Sajith with women

සජිත් ආවොත් සියලු දේශපාලන පක්ෂ නායක මණ්ඩලවල 25%ක් කාන්තාවන්ට

පසුගියදා එළිදක්වන ලද සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකවරයා විසින් ක්‍රියාත්මක කරන්නට යන කාන්තා ප්‍රඥප්තියේ එක් කොටසක් කෙරෙහි අපගේ විශේෂ අවධානය යොමු විය.

Translations by Creative Content Consultants

සියලු දේශපාලන පක්ෂවල ප්‍රධාන තීරණ ගැනීමේ ව්‍යුහ තුළ අවම වශයෙන් 25% ක හෝ කාන්තා නියෝජනයක් ඇති කිරීම අනිවාර්ය කෙරෙන නෛතික ප්‍රතිපාදන හඳුන්වා දෙනු ලබන බව එම ප්‍රඥප්තියේ දැක්වේ.

මේ රටේ කාන්තාවන්ගේ දේශපාලන නියෝජනය වැඩි කිරීම සඳහා අවශ්‍ය විප්ලවීය පියවර ගත්තේ එක්සත් ජාතික පක්ෂය මිස අන් කිසිදු පක්ෂයක් නොවේ. පළාත් පාලන සභාවල 25%ක කාන්තා නියෝජනය තහවුරු කිරීමට පියවර ගන්නා ලද අතර, දිවයිනේ ප්‍රධානතම පළාත් පාලන ආයතනය වන කොළඹ මහ නගර සභාවේ පුරපතිනිය ලෙස කාන්තාවක පත්කිරීමේ ධෛර්යය එජාපයට තිබිණි.

ලංකාවේ ධනේශ්වර දේශපාලන පක්ෂවල තරමින් හෝ විප්ලවවාදී දේශපාලන පක්ෂවල කාන්තා නියෝජනයක් නැත. ජනතා විමුක්ති පෙරමුණේ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පවා දේශපාලන මණ්ඩලවල කිසිදු දිනෙක කාන්තාවක සිට නැත. එහෙත්, දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ සන්නද්ධ දේශපාලනයේ ඉදිරි ම පෙළේ කාන්තා නායිකාවන් සිටිය හ.

මෙම තත්වය වෙනස් කිරීමට සජිත්ගේ යෝජනාව ඉවහල් වනු ඇත. මෙම වෙනස ලංකාවේ සැබෑ විප්ලවයකට මග සකසනු ඇත. කාන්තාවන්ගේ දේශපාලන නියෝජනය වැඩි වන විට ඔවුන් කාන්තාවන් මුහුණ දෙන වෙනස්කම් හා අසමානතා පිළිබඳ වැඩි වැඩියෙන් කතා කරනු ඇත.

අපේ රටේ කාන්තාවන්ගෙන් ශ්‍රම බලකාය සමග සම්බන්ධ වන්නේ 35%ක් පමණ ප්‍රතිශතයකි. සමස්ත රැකියා නියුක්තිය සලකා බැලූ විට, රැකියාවල නියුතු වී සිටින්නේ ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහණයෙන් 45%ක් පමණක් බව ආචාර්ය නිශා අරුණතිලක විසින්  2012 සංගණන දත්ත පාදක කර ගනිමින් සම්පාදනය කර තිබෙන Labour Market Characteristics නම් තේමාත්මක වාර්තාවේ දැක්වේ.

කාන්තා ජනගහණය සලකා බැලුවහොත් 65%ක් ම රැකියාවල නිරත වන්නේ නැත. 2006 සහ 2016 අතර දස වසර තුළදී ශ්‍ර‍ම බලකාය සමග සම්බන්ධ වන කාන්තා ජනගහණයේ ප්‍ර‍තිශතය 5%කින් පහත වැටී තිබේ.

ලංකාවේ පිරිමින් අතර ද ව්‍යවසායකයන් සංඛ්‍යාව 5%කට අඩු ය. කාන්තාවන් අතරින් නම් 1%ක්වත් ව්‍යවසායකයන් නොවේ.

ලංකාවේ සැබෑ විප්ලවයක් ආරම්භ කළ හැකි එක් සන්ධිස්ථානයක් වන්නේ ශ්‍රම බලකායේ කාන්තා ප්‍රතිශතය වැඩි කිරීම, කාන්තා ව්‍යසායකත්වය වර්ධනය කිරීම හා දේශපාලන නියෝජනය වැඩිකිරීමයි. මේ තුන ම සම්බන්ධයෙන් සජිත්ගේ කාන්තා ප්‍රඥප්තියේ කරුණු දැක්වේ. කාන්තා ව්‍යවසායකත්වයට අත දීම සඳහා සහන පොලියට ණය දීම පිණිස කාන්තා බැංකුවක් පිහිටුවන බව ද එහි දැක්වේ.

දේශපාලන පවුලකින් නොපැවතෙන, වැන්දඹුකම වාසිය සඳහා යොදා නොගත් කාන්තාවක් මේ රටේ රාජ්‍ය නායිකාව වන දවසක් වන විට අපි සැබැවින් ම දියුණු ජාතියක් වී තිබෙනු ඇත.

මෙම ලිපියත් කියවන්න: පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයන් අතර කාන්තාවක් >>

ඡායාරූපය ඩේලි නිව්ස් පුවත්පතෙනි.