Recover Better

වඩා හොඳින් සුවපත් වෙන්න – මානව හිමිකම් වෙනුවෙන් නැගීසිටින්න

අද, දෙසැම්බර් 10දා, මානව හිමිකම් දිනයයි. මෙවර මානව හිමිකම් දිනයේ තේමාව වන්නේ “වඩා හොඳින් සුවපත් වෙන්න – මානව හිමිකම් වෙනුවෙන් නැගීසිටින්න (Recover Better – Stand Up for Human Rights)” යන්නයි.

මෙවර මානව හිමිකම් දිනයේ තේමාව කොවිඩ්-19 ගෝලීය වසංගතය සමග සම්බන්ධයි. සුවපත් වීමේ හා කිරීමේ උත්සාහයන්වලදී මානව හිමිකම් තහවුරු කිරීම තමයි එහි අරමුණ.

මේ තේමාව ශ්‍රී ලංකාවට ඉතා වැදගත්. ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 සම්බන්ධ ක්‍රියාමාර්ගවලට නායකත්වය දෙන්නේ සෞඛ්‍ය අංශවලට වඩා හමුදාවයි. පොලිසියත් එහිදී විශාල කාර්යභාරයක් ඉටුකරනවා. මුල්කාලයේදී ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මර්දන උපායමාර්ගය වුණේ හැකිතරම් පරීක්ෂණ සිදුකර ආසාදිතයන් හඳුනාගැනීම නොවෙයි. ඒ වෙනුවට කළේ ආසාදිතයන් පිළිබඳ විමර්ශනය කර ආශ්‍රිතයන් හඳුනාගෙන, ඔවුන් අල්ලා නිරෝධායනයට පැටවීමෙන් හා සමාජය තුළ රෝගීන් හා ආශ්‍රිතයන් සම්බන්ධයෙන් භීතියක්, පිළිකුලක් නිර්මාණය කිරීමෙනුයි.

මෙම වසංගත මෙහෙයුම මුල්කාලයේදී සාර්ථක බව පෙනුණත්, එය තිරසර නැති බව අප නම් මුල සිටම පෙන්වා දුන්නා. මේ වන විට, එය මුළුමනින්ම අසාර්ථකබව ඔප්පු වී හමාරයි. ශ්‍රී ලංකාව මේ වන විට සිටින්නේ කොවිඩ්-19 ප්‍රජාව අතර ව්‍යාප්ත වී ඇති බවට සාක්ෂි තිබියදීත් එය ප්‍රකාශයට පත්කිරීමට පමණක් පැකිළෙමින් සිටින සංදර්භයකයි.

වසංගත මර්දනයේ මුවාවෙන් හමුදා, පොලිස්, සෞඛ්‍ය හා මාධ්‍ය මෙහෙයුම් හරහා රෝගීන්ගේත්, ආශ්‍රිතයන්ගේත්, පොදු සමාජයේත් මානව හිමිකම් උල්ලංඝනය නැවැත්වීමට මෙවර මානව හිමිකම් දිනයේ තේමාව උපයෝගී කරගත යුතුයි.

පසුගිය දිනවල මහර බන්ධනාගාරයේදී කොවිඩ්-19 රෝගීන් නවදෙනෙකු ඇතුළු රැඳවියන් 11දෙනෙකු මරාදැමුවානේ. මේ මරණ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කරන්න. ඔවුන් මරාදැමුවේ කවුරුන් විසින්ද? රජය කියන පරිදි සිරකරුවන් විසින් නම්, ඒ සිරකරුවන් කවුරුද? මෙතනින් පටන්ගනිමු. කොවිඩ්-19 රෝගීන් මරාදැමූ වෙනත් රටක් නැහැනෙ.