Mujibar Rahman

‘අරාබි’ ජාතික ගීය කියන මුජිබර් හඳුනාගන්න

මුජිබර් රහුමාන්ව අපි මුලින් ම හඳුනාගත්තෙ මුස්ලිම් වාමාංශිකයෙකු විදියට. ඔහු දේශපාලනයට පිවිසුණේ නව සමසමාජ පක්ෂයෙන්. ප්‍රගතිශීලී මුස්ලිම් තරුණ පරපුර නියෝජනය කළ නායකයෙකු තමයි ඔහු.

1990 දශකයේදී ඔහු තවත් පිරිසක් සමග එක්ව මුස්ලිම් එක්සත් විමුක්ති පෙරමුණ පිහිටෙව්වා.

එම්.එච්.එම්. අෂ්රෆ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පිහිටුවලා නැගෙනහිර මුස්ලිම් ප්‍රාදේශීයවාදයක් හා මුස්ලිම් ජාතිවාදී පදනමක් ප්‍රවර්ධනය කරද්දි එයට විරුද්ධව මුස්ලිම් සමාජයේ මතවාදය ගොඩනැගූ අයෙකු තමයි මුජිබර් රහුමාන්.

2005දි පමණ ඔවුන් පක්ෂය විසුරුවාහැර එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ කොළඹ මුස්ලිම් පදනම් ශක්තිමත් කරන්නට මුජිබර් රහුමාන් විශාල වැඩ කොටසක් කරනවා. ඔහු කොළොන්නාවේ පදිංචිව සිටි අයෙක්. ඔහු කවදාවත් මුස්ලිම් ජාතිවාදියෙකු වුණේ නැහැ.

මුජිබර් දෙමළ බස කතා කරන කෙනෙක්. දෙමළ භාෂාවේ බයන්නට, පයන්නට දෙකට ම භාවිතා වෙන්නෙ එකම අකුරක්.

ඔහු අරාබි ජාතික ගීය කිව්වා ය කියන කොටසෙ ඔහු කියන්නෙ මේ විදියට: “අපේ දූ දරුවො මේ රටේ අර අපි ජාතික ගීය කියන, එක මවකගෙ දරුවො කියල අපි කියනවා. අන්න ඒ එක මවකගෙ දරුවො කියන එක මහපොළවෙ යථාර්ථයක් කරන්න තමයි සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති වෙන්න ඕනැ.”

දෙමළ බස කතා කරන මුස්ලිම් මිනිහෙකු කියන අර අපි කියන වචන දෙක අරාබි ලෙස අර්ථකථනය කරන්නට තරම් ගෝඨාභය රාජපක්ෂගේ අනුගාමික සිංහල ජාතිවාදීන් පහත් තත්වයකට වැටුණා. මෙම වීඩියෝවේ වෙනත් තැනක ඔහු අපි කියන වචනය ශබ්ද කරන්නේත් ඒ හා සමානවමයි.

පහත දැක්වෙන්නේ ඔහු කරන ප්‍රකාශය:

https://www.facebook.com/mujiburrahmanmpofficial/videos/2554899898073177/

මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු වූ සුද්දච්චාරිගේ ප්‍රේමරත්න හෙවත් නිරෝෂන් ප්‍රේමරත්න ඒ ගැන කියන කතාව:

https://www.facebook.com/headlinenewslk/videos/395182174762011/

මෙහි දැක්වෙන්නේ සවුදි අරාබියේ ජාතික ගීයයි. එහි සංගීත නිර්මාණයත් රහුමාන් කෙනෙකුගේ නම් තමයි. ඒ ඊජිප්තු සංගීතඥයකු වූ අබ්දූල් රහුමාන් අල්-ඛටීබ්. සංගීත නිර්මාණය කර තිබෙන්නේ 1947දීයි. 1984 සිට භාවිතා වන වර්තමාන පෙළ අරාබි කවියකු වන ඊබ්‍රාහිම් අල් කෆාජි විසින් විරචිතයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකවරයාගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ තරම් පහත් ජාතිවාදී ප්‍රචාරණ ව්‍යාපාරයකට යොමුවෙන්න එපා. ඔබට ජයග්‍රහණය ගැන විශ්වාසයක් තිබේ නම්, දැන් සිට ම රට පාලනය කරන ජනාධිපතිවරයකු ලෙස වැඩ අරඹන්න. ලංකාවේ සියලු ජාතීන්ගේ නායකයා වන්නට උත්සාහය දැන්ම අරඹන්න. සියලු ජාතීන් විසින් පිළිගන්නා නායකයකු නොවුණොත් ඔබට කිසිදා සාර්ථක ජනාධිපතිවරයකු වන්නට බැහැ.