Gunasekara Mitipola

ගුණසේකර මිටිපොළ කියන්නෙ මට පදවියේදී හමු වුණ අව්‍යාජ, ගැමි කලාකාරයෙක්. ඔහු කවියකු, ගීත නිර්මාණකරුවකු, ගායකයෙකු, ලේඛකයකු වගේ ම නාට්‍යකරුවෙකු ද වුණා. එසේම, ඔහු ප්‍රදේශයේ ගොවි නායකයෙක්. නියඟය නිසා කුඹුරු පාළු වී ගිය කාලයන්හිදී ඔහු පොළේ රෙදි වෙළඳාම ද කළා මට මතකයි.

Translations

සියල්ලට ම වඩා ඔහු අව්‍යාජ දේශපාලන ක්‍රියාකාරිකයෙක්. 1960 දශකයේදී කොමියුනිස්ට් පක්ෂයෙන් ඉවත් වන ඔහුට පදවියේදී රෝහණ විජේවීර හමුවෙනවා. එතැන් සිට ජවිපෙ ක්‍රියාකාරිකයකු බවට පත් වන ඔහු 1971 සහ 1989 යන කැරැලි දෙකේදී ම ජවිපෙ ක්‍රියාධරයෙකු වුණා. 1994දී පොදු පෙරමුණ බලයට ගෙන ආ අරගලයේදී එයට සම්බන්ධ වූ මිටිපොළ වසර කීපයකට පසු නැවතත් ජවිපෙ සමග එකතු වෙනවා. මා සිතන පරිදි ඔහු මරණය දක්වා ම දේශපාලනික වශයෙන් සමීපව සිටියේ ජවිපෙ සමගයි.

1983 ජවිපෙ තහනමින් පසුව උලපනේ අත්තනායක නම් වතු හිමියකු ලෙස වෙස් වළාගෙන සැඟවී සිටි රෝහණ විජේවීරගේ අත්උදව්කරුවකු ලෙස සේවය කළ ඒකනායක නමැත්තා එම කාර්යය සඳහා සම්බන්ධීකරණය කිරීමට තමන් ද සම්බන්ධ වූ බව මිටිපොළ සහෝදරයා අපගේ මිතුරකු සමග පවසා තිබුණේ එම ඒකනායකගේ අවමංගල්‍යයට සහභාගි වීමට අලව්ව ප්‍රදේශයට යන අතරතුරයි. ඒකනායක අංකල් නොහොත් පදවියේ සයිමන් 2006දී මිය ගියේය.

1990 දශකයේදී මා පදවියේ ගුරු වෘත්තියේ නියැලී සිටින කාලයේ මිටිපොළ සහෝදරයා එවකට සක්‍රිය සංවිධානයක් වූ රජරට නිර්මාණ සංසදයේ ද ඉදිරි පෙළ ක්‍රියාකාරිකයකු වුණා. තමන්ගේ නිර්මාණ එකතු කර ඔහු පලුගහවංගුව මහා විද්‍යාලයේදී පැවැත්වූ ඒක පුද්ගල ප්‍රසංගයක නිවේදක ලෙස කටයුතු කරන්නට මට ද වරක් අවස්ථාව ලැබුණා.

ඒ කාලේ අපි විහිළුවට කියපු කාරණයක් වුණේ කන්නයක් සරු වුණා නම් අනිවාර්යයෙන් ම මිටිපොළ ගී සරණියක් ද බැලිය හැකි බවයි.

ඔහුගේ නිර්මාණවල සුන්දරත්වය මා හඳුනාගත්තේ ශික්ෂණය නොවූ අව්‍යාජත්වය තුළයි. පහේ පන්තියට පමණක් පාසල් ගිය මිටිපොළ සහෝදරයා නිර්මාණය කළ සරල, සුන්දර ගීත රැසක් ම තිබුණා. ඔහුගේ ගායන ලෝකයේ වීරයා වුණේ ගුණදාස කපුගේයි. මිටිපොළගේ කටහඬ ස්වර අභ්‍යාසවලින් ශික්ෂණය වූ එකක් නොව, කුඹුරේ සී සාන, කොළ මඩින විට ගැයූ ජන ගායනාවලින් ඔපවත් වූ එකක්.

ජන කලාව සාමාන්‍ය මිනිසුන්ට අයිති දෙයක්. සම්භාව්‍ය කලාව පරිහරණය කරන විද්වතුන් ජන කලා ජනප්‍රියත්වයට ලොබ බැඳ ඒ අවකාශය ට විද්වත් ප්‍රමිති රිංගවා ආධිපත්‍යය තහවුරු කරගන්නට හදන එක බොළඳකමක්. විෂය ශික්ෂණය නොලැබූ සාමාන්‍ය මිනිසුන්ටත් නටන්නට, ගයන්නට, ලියන්නට, රස විඳින්නට තිබෙන අයිතිය පාගා ගන්නට ඊනියා විද්වත් පඬියන් උත්සාහ දරණ ලෝකයක මිටිපොළ සහෝදරයා වියළි කලාපයේ ඈත පිටිසර ගමක සිට පොදු ජන කලා නිදහස වෙනුවෙන් ගෙන ගිය අරගළය නිසා තමයි ඔහු මතක සිටින මිනිසකු වන්නේ.

ගුණසේකර මිටිපොළ වගේ සුන්දර, අව්‍යාජ ගැමියන් තව කොයි තරම් නම් මේ ලෝකයේ සැඟවී සිටිනවා ද? වර්තමානයට අවශ්‍ය දේශපාලනය හා ජනමාධ්‍ය වන්නේ එවැනි මිනිසුන්ගේ හඩ මතු කරන ඒවායි.

මිටිපොළ සහෝදරයා බෞද්ධයෙක්. 2020 මැයි 19දා අපෙන් සමුගත් ඔහුට නිවන් සැප ලැබේවා! විප්ලවවාදියකු වූ ඔහුට විප්ලවීය ආචාරය!

Leave comment

Your email address will not be published. Required fields are marked with *.