Gangule Weda Mahattaya

පානදුර, ගඟුලේ ප්‍රසිද්ධ අක්ෂි වෙද මහතා අභාවප්‍රාප්ත වෙයි

පානදුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාරම්පරික අක්ෂි වෛද්‍යවරයකු වන ගඟුල පදිංචි බෙල්ලනගේ සෝමදාස ප්‍රනාන්දු වයස අවුරුදු 74ක් ආයු වළඳා අභාවප්‍රාප්ත විය.

Translations by Creative Content Consultants

ඇසට බෙහෙත් නොදමා, ඇසේ සුද මතුවීම, ග්ලූකෝමා, දියවැඩියාව නිසා සිදු වන අක්ෂි දුර්වල වීම, වයස සමග සිදු වන පෙනීම දුර්වල වීම වැනි තත්වයන්ට මෙම වෙද මහතා ප්‍රතිකාර කළේ ය.
කෝමාරිකා, රණවරා මල්, කොළ, මුකුණුවැන්න, මදටිය කොළ, දෙළුම් මල්, කොළ, සමන්පිච්ච මල්, කොළ, රත්මල්, කටරොඩුමල්, කොළ ආදිය භාවිතා කරමින් ඇස වටා පත්තු, සම්බාහන, හිසේ ගැල්වීම්, පයේ ගැල්වීම් ආදිය කරනු ලැබේ.

රෝගීන්ගෙන් ඔවුන් තම නම ලියා ලියුම් කවරයකට දමා පෙට්ටියට දමන මුදලක් පමණක් ලබාගන්නා මෙම වෙද මහතා ප්‍රතිකාර කරන්නේ දවල් 12 දක්වා පමණි. පැමිණෙන රෝගීන්ට දිවා ආහාර ද සපයනු ලැබේ. දානපතීන්ගේ පරිත්‍යාගවලින් මෙම ආයතනය පවත්වාගෙන යනු ලැබේ.

දැනට වෙද මහතාගේ පුතකු වන ඉෂාර ප්‍රනාන්දු මෙම වෙදකම ඉදිරියට ගෙන යයි. ඔහු සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකි.

මාර්ෂල් ප්‍රනාන්දු නම් පාරම්පරික සර්වාංග රෝග වෛද්‍යවරයාගේ පුතු වූ ඩේවිඩ් ප්‍රනාන්දු ද පාරම්පරික සර්වාංග රෝග වෛද්‍යවරයෙකි. සෝමදාස ප්‍රනාන්දු ඔහුගේ පුතෙකි.

මේ වන විට අක්ෂි රෝග ඇතුළු සියලු රෝග සම්බන්ධයෙන් බටහිර වෛද්‍ය විද්‍යාව ඉතා දියුණු තත්වයක පවතින මුත්, හාස්කම් සහිත පාරම්පරික වෙදකම් පිළිබඳ බොහෝ දෙනෙක් විශ්වාස කරති. ඇලපති වෛද්‍ය ක්‍රමය ලොව දියුණුම වෛද්‍ය ක්‍රමය වුණ ද, එකම වෛද්‍ය ක්‍රමය නොවේ. එබැවින් ප්‍රතිකාර කළ යුත්තේ එම ක්‍රමයට පමණකැයි නීති සම්පාදනය කිරීමේ හැකියාවක් නැත.

නිවාරණයට මුල් තැන දෙන ආයුර්වේදය, හෝමියෝපති, යුනානි වැනි තවත් වෛද්‍ය සම්ප්‍රදායන් රැසක් ලොව පුරා තිබේ. කෙසේ වෙතත්, මේ වන විට ශ්‍රී ලංකාව පුරාම පාරම්පරික යයි කියන වෛද්‍යවරුන් අලුතෙන් මතු වී තිබෙනු දැකිය හැකි ය. ඔවුන් වෙත සිය ගණන් රෝගීහු දිනපතා පැමිණෙති. ඔවුන් අතරින් ඇතැමෙකු රෝග සුව කරන්නේ හාස්කම් බලයෙනි. මෙම ප්‍රතිකාර ක්‍රමවල ප්‍රමිතිය සම්බන්ධයෙන් බරපතල ගැටලු තිබේ.

(ඡායාරූපය දිනමිණ පුවත්පතෙනි)