Prof. Rohan Samarajiva

රොහාන් සමරජීව

අර්ථශාස්ත්‍ර ලිපි පෙළෙහි කලින් ලිපිවලදී මා පෙන්වා දුන් කරුණක් වන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයේ ප්‍රමුඛතා වැරදි බවයි. ඉහළම ප්‍රමුඛතා විය යුතු කාරණා එක්කෝ හොඳින් ක්‍රියාත්මක වන්නේ නැත. නැතිනම්, කොහෙත්ම ක්‍රියාත්මක වන්නේ නැත. රාජ්‍යය ප්‍රමුඛ කාරණා නොවන බොහෝ දේ නරක ලෙස කරයි. ව්‍යාපාරයක් මේ අන්දමින් ක්‍රියාත්මක වුණා නම්, එය ඉක්මණින්ම බංකොලොත් වනු ඇත.

 (1 කොටස මෙතැනින්>>2 කොටස මෙතැනින්>> 3 කොටස මෙතැනින්>>)

එහෙත්, රාජ්‍යයන් එහෙම වන්නේ නැත. ප්‍රචණ්ඩත්වයේ මෙවලම් සම්බන්ධයෙන් රජයට ඒකාධිකාරයකට ආසන්න තත්වයක් තිබේ. ඔවුන්ගේ සේවය ලබන බව කියන පුරවැසියන්ගේ අවධානය පහසුවෙන් වෙනතකට යොමු කර නොමග යැවිය හැකිය.

මේවා සියලු රාජ්‍යවල පොදු ලක්ෂණ වේ. හැම රාජ්‍යයක්ම අපේ රාජ්‍යය තරම් නරක නැත. එසේම අපගේ රාජ්‍යය තවත් සමහර රාජ්‍යයන් තරම් නරක ද නැත. අපගේ රාජ්‍ය වැනි රාජ්‍ය කාලයත් සමග සංවර්ධනය වී තිබේ. අනාගතය අපැහැදිලි වුණ ද, බලාපොරොත්තු තබන්නට බැරි තරම් නොවේ. 

දේශපාලකයන් විසින් ප්‍රමුඛතා තීරණය කිරීම

ප්‍රමුඛතා තීරණය කළ යුත්තේ ජනතාව විසින් යයි කෙනෙකුට තර්ක කළ හැකිය. පරමාධිපත්‍යය තිබෙන්නේ ඔවුන් සතුවය. එකී පරමාධිපතීන් විසින් ප්‍රමුඛතා තීරණය කරන්නේ කෙසේද? එහි අමුතු ක්‍රමයක් නැත. එය කෙරෙන්නේ තමන් වෙනුවෙන් රට පාලනය කිරීමට නියෝජිතයන් පත්කරන ආකාරයටමය. එනම් කලින් කලට පවත්වන මැතිවරණ මගිනි.

මැතිවරණවලට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයෝ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරති. දිනන අපේක්ෂකයාගේ හෝ දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරි වසර පහ තුළදී ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය පාලනය කරන ගිවිසුම බවට පත්වේ. දේශපාලන නායකයන් බොහෝවිට ඔවුන්ට ලැබුණු ‘ජනවරම’ ගැන කතාකරති.

එහෙත්, එය පැහැදිලි කාරණයක් නොවේ. සෑම ප්‍රතිපත්ති ප්‍රකාශනයකම පොරොන්දු රාශියක් තිබේ. ඡන්දය යනු ඒ සෑම පොරොන්දුවක් සම්බන්ධයෙන්ම ලබාදුන් අනුමැතියක්ද?

ප්‍රතිපත්ති ප්‍රකාශනයක මූලික අරමුණ වන්නේ අපේක්ෂකයාට හෝ එම ප්‍රතිපත්ති ප්‍රකාශනය හිමි දේශපාලනය පක්ෂයට එම  මැතිවරණයේදී ඡන්දය දීම සඳහා පුරවැසියන් දැනුවත් කර පෙළඹවීමයි. ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සම්පාදනය කිරීම දේශපාලනික ක්‍රියාවකි. ඒ සඳහා දායකත්වය සැපයීමට විශේෂඥයන්ට හෝ විශේෂඥයන් ලෙස පිළිගත් අයට ආරාධනා කරනු ලැබේ. එහෙත්, වැදගත්ම නිර්ණායකය වන්නේ විශේෂඥභාවය නොව විශ්වාසයයි.

ප්‍රතිපත්ති ප්‍රකාශන සම්පාදනයේ යෙදුණු අය එම ක්‍රියාවලියේ තිබෙන විනිවිද නොපෙනෙන ස්වභාවය පිළිබඳ කියන්නට දනිති. එය ‘අවසන් කිරීමෙන්’ පසුව පවා මුලින් පිළිගත් දේ අතුරුදහන් වීමට හා අලුත් වගන්ති  අභිරහස් අන්දමින් ඇතුළුවීමට ඉඩ තිබේ. උපදෙස් විමසීම්, දායකත්වයන් ලබාගැනීම් ආදිය සිදුවේ. එහෙත්, අවසානයේදී තීරණ ගනු ලබන්නේ ‘කුස්සි කැබිනට්ටු’ මගිනි.

ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම නරක දෙයක් නොවේ. අපේක්ෂකයාගේ හෝ පක්ෂයේ වටිනාකම් එමගින් ඉදිරිපත් කරනු ලැබේ. බලයට පත්වුවහොත් ඔවුන් විසින් ගනු ඇතැයි සිතිය හැකි මාර්ගය එමගින් නිරූපණය කරනු ලැබේ. ඇතැම් දේශපාලනඥයන් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටපතක් ළඟ තබාගෙන එහි පොරොන්දු ඉටුකිරීමට ප්‍රයත්න දරනු දැකිය හැකිය (එහෙත්, මෙරට මෑතම හිටපු ජනාධිපතිවරයා ඔහුගේම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණේ කුමක්දැයි නොදැන සිටි බව ප්‍රකාශ කළේය). ඇතැමෙකු තම ප්‍රතිපත්ති ප්‍රකාශනය විධිමත් ප්‍රතිපත්ති ලේඛනයක් බවට පත්කරනු දැකිය හැකිය. වර්තමාන ජනාධිපතිවරයා කර තිබෙන්නේ ද එයයි.

දේශපාලනඥයන්, නිලධාරීන් හා පොදු ජනතාව මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනවලට ප්‍රමාණයට වැඩි වැදගත්කමක් දෙති. ප්‍රතිපත්ති ප්‍රකාශනයක් යනු, පුළුල්ව ගත් කල පාලනයක නැඹුරුව නිරූපණය කරන හා ප්‍රමුඛතා නිර්ණය කරනු ලබන ලේඛනයකි. ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සම්පාදනය කිරීමේදී අනුගමනය කරනු ලබන පක්ෂවාදී හා විනිවිද නොපෙනෙන පටිපාටිය හේතුවෙන් වැරදි හා ඉටුකළ නොහැකි පොරොන්දු එයට ඇතුළත් වීම වැළැක්විය නොහැකිය.

අපනයන සම්බන්ධයෙන් දුර්වල ලෙස සම්පාදනය කරන ලද කැපවීම් වර්තමාන ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි අඩංගු වේ. දෙදාස් දහඅට වර්ෂයේදී පුළුල් ලෙස අදහස් විමසීමෙන් අනතුරුව සම්පාදනය කරන ලද ජාතික අපනයන මූලෝපායයේ අරමුණු හා අභිමතාර්ථවලට අනුකූල නොවන කරුණු එහි අඩංගු වේ. වාසනාවකට මෙන්, අලුතින් පත්වූ ජනාධිපතිවරයා විසින් අපනයන සංවර්ධන මණ්ඩලයට පත්කරන ලද සභාපතිවරයා අපනයනකරුවෙකු වූ අතර ඉහත කී මූලෝපාය සකස් කිරීමට දායක වූ අයෙකි. ජාත්‍යන්තර විශේෂඥයන් ද ඇතුළු බොහෝදෙනෙකු විසින් එක්ව සම්පාදනය කරන ලද එම ප්‍රතිපත්තිය ඉවත විසිකර දමනු වෙනුවට ඔහු නිවේදනය කළේ ජාතික අපනයන ප්‍රතිපත්තියට ප්‍රමුඛතාව දෙමින් එය ක්‍රියාත්මක කරන බවයි. දුර්වල හා අඩු දැනුමක් ඇති අයෙකු නම්, ‘ජනවරමේ’ නාමයෙන් දැඩි හානියක් සිදුකිරීමට ඉඩ තිබිණි. 

ප්‍රශ්නය මෙන්ම එයට තිබෙන විසඳුම ද මෙම උදාහරණයෙන් නිරූපණය වේ.  

කිසියම් ප්‍රතිවාදියකුට එරෙහිව කිසියම් ඡන්දයක් දිනාගැනීම සඳහා කුස්සි කැබිනට්ටුවලදී දේශපාලනඥයන් හා ඔවුන්ගේ උපදේශකවරුන් විසින් තීරණය කරනු ලබන, ඔවුන් විසින් බාගෙට හදාරන ලද දැනුම මත පදනම් වූ අදහස් අවසානයේදී රාජ්‍ය ප්‍රමුඛතා නිර්ණය කරන ප්‍රතිපත්ති බවට පත්වන්නේ ඇයි? එයට හේතුව වන්නේ, බොහෝ කලාපවලදී වගකිවයුතු නිලධාරින් තම රාජකාරිය ඉටු නොකිරීම හා ප්‍රතිපත්ති සම්පාදනය කර නොතිබීමයි.  

දෙදහස් දහනවය වසරේ නොවැම්බර් මාසයේදී නව ජනාධිපතිවරයා වැඩ භාරගන්නා විට හා අපනයන සංවර්ධන මණ්ඩලයට අලුත් සභාපතිවරයකු පත්කරන විට 2018 ජාතික අපනයන මූලෝපාය සකස්කර නොතිබුණා යයි සිතන්න. එම සභාපතිවරයා හෝ වරිය කෙතරම් සුදුසුකම් සහිත, වැඩ කිරීමේ උනන්දුව සහිත පුද්ගලයකු වුව ද, එවන් තත්වයක් තුළ අවසානයේදී එම පුද්ගලයාට සිදුවන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන භාෂාවට යට වීමටයි.

පුළුල් උපදේශන ක්‍රියාවලියක් ඔස්සේ ජාතික අපනයන මූලෝපාය සකස් කර කැබිනට් අනුමැතිය පවා ලබාගෙන තිබියදී ජනාධිපතිවරයා විසින් දේශපාලන ඉත්තෙකු අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ධුරයට පත්කළා යයි සිතන්න. එවැනි තත්වයකදී, එම සභාපතිවරයා කරනු ඇත්තේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ප්‍රමුඛතාව ලබාදීමට උත්සාහ කිරීමයි. එහෙත්, ඔහුගේ නායකත්වය ලබන අපනයන සංවර්ධන මණ්ඩලයේ සෙසු නිලධාරීන් විසින් ජාතික අපනයන මූලෝපායේ ප්‍රමුඛත්වය ඔහුට පෙන්වා දෙනු ඇත. එයටත් වඩා වැදගත් කාරණය වන්නේ එම සභාපතිවරයා අපනයනකරුවන්ගේ විරෝධයට ලක්වීමයි. එම අපනයනකරුවන් වැඩිදෙනෙකු එම මූලෝපාය සැකසීමේ පුළුල් අදහස් විමසීමට සහභාගී වූ හා තම ආයෝජන තීරණ එම ප්‍රතිපත්තියට අනුකූලව සිදුකළ අයයි. නිසි ආකාරයෙන් සම්පාදනය කරන ලද ප්‍රතිපත්තිය හේතුවෙන් දේශපාලන ඉත්තාට පැවැත්මක් නැති වේදැයි හරියට කිව නොහැකිය. කෙසේ වෙතත්, එම පුද්ගලයා විසින් කරනු ලබන කඩාකප්පල් කිරීම ප්‍රබල විරෝධයකට ලක්වනු ඇත.  

අපනයන සංවර්ධන මණ්ඩලයේ වෘත්තිකයන් හා අදාළ දේශපාලන අධිකාරිය විසින් 2018 වසරට පෙර කාලයේදී ජාතික අපනනයන මූලෝපායක් නිසි පරිදි නිර්මාණය කිරීම සඳහා දරන ලද ප්‍රයත්නය හේතුවෙන් රටේ අපනයන ප්‍රමුඛතා පීලි පැන්නවීම පහසු කාර්යයක් නොවුනි. ඒ නිසා වැදගත් වන්නේ නිලධාරීන් තම රාජකාරිය හිදැස් නොතිබෙන පරිදි ඉටුකිරීමයි. එහෙත්, බොහෝ අමාත්‍යාංශවල තිබෙන්නේ රික්තයන්ය.

අමාත්‍යාංශ හා නියෝජිතායතනවල ධාරිතාවන්ගේ අඩුපාඩු   

දෙදහස් දෙක තරම් ඈත කාලයේදී, ප්‍රතිසංස්කරණ කෙරෙහි වැඩිම නැඹුරුවක් තිබුණු රජයක් යටතේ මා සේවය කරද්දී මට කරන්නට සිදුවූ තෝරාගැනීමක් මට සිහිපත් වේ. ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සම්බන්ධ කුඩා ඒකකයකට මම නායකත්වය දුන්නෙමි. ඒ යටතේ 1996දී ආරම්භ වී තිබුණු විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ වේගයෙන් සම්පූර්ණ කිරීම අපගේ එක් කාර්යභාරයක් විය.

මා එම තනතුරට පත්වීමට පෙර, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ජාතික විදුලි සංදේශ ප්‍රතිපත්තියක් සම්පාදනය කර තිබිණි. ඒ සඳහා ජාත්‍යන්තර උපදේශකවරයකුගේ සහාය ලබාගෙන තිබිණි. එහෙත් එය බරපතල වැරදි සහිත එකක් විය. එයට හේතුව වන්නේ එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු හිතාමතාම නොතකා හැර තිබීමයි. එසේ කර තිබුණේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ බලතල වර්ධනය කිරීමේ හා එහි නිලධාරීන්ගේ වරප්‍රසාද වැඩිකිරීමේ උවමනාවෙනි. එම කරුණු පෙන්වාදීම නිසා කැබිනට් මණ්ඩලය විසින් මෙම ප්‍රතිපත්තිය අනුමත කළේ නැත.

ඒ වන විටත් වියදම් කර තිබුණු මුදල් හේතුවෙන් කාර්යය සම්පූර්ණ කිරීම සඳහා තවත් උපදේශකවරයකුගේ සේවය ලබාගැනීමට හැකියාව තිබුණේ නැත. යම් කාලයක් යොදවන්නේ නම්, ජාතික විදුලි සංදේශ ප්‍රතිපත්ති කෙටුම්පත සංස්කරණය කළ හැකි බව මවිසින් මගේ ප්‍රධානීන්ට පෙන්වා දෙන ලදී. මවිසින් නායකත්වය දිය යුතුව තිබුණු තවත් ප්‍රතිසංස්කරණ තිබිණි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ  පස් අවුරුදු විදේශ ඒකාධිකාරය අහවර කිරීම, සංඛ්‍යාත පරාසය ප්‍රතිව්‍යූහගත කිරීම ආදී වැදගත් කාර්යයන් ගණනාවක් අප  ඉලක්ක කර තිබිණි. එයට අමතරව මා හට වෙනත් යටිතල පහසුකම් සම්බන්ධ ප්‍රතිසංස්කරණ වැඩද පැවරී තිබිණි. මා මෙම අමතර කාර්යයට අතගැසූ විට ඒවාට සිදුවන්නේ කුමක්දැයි මගෙන් අසන ලදී. 

ඒ ඇතැම් ඒවා සෙමින් කිරීමට සිදුවන බව මම පිළිගත්තෙමි. තීරණය කරනු ලැබුවේ ඒ වන විට සිදුවෙමින් තිබුණු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛතාව ලබාදීමටයි. එහෙත්, පාර්ලිමේන්තුව කලින් විසුරුවාහැර අලුත් ආණ්ඩුවක් බලයට පත්විය. අද දක්වාම අපට ජාතික විදුලි සංදේශ ප්‍රතිපත්තියක් නැත. 

ජාත්‍යන්තර ප්‍රතිසංස්කරණ ඔස්සේ ව්‍යාපාර ක්‍රියාවලි බහිර්කරණ ව්‍යාපාරය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අපගේ දායකත්වය දෙස ආපසු බලන විට, ජංගම විදුලි සංදේශ සේවා මෙහෙයුම්කරුවන් වෙනුවෙන් සංඛ්‍යාත පරාසය නිදහස් කිරීම, දුරකථන ලබාගැනීමේ පොරොත්තු ලේඛන අහෝසි වී යාම වැනි ප්‍රතිඵල දෙස බලන විට ඒ වෙනුවෙන් මගේ කාලය යෙදවීම පිළිබඳ මට පසුතැවිල්ලක් නැත. එහෙත්, ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ කණ්ඩායම් නායකයකු වූ මා එම කාර්යය වෙනුවෙන් කාලය යෙදවීමට අවශ්‍ය වීද?

විදුලි සංදේශනය වෙනුවෙන් වගකිව යුතු අමාත්‍යාංශයක් තිබිණි. අමාත්‍යාංශයක ප්‍රධාන වගකීම් වන්නේ ප්‍රතිපත්ති හා නීති සම්පාදනයයි. එහෙත්, බොහෝ අමාත්‍යාංශවල මෙම මූලික කාර්යය සඳහා අවශ්‍ය ධාරිතාව නැත. සාපේක්ෂ වශයෙන් වැඩි වැටුප් ගෙවන ලද, පුහුණු නිලධාරීන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සේවය කළහ. එහෙත්, රටේ මූලික නීතිය නොතකා හළ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීම මගින් ඔවුන් විසින් සිය නොහැකියාවන් හා අගතීන් ඔප්පු කර තිබිණි.

කේන්ද්‍රීය ප්‍ශ්නය වූයේ අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ නොහැකියාවයි. ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශ්‍ය යටතේ පැවති තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට (ICTA) නායකත්වය දුන් මෑත මාස 20ක කාලය තුළදී මම මෙම ප්‍රශ්නය මැනැවින් නිරීක්ෂණය කළෙමි. මා විසි වසරකට පෙර සේවය කළ තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශයට සාපේක්ෂව මෙම අමාත්‍යාංශය සතුව වැඩි නිලධාරින් සංඛ්‍යාවක් හා පහසුකම් තිබිණි. එහෙත්, ඔවුන් විසින් කරන ලැබුවේ ඉතා සුළු වටිනාකමක් ඇති කාර්ය ප්‍රමාණයකි. 2019 වසරේදී නීති කීපයක් හා ජාතික ඩිජිටල් මූලෝපායක් සම්පාදනය කරන ලදී. එහෙත්, ඒ කටයුතු සඳහා අමාත්‍යාංශයේ කිසිදු නිලධාරියකු වෙතින් සැලකියයුතු බුද්ධිමය හෝ වෙනත් දායකත්වයක් ඒ සඳහා ලැබුණේ නැත. ඔවුන්ගේ කාලය යෙදවුණේ අමාත්‍යාංශය යටතේ පැවති නියෝජිතායතනවල ක්‍රියාමාර්ග කකුලෙන් ඇද මන්දගාමී කිරීම වෙනුවෙනි.  

මෙහිදී පුද්ගලයන් බැනුම් නොඇසිය යුතු නොවේ. එහෙත්, එහි ව්‍යූහාත්මක ප්‍රශ්නයක් ද තිබිණි. මා අමාත්‍යාංශයෙහි සේවය කළ මාස 20 තුළ, එහි නම දෙවරක් වෙනස් කරන ලදී (ව්‍යවස්ථා කුමන්ත්‍රණ කාලය ද ගණන් ගතහොත්, ඇත්ත වශයෙන්ම තුන් වරක් වෙනස් කරන ලදී). අමාත්‍යාංශයට ඇමතිවරුන් දෙදෙනෙකු (හෝ තිදෙනෙකු) ද ලේකම්වරුන් හතරදෙනෙකු (හෝ හයදෙනෙකු ද) පත්කරන ලදී. විශ්‍රාම යාමට මාස කීපයකට පෙර එක් නිලධාරියකු ලේකම්වරයා ලෙස පත්කරන ලදි. මා සිතන පරිදි, එහි අරමුණ වූයේ එම නිලධාරියාට වඩා හොඳ විශ්‍රාම ප්‍රතිලාභයක් ලබාදීමයි.

පැලැස්තර විසඳුම්

ජේ.ආර්. ජයවර්ධනගේ සිට වර්තමාන ජනාධිපතිවරයා දක්වා දේශපාලන නායකයන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හා විස්සකට අධික සෙසු සේවාවන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ නොහැකියාව හඳුනාගෙන එයට එරෙහිව කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා පරිපාලන සේවය ප්‍රතිසංස්කරණය කිරීමේ අපහසුව තේරුම්ගත් ඔවුහු වෙනත් තාවකාලික විසඳුම් වෙත යොමුවූහ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති ධුරයට පත්වන්නටත් පෙර තම ලේකම්වරයා ලෙස සේවය කිරීම සඳහා පිටස්තර පුද්ගලයකු වූ ආනන්ද තිස්ස ද අල්විස් රැගෙන ආවේය. ජනාධිපතිවරයාට ලේකම්වරුන් පත්කිරීමේ බලය ලබාදීමෙන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් පත්කිරීමේ බලය කැබිනට් මණ්ඩලයට ලබාදීමෙන් 1978 වර්ෂයේදී හඳුන්වාදෙන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් එම භාවිතාව නීතිගත කරන ලදී. එමගින් පෞද්ගලික අංශයේ විශේෂඥයන් රාජ්‍ය අංශයේ තනතුරු වෙත පත්කිරීම ඉන්දියාවට වඩා පහසු විය.

රනිල් වික්‍රමසිංහ යළි පුබුදමු ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පරිපාලන ව්‍යූහයෙන් පිටස්තර පුද්ගලයන් විසින් නායකත්වය දෙන ලද කමිටු වෙත පැවරුවේය. එම විසඳුම අඩු වැඩි වශයෙන් අවුරුදු විස්සකට පෙර සාර්ථක විය. ඔහු විසින් එම පුද්ගලයන්ම 2015 වසරේදී නැවත පත් කරනු ලැබූ අවස්ථාවේදී ඔවුන් වියපත් වී තිබිණි. ප්‍රතිඵල ද දුර්වල විය. වර්තමාන ජනාධිපතිවරයා කරමින් සිටින්නේ දැනට සේවයේ යෙදෙන හෝ විශ්‍රාමික හමුදා නිලධාරීන් තනතුරුවලට පත්කිරීමයි.

රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙහිලා අසමත් වන බව පෙනෙන විට මණ්ඩල හා අධිකාරින් නිර්මාණය කරනු ලැබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අඩුපාඩු මකන්නට  ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය හා ඉන් පසු මහවැලි අධිකාරිය නිර්මාණය කරන ලදී. රජයේ විදුලි දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වයන් ලංකා විදුලිබල මණ්ඩලයට පවරන ලදී.

මණ්ඩල හා අධිකාරීන් ද අකාර්යක්ෂම බව ඔප්පු වන විට, රාජ්‍ය හිමිකාරිත්වය සහිත සමාගම් පිහිටුවන ලදී. ඒවා වානිජ ආයතනවලට පමණක් සීමා වූයේ නැත. කලින් සංස්ථා ලෙස තිබුණු ආයතන ද එම ප්‍රතිසංස්කරණවලට ලක්විය. ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරීම පැවරී තිබුණු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට (ICTA) දක්වා ද එය පුළුල් විය. මෙම වානිජ නොවන ඒකකවලට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ද පැවරී තිබිණි. ඒවාට අරමුදල් සම්පාදනය මුළුමනින්ම කරනු ලැබුවේ භාණ්ඩාගාර ප්‍රතිපාදන හෝ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය ප්‍රතිපාදන හෝ ණය මගිනි.

දේශපාලන අධිකාරීන් අඩු වශයෙන් ආරම්භයේදී හෝ ආයතන ක්‍රියාකාරීත්වයට තාවකාලික විසඳුම් ලබාදීමට උත්සාහ කළහ. නමුත් වැඩක් නොකරන එහෙත් වැඩ නැවැත්වීමට දක්ෂ ශ්‍රී ලංකා පරිපාලන සේවය දිගින් දිගටම මේ අළුත් ආයතන කඩාකප්පල් කිරීමට කටයුතු කළේය.  උපරිම වැටුප් හා නීති සම්බන්ධයෙන් ගැටලු නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා පරිපාලන සේවය වැනි විවිධ සේවාවන්ට අයත් රාජ්‍ය නිලධාරීන් උපරිම දායකත්වය ලබාදුන්හ. ඇතැම් අවස්ථාවලදී වැටුප් වෙනුවෙන් පවා මුදල්  අත්හිටුවීමට ඔවුහු සමත් වූහ. මෙම නිෂ්ක්‍රීය ආක්‍රමණශීලී ක්‍රියාමාර්ග හේතුවෙන් සිදු වූයේ තාවකාලික විසඳුම් ලබාදීමේ ක්‍රියාමාර්ග අඩපණ වීමයි.  

විසඳුමක් සඳහා

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ලෙස දක්ෂ නායකයකු පත්කිරීමට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගට අවශ්‍ය වූ ආකාරය මට සිහිපත් වේ. ඇගේ තර්කය වූයේ රාජ්‍ය සේවය සංවර්ධනය කිරීමේදී එම ආයතනය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරන බවයි. එහෙත්, ඇයට එය කිරීමට බැරි විය. එම ඉතා වැදගත් පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ තනතුර දැන් පවත්වා ගෙනයන්නේ  අමාත්‍යාංශ පත්වීම් ලැබෙන තෙක් බලාපොරොත්තුවෙන් සිටින ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ තාවකාලික නැවතුම්පළක් ලෙසයි. සමස්ත ආයතනයම  ඉහළ පෙළේ ටියුටරියක්  බවට පත්කරගෙන අවසන්ය.

දෙදහස් දාහතර වර්ෂයේදී, එවකට ජනාධිපති ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා පරිපාලන සේවය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂඥ කමිටුවක් පත්කරන ලදි. එහි බහුතරය සමන්විත වූයේ රාජ්‍ය සේවයෙන් පරිබාහිර පුද්ගලයන්ගෙනි. දෙදහස් පහළොව වර්ෂයේ ජනවාරි මස ආණ්ඩුව වෙනස්වීම නිසා එම කමිටුවට තම කාර්යය සම්පූර්ණ කිරීමට ලැබුණේ නැත. රාජ්‍ය යාන්ත්‍රණය භාරව සිටින නිලධාරීන්ගේ ධාරිතාවන් හා ආකල්ප සම්බන්ධයෙන් යමක් කළ යුතුව තිබෙන බව ජ්‍යේෂ්ඨ ප්‍රතිපත්ති සම්පාදකයන් වටහාගනිමින් තිබෙන බව ඉහත දක්වන ලද කරුණුවලින් නිරූපණ්‍ය වේ.

විවිධ සේවාවන් අතර වඩාත්ම බලවත් වන ශ්‍රී ලංකා පරිපාලන සේවය ප්‍රතිසංස්කරණය කිරීම මගින් ශ්‍රී ලංකා රාජ්‍යයේ අක්‍රියශීලීත්වය සම්පූර්ණයෙන් තුරන් නොවනු ඇත. එහෙත්, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීම රාජ්‍යයේ කාර්යසාධනය වැඩිදියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියකි. 

දේශපාලන බල විපර්යාස සිදුවන විට අඛණ්ඩතාව පවත්වාගෙන යන, නාස්තිය මගහරින, යම් ආකාරයකට ස්වයංව පාලනය වන සිවිල් සේවයක් ස්ථාපිත කිරීම කෙතරම් වැදගත්ද? වර්තමාන සමාජයේ සංකීර්ණ අවශ්‍යතාවන් සහිත සංදර්භය තුළ බලාපොරොත්තු වන සේවය ඉටුකිරීමට ඒ ඒ  විෂයයන්  ගැන විශේෂඥ දැනුමක් නැති  පරිපාලන සේවයකට හැකිද? 

විශේෂඥබවට වඩා වැදගත් වන්නේ විශේෂඥභාවය බලමුළුගැන්වීමේ හා කළමනාකරණය කිරීමේ හැකියාව බවට තර්ක කළ හැකිය. එමගින් අදහස් වන්නේ උපදේශකවරුන්ගෙන් අපේක්ෂිත කාර්යයන් නිශ්චිතව ඉදිරිපත් කිරීමේ හැකියාව, කාර්යයන් සඳහා සුදුසුකම් ලත් උපදේශකවරුන් වෙතින් අයදුම්පත් ලබාගැනීමේ හැකියාව හා හොඳම උපදේශකවරුන් බඳවාගැනීමේ හැකියාවයි. ඉන් අනතුරුව ඔවුන්ගෙන් හොඳම සේවාවක් ලබාගැනීමයි.

විශේෂිත කාර්යයක් වෙනුවෙන් සේවා කොන්දේසි ලේඛනගත කිරීමම ඉහළ කුසලතාවක් අවශ්‍ය කාර්යයකි. රජය තුළ විදුලි සංදේශන ව්‍යාපෘතිවලදී භාවිතා කරන්නන් මගින් අවශ්‍යතා විස්තර කරවාගැනීම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට (ICTA) විසින් මුහුණදෙන ලද තියුණුම අභියෝගය විය. රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් සැබෑ මානව ධාරිතාවන් ගොඩනැගීම අවශ්‍යය. සමාගම් සැබැවින්ම ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් අවබෝධය ලබාදීම ද එයට ඇතුළත්ය. වර්තමාන කටපාඩම මූලික කරගත්  පුහුණුවීම් මගින් එය සිදුකළ නොහැකිය.

අවශ්‍ය සම්පත් ලබාදීමෙන් තොරව රාජ්‍යය විසින් සේවයේ යොදවනු ලබන පුද්ගලයන් සංඛ්‍යාව තේරුමක් නැතිව වැඩිවීම මගින් පරිපාලනය තවත් දුෂ්කර වී තිබේ. රාජ්‍ය නිලධාරීන්ට දායකත්වයකින් තොරව ජීවිත කාලයම වෙනුවෙන් ලබාදෙන විශ්‍රාම වැටුප, විධිමත් අංශයේ සෙසු අයට ලබාදෙන දායකත්ව සේවා නියුක්ති අරමුදල් හා ස්වයං රැකියාවල නියුතු අයට හා අවිධිමත් අංශයේ අයට කිසිවක් ලබා නොදීම මගින් ශ්‍රම බලකායට ඇති කරනු ලබන විකෘති බලපෑම ඉවත් කිරීම විශේෂඥයන්ට රජයේ සේවයට ඇතුළු වීමට හා රජයේ සේවයේ සිටින අය ඉන් ඉවත් වී වෙනත් අංශවලට යාම සඳහා අත්‍යවශ්‍ය බව පෙනේ.

මේ වනාහි අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණවල මූලිකාංග කීපයක් පමණි. ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කීමට තව බොහෝ දේ තිබේ.

2 thoughts on “අර්ථශාස්ත්‍ර 4: නොමග යවන ලද රාජ්‍ය ප්‍රමුඛතා සහ ඒවා නැවත සකස් කරන ආකාරය

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: