෝදරයා මේ වගේ අලුකුත්තේරු ප්‍රශ්න අසන්නේ නැත.එහෙත් ඔහු මේ යටි පෙළ නොදන්නා මුග්ධයකුම නොවෙයි. ඒ අරුතින් රංජි යනු සංකීර්ණ නරුමයෙකු විය හැකිය. මේ මොහොතේ රංජිගේ හදවත මසාජ් කිරීමට බොහෝ අය ඇත. එහෙත් නොදැනුමේ දැනුමක් තුළ ඔහුව අපහරණය වීම විචාරයට ලක් කිරීමට කිසිවෙකු බෙහෙතකට වත් නැත. රංජිගේ ජීවන භාවිතය නිර්මාණය වූයේ එක්තරා යුගයක විමුක්තිවාදී මානුෂීය සංස්කෘතියකිනි. එය මිනිස් වර්ගයාගේ සාමුහික අනාගතය පිළිබද ශේෂ පත්‍රයකි. පවතින ධනවාදී වෙළඳපොළ වනාහී මේ යුගයේ අවසාන නිෂ්ඨාව යැයි සපථ කරමින් උදාන ගී ගයන ලිබරල් ධන ප්‍රභූන් විසින් අද කළු රංජිලා සැමරීම යනු නරුම ලිබරල් සෝපහාසයකි. බැලූ බැල්මට අහිංසක යැයි පෙනෙන මේ වතාවත් විසින් තෘප්ත කෙරෙන්නේ යුගයේ නරුම ෆැන්ටසියකි. ‘මට උඹලාගෙන් උපහාර කුමටද?’ ‘මගේ හොඳ හිත සමරන්න මා තවම මියගොස් නැත.’ ‘උඹලාට වඩා මම හොඳ බොක්කක් වූයේ මන්ද ?’ කළු රංජි මෙවැනි ප්‍රශ්න ඇසුවොත් කලා-සංස්කෘතික ප්‍රභූන් බහුතරයකුගේ රෙදි ගැලවෙනු නියතය. එහෙත් කළු රංජිගේ මුග්ධ අහිංසක කම විසින් මෙම ප්‍රශ්න ඇසෙන්නේ නැත. මුග්ධ අහිංසක කම යනුද මේ යුගයේ අහිංසක නැති දේශපාලන ප්‍රවර්ගයකි..

මෙම ප්‍රකාශයේ අරමුණ විදර්ශන කන්නන්ගරගේ දේශපාලන භාවිතාවත් සමග විමසා බලන කල තේරුම් ගැනීම එතරම් දුෂ්කර නැහැ.

මේ සමරන්නේ මිනිසකු විසින් වාම අවකාශය තුළ නිර්මාණය කළ උප අවකාශයක, සංස්කෘතියක හා මිනිසත්භාවයක වටිනාකම. එය සමරන්නේ සමාජයක් හැටියට මිස න්‍යායික කුටීරයක් ලෙස යයි සිතිය යුතු ද? සතුට, ආදරය බෙදා හදා ගන්නා මෙවැනි සාමාන්‍ය සාමූහික මිනිස් ක්‍රියාකාරකම් මේ තරම් හෙළා දකින්නේ කුමට ද? මේවා තිබුණාම මොකද? උදාහරණයක් ලෙස, මා කොළඹ මෙවැනි සංස්කෘතික ක්‍රියාකාරකම්වලට සහභාගි වන්නේ නැහැ. මා ඒවාට සහභාගි වීම හෝ නොවීම කාටවත් වැදගත්කමකුත් නැහැ. ඒ නිසා මා ඒවාට සහභාගි නොවන්නේ ඇයි ද කියා කීමවත් වැඩක් නැති වැඩක්.

ඒත්, මා සිතන්නේ මෙවැනි ආදර වැඩසටහන් සමාජයේ පැවතිය යුතුයි. සරලව කීවොත්, මිනිසකු ජීවත් වන කාලයේ ඔහු අගයා සතුටු කිරීම, ආදරය ප්‍රකාශ කිරීම හොඳ දෙයක්. ඒ වගේ ම, මෙවැනි ක්‍රියාකාරකම් සඳහා මිනිසුන් එකතු වීමත් හොඳ දෙයක්. ඒවා සමග බද්ධ නොවී සිටීමට කැමති නම්, ඒකත් පෞද්ගලික නිදහස. ඒ සඳහා මිනිසුන් බැහැර කිරීම පිණිස ආයාසයෙන් න්‍යාය හදන්නට ඕනැ නැහැ. ලෝකය සියල්ලන් ඇතුළත් කරගැනීම, කිසිවකු අත් නොහැරීම වැනි සංකල්ප ගොඩනගද්දි වාමාංශිකයන් තවමත් සොයන්නේ සෙසු අයගෙන් වෙන්වන්නේ කොහොමද කියායි. වාමාංශිකයකු නොවන විමලරත්න කුමාරගම කවියා සිය කවියෙන් ඉගැන්වූ මෙම පාඩම ඉගෙන ගැනීම වමට පවතින්නට අවශ්‍ය නම් අත්‍යවශ්‍යයි.

සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
කෙම්මුර දවස් වල පානින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම

රංජිත් දිසානායක යනු වාමාංශිකයන්ගේ ජීවිත හා සංස්කෘතිය ගැන ගැඹුරු කියවීමක් ඇති අයෙක්. ඔහු පුද්ගලයන්ට උදව් කරන්නේ ජීවනෝපාය නංවන්නට හා දේශපාලන කටයුතු ඉදිරියට ගෙන යන්නට මිස හුදු අසරණ සරණ සඳහා නොවේ. ඔහු විසින් තම නායකයකු ලෙස සලකන ලද අප මිත්‍ර නැසීගිය ප්‍රේමපාල හේවාබටගේගේ ජීවිතය අවසන් කාලයේදී ගොඩනැගීමට ඔහු දැරූ තැත හා එය අසාර්ථක වූ විට ඔහු එය දැඩි විවේචනයට ලක් කරමින් ප්‍රේමපාලව දණ්ඩනයට ලක් කළ ආකාරය මට මතකයි. පුනරුදය ව්‍යාපාරයට රැස්වීම් මාලාව කරගෙන යාමට වාහනයක් සැපයීමට රංජිත් දිසානායක ඉදිරිපත් වුණ අවස්ථාවක් ද මට මතකයි.

රංජිත් දිසානායක යනු ඇති තරම් ආදරය විඳගත් කෙනෙකි. මෑත දශකයකට වැඩි කාලය තුළ කිසිවකු ඔහු සමග තරහ වූ බවක් මම නොදනිමි. ඔහු භාරගෙන ඉටු කරන කාර්යභාරය තුළ ඔහුට ජනප්‍රියත්වය, ආදරය, ගෞරවය දිනාගැනීම එතරම් අසීරු නැහැ. එහෙත්, වාම හෝ ප්‍රගතිශීලී අවකාශයක තවත් අයෙකු කරන කාර්යයක් කොහෙත්ම ජනප්‍රිය නොවෙන්නට පුළුවන්. උදාහරණයක් ලෙස, චිත්‍ර කලාව පිළිබඳ සුජිත් රත්නායක ගෙන එන කතිකාව නිසා ඔහු ජනප්‍රිය වන්නේ නැහැ. ප්‍රගීත් රත්නායක රංජිත් දිසානායකගේ සුන්දර චිත්‍රයක් නිර්මාණය කරනවා. එය කාගෙත් ආදරයට, ජනප්‍රියත්වයට ලක්වෙනවා. උපුල් ශාන්ත සන්නස්ගල ඇතුළු පිරිසක් කළු රංජි වෙනුවෙන් වැඩසටහනක් ගෙන එනවා. විදර්ශන කන්නන්ගර මේ වැඩේ පලු අරිනවා. හැබැයි මේ සියලු දේ එකම සමාජ සංස්කෘතික ප්‍රවාහයකට එකතු වෙනවා. සමාජය ඉදිරියට යන ගමනේ හැඩරුව නිර්මාණය වෙන්නට මේ සියල්ල අදාළ වෙනවා.

කවරයේ පළ වන කටු සටහන මා හදිසියේ ඇන්දේ 2017 වසරේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ වන දිනයේ මා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය ඔස්සේ රංජිත් දිසානායක සමග පැයක සම්මුඛ සාකච්ඡාවක් සාරප්‍රභාගිර වැඩසටහනෙන් විකාශය කරන්නට ගිය අවස්ථාවේදී ඒ සඳහා සමාජ මාධ්‍ය ප්‍රචාරණ මීම් එකක් ලෙසයි. එම මුල් චිත්‍රය පහත පළවෙනවා. හැබැයි, රංජිත් අයියා එදා ඒ වැඩසටහනට නෑවිත් ෆෝන් එකත් ඕෆ් කරගෙන මගඇරියා. ඒ වුණාට අපි ඒක අමතක කරලා දාලා නැවත හමු වුණ වෙලාවක එක සිගරැට් එක බෙදාගෙන බිව්වා. පස්සෙ වෙලාවක ආපහු ඒ වැඩේ කරමුද කියලාත් රංජිත් අයියා ඇහුවා. ඒ මොනවා නොකළත්, රංජිත් අයියා අප කාටත් කරපු උදව් උපකාර බොහොමයි.

Translations

Leave comment

Your email address will not be published. Required fields are marked with *.