Selvam Sivapakyam

මේ ඡායාරූපයේ ඉන්න සෙල්වම් සිවපාක්‍යම් මුලතිව්හි පදිංචි කාන්තාවක්. ඇය පසුගිය කාලය පුරා ම අතුරුදහන් වූවන් වෙනුවෙන් යුක්තිය සොයන උද්ඝෝෂණවලට සක්‍රියව සහභාගි වුණා.

ඇය සොයන්නේ යුද්ධයේ අවසන් සමයේදී අතුරුදහන් වූ සිය දියණියගේ පුත්‍රයා වන ඇල්ෆ්‍රඩ් දිනූට කුමක් වුණා ද කියන එකයි.

යුද්ධයෙන් අවතැන් වී යළි පදිංචි කළ ජනයාගේ ජීවිත නැවත ගොඩනගාගැනීම සඳහා තවමත් ප්‍රමාණවත් තරමින් ආධාර උපකාර සිදුවන්නේ නැහැ. අධික රස්නය මැද තහඩු නිවසක ජීවත් වූ ඇය දිගුකාලීනව අසනීප වී සිට 72 විය සපුරද්දී ජරපත් මැහැල්ලක සේ මිය ගියා.

ඇය උපදින්නේ ශ්‍රී ලංකාව නිදහස ලබා මාස එකහමාරකට පමණ පසුව 1948 මාර්තු මාසයේදීයි. ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත්, විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධනත් උපදින්නේ ඉන් වසරකට පසුවයි.

සිවපාක්‍යම්ගේ අවමංගල්‍යය සිදු වුණේ 2020 පෙබරවාරි 26වෙනිදායි. එදාම තමයි, විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන ජිනීවාහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 42වන සැසි වාරයේදී ශ්‍රී ලංකාව වගවීම පිළිබඳ 30/1 සහ 40/1 යෝජනා සම්මතයන්ගේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වන බව නිවේදනය කළේ.

ශ්‍රී ලංකාව තවත් රටවල් සමග එක්ව යෝජනාවක් සම්මත කළා. අවුරුදු ගණනාවකට පසු ශ්‍රී ලංකාව නිවේදනය කරනවා තමන් ඒ යෝජනාව සම්මත කළ ඉතිහාසයෙන් ඉවත් වෙනවා ය කියා. ඒ අතර යෝජනාවේ සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් ඉටු කරලාත් ඉවරයි.

සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීම මේ වගේ දෙයක්. ගමේ මරණාධාර සමිතියේදී ඔබ යෝජනා කරනවා ප්ලාස්ටික් පුටු 50ක් මිළ දී ගන්න. අවුරුදු පහක් යනකොට තේරෙනවා ප්ලාස්ටික් පුටු හොඳ නැති බව. ඒ නිසා දැන් ඔබ කියනවා ඔබ ඒ යෝජනා කරපු එකෙන් අයින් වෙනවා ය කියා. මේක ගමේ මරණාධාර සමිතියක නම් මළ විකාරයක්.

ඒ වුණාට, ජාත්‍යන්තර දේශපාලනයේදී මෙවැනි විකාර සහගත ක්‍රියා සිදුවෙන්නට පුළුවන්. ලෝකය ඉදිරියේ ලංකාව ප්‍රදර්ශනය කර තිබෙන්නේ රටක් විදියට අපට රාජ්‍ය ප්‍රතිපත්ති නැති බවයි. අපට තිබෙන්නේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට මාරු වෙන ප්‍රතිපත්ති. මේ කාරණාව මානව හිමිකම්වලට විතරක් නෙමෙයි, ආයෝජක විශ්වාසය සම්බන්ධයෙනුත් බලපානවා.

ශ්‍රී ලංකා රජයත්, දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයත් අතර යුද්ධය පැවති තිස් අවුරුද්ද පුරා ම දෙපාර්ශ්වය විසින් ම බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් කළා. යුද්ධයේ අවසන් සමයේදී කොටි සංවිධානය සාමාන්‍ය ජනතාව මිනිස් පළිහක් ලෙස භාවිතා කළා. රජය යුද්ධය ජයගැනීමේ උවමනාව මත මානව හිමිකම් ගණන් ගත්තේ නැහැ. යුද්ධය අවසානයේදී භාර වූ කොටි සටන්කරුවන් 15,000ක් පමණ අතුරුදහන් වන බව වාර්තා වෙනවා. ඔවුන් ඝාතනයට ලක්වන්නට ඇති. කොටින්ගේ නිල නොවන ආණ්ඩුවක් පවතිද්දී, ඒ බලහත්කාරයට යටත්ව කොටි සංවිධානයේ සටන්කරුවන් බවට පත් වී සිට භාර වූ ජනයා ඝාතනය කිරීම සැබැවින් ම අපරාධයක්. මේ පිටසක්වළ ජීවීන් නෙමෙයි. අපේ රටේ ම ජනතාව. ඒ සම්බන්ධයෙන් රජය වග විය යුතුයි. කොටි සංවිධානය මානව හිමිකම්වලට ගරු නොකළ නිසා තමන්ටත් එසේ කළ නොහැකි යයි රජයකට පවසන්නට බැහැ. සිංහල ජනතාව එම තර්කය පිළිගත්තත්, රටේ සෙසු ජාතීන් සහ ලෝකය එය පිළිගන්නේ නැහැ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 හා 40/1 දරණ වගවීමේ යෝජනා සම්මතයන්ගෙන් ඉවත් වීමට ගත් තීරණය හේතුවෙන් කුමන තත්වයක් ඇති වේ ද යන්න තවම පැහැදිලි නැහැ. මේ ප්‍රශ්නය ඇතැම් විට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත යොමු වේවි. එහිදී, චීනය, රුසියාව වැනි රටවල් ශ්‍රී ලංකාව ආරක්ෂා කරනු ඇතැයි ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. එය එසේ ම සිදු විය හැකියි.

කෙසේ වෙතත්, ලංකාවේත්, තමිල්නාඩුවේත්, ලෝකය පුරා වෙසෙන දෙමළ ඩයස්පෝරාවේත් හඬ ද ප්‍රබලයි. එසේම, තම මුණුබුරාට සිදු වූයේ කුමක්දැයි සිවපාක්‍යම් අසන ප්‍රශ්නයත් සාධාරණයි. ඇය මිය ගියත්, ඇය විසින් සොයමින් සිටින රාජ්‍ය වගවීම පිළිබඳ ලෝක පිළිගැනීම නැති වන්නේ නැහැ.

මේ අර්බුදය මෙතැනින් එහාට විසඳාගන්නා ආකාරය ගැන යෝජනා ද රජය විසින් ඉදිරිපත් කළ යුතුයි.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.