Ranjan Ramanayaka

රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience)

රන්ජන් රාමනායක නීතිමය වශයෙන් වරදක් කර තිබෙන බවට අර්ථ නිරූපණය කළ හැකිය. නීති ද අර්ථ නිරූපණ වේ. මේ අර්ථ නිරූපණ කාලෙන් කාලෙට වෙනස් වේ. උදාහරණයක් ලෙස, අතීතයේ පැවති නීතිමය අර්ථ නිරූපණය අනුව මුස්ලිම් ජාතිකයෙකුට ඕනෑම ළමයකු කසාද බැඳිය හැකිය. වර්තමානයේ එම නීතිය වෙනස් කර, මුස්ලිම් ජාතිකයන් ඇතුළු සියලුදෙනාට විවාහ වන නීතිමය වයස අවුරුදු 18ක් බවට පත් කළ යුතු බවට කතිකාවක් තිබේ.

අධිකරණයට අපහාස කිරීම යනු ඉතා මනෝමූලික කාරණයකි. අධිකරණයට අපහාස කරන්නේ කෙසේද? අධිකරණයට අපහාසයක් සිදුවන්නේ හුදු ප්‍රසිද්ධ ප්‍රකාශයකින් පමණක්ද? දඩයක් ගසා විනිසුරුවරයා ඉදිරියේ තිබෙන සිරමැදිරියට දමන පුද්ගලයකුට ඉක්මණින් එයින් පිටතට පැමිණීම සඳහා අවශ්‍ය කටයුතු කරදීම වෙනුවෙන් අල්ලස් ගැනීම ඉතා සුලබව සිදුවේ නම් එය අධිකරණයට අපහාසයක් නොවේද?

තවත් උදාහරණයකින් ගතහොත්, වාහන වරදක් වැනි චෝදනාවකට නීතීඥයකු මගින් ඉදිරිපත් වන විත්තිකරුවකුට අඩු දඩයකුත්, නීතීඥයකු නොමැතිව ඉදිරිපත් වන විත්තිකරුවකුට වැඩි දඩයකුත් නියම වේ නම්, එය අධිකරණයට අපහාසයක් නොවේද?

නීතීඥවරුන් විත්තිකරුවන්ට වරද පිළිගන්නැයි කියමින්, ලිහිල් දඬුවමක් ලබාදෙන බවට පොරොන්දු වී ඒ සඳහා විවිධ බොරු කියමින් කරුණු ඉදිරිපත් කරන්නේ නම් එය අධිකරණයට අපහාසයක් නොවේද?

මේවා සුලබව සිදුවුණත්, ඒ ගැන නොසොයා, ඕනෑනම් මෙම ලිපියෙන් අධිකරණයට අපහාසයක් වී තිබේදැයි සොයන්නට පුළුවන. එය මනෝමූලික කාරණයකැයි මා කියන්නේ එහෙයිනි.

රන්ජන් රාමනායක යනු බොහෝ දුරට අව්‍යාජ දේශපාලනඥයෙකි. සාමකාමී කැරැලිකරුවෙකි. සමාජයක් වෙනස් වීමෙහිදී ඔහු වැනි අයගේ මැදිහත්වීම වැදගත්ය. ඔහු කළ ප්‍රකාශය හා එම ප්‍රකාශය වෙනුවෙන් ඔහු සිරගත වීම ඔහු දේශපාලනය කරන ශෛලියට අනුකූලය. ඔහු සිරෙන් නිදහස් වියයුත්තේ හා මහජනතාව වෙනුවෙන් දිගටම දේශපාලනය කළ යුත්තේ මහජන බලපෑම් මත පදනම්වය. මෙම තීන්දුව ආපසු හැරවිය හැක්කේ දේශපාලන බලාධිකාරියටය.

ඒ නිසා රන්ජන් රැකගැනීම සඳහා අප සටන් කළ යුතුය. අද මෙන්ම හෙට ද ඔහු තනි නොකළ යුතුය. ඔහු නිදහස් කරන්නැයි ජනාධිපතිවරයාට බලපෑම් කළ යුුතුය. ඔහු විසින් නියෝජනය කරන ලද අරගලවල සංකේතයක් ලෙස ඔහු ප්‍රවර්ධනය කළ යුතුය. රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි.