Sri Lankan Army Commander, Shavendra Silva

එක්සත් ජාතීන් තම සාම මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා හමුදාව යොදාගැනීම අත්හිටුවීමට තීරණය කර තිබේ. එයට හේතුව වන්නේ යුද අපරාධ චෝදනා ලද මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අගෝස්තු මාසයේදී හමුදාපති තනතුරට පත්කිරීමයි.

Translations by Creative Content Consultants

ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානව හිමිකම් නීති බරපතල අන්දමින් උල්ලංඝනය කිරීම්වලට ඔහු සම්බන්ධ බවට පිළිගතහැකි චෝදනා ඇති බව එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ෆර්හාන් හක් නිව්යෝක්හිදී රොයිටර් පුවත් සේවයට පැවසී ය. “මෙම පත්වීම හේතුවෙන් එක්සත් ජාතී්න්ගේ සාම මෙහෙයුම් කාර්යාලය විසින් අනාගතයේදී ශ්‍රී ලාංකික හමුදා මෙහෙයුම් සඳහා යෙදවීම අත්හිටුවනවා. එය සිදු නොකරන්නේ එම ඉවත් කිරීම මගින් බරපතල මෙහෙයුම් අවදානමක් ඇති වන්නේ නම් පමණයි,” යි ඔහු වැඩිදුරටත් පැවසී ය.

ශ්‍රී ලාංකික ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම කරන ලද අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචිලට් දැඩි වචනයෙන් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, මහා මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන් හා වෙනත් සංවිධාන විසින් ලේඛනගත කර තිබෙන ඔහුට එරෙහි චෝදනා බරපතල හා විශ්වසනීය බවයි. “the allegations of gross human rights violations against him, documented by the United Nations and other organizations, are serious and credible.”

එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් ශ්‍රී ලංකාවට පිළිගැනීම, ගෞරවනීයත්වය හා විදේශ විනිමය ලැබුණු මාර්ගයක් විය.

2009දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන්, සිංහල ජාතියේ බහුතරයකගේ පූර්ණ දායකත්වයෙන් දෙමළ ඊලාම් අරගලයට එරෙහි යුද්ධය පරාජය කරන ලදී. මෙම යුද්ධය තනිකර ම සිංහලයන්ගේ යුද්ධයක් නොවේ. එය දෙමළ ජාතිකවාදීන්ගේ ද තෝරාගැනීමකි. අපි එදා ඒ තෝරාගැනීමට විරුද්ධ වුණෙමු. එහෙත්, දෙමළ ජාතිකවාදීන් ඒ විනාශකාරී තෝරාගැනීම කිරීම වළක්වන්නට අපට බැරි විය.

ඒ නිසා යුද්ධය ජයගත් පාර්ශ්ව සම්බන්ධයෙන් අපගේ විශේෂ අමනාපයක් නැත. සාම මාර්ගය විවෘතව තිබියදී, එය වෙනුවට පරාජය වීමට වැඩි ඉඩක් තිබුණ යුද්ධයක් තෝරාගැනීම සම්බන්ධයෙන් අපට දෙමළ ජාතිකවාදීන් සම්බන්ධයෙන් ඇත්තේ කණගාටුවකි. කෙසේ වෙතත්, යුද්ධයේ අවසානය විසින් ජාතිකවාදයන් සම්බන්ධයෙන් ද සුසමාදර්ශීය වෙනසක් සිදු කරන ලදී.

එහෙත්, යුද්ධය සදාකල්හිම ගැටලු සහිත ය. යුද්ධය දිනීම පිළිබඳ උදම් අනන්නට හා එහි ගෞරවය දිනාගන්නට පොරකන අය එහි වගකීම් ද භාරගත යුතු ය.

යුද්ධයට නායකත්වය දුන් අයට යුද අපරාධ කරන්නට සිදු විය. යුද අපරාධ කළා නම් ඒවාට වගකියන්නට ද සිදු වේ. එය ඔවුන්ගේ වරදක් වුණත්, නැතත්, වගකීමෙන් ගැලවෙන්නට බැරි ය. යුද්ධයට හුරේ දැමූ දේශපාලකයන්, මාධ්‍යකරුවන්, ජාතිවාදීන් ඒ වගකීම් බෙදාගන්නට ඉදිරිපත් වන්නේ නැත.

යුද අපරාධ චෝදනා එල්ල වන නිලධාරීන් සම්බන්ධයෙන් බුද්ධිමත් රාජ්‍ය ප්‍රතිපත්තිය විය යුතුතේ ඔවුන් ආරක්ෂා කරමින් ඔවුන් අඩු නිරාවරණයක තැබීමයි. යුද අපරාධවලට සම්බන්ධ අය රාජ්‍ය නායකත්වය, හමුදාපතිකම වැනි දේ අපේක්ෂා කිරීම හා එම අපේක්ෂා දිනාගැනීම සඳහා යුද අපරාධ ඉතිහාසය ම විකුණන්නට යාම රටට ප්‍රශ්න ඇති කරයි. එය අවසාන වශයෙන් රටට අහිතකර ය. රටකට වැදගත් පුද්ගලයන් නොව, සමාජය බව මෙම පුද්ගලයන් තේරුම් ගත යුතු ය. තම පුද්ගල අභිමතාර්ථ රටේ අවශ්‍යතාවන්ට ඉදිරියෙන් තබන්නන් දේශප්‍රේමීන් ද?

Leave comment

Your email address will not be published. Required fields are marked with *.