Estate Workers demanding Rs. 1,000

රජය වතු කම්කරුවන්ට වැඩි කළ වැටුප් ගෙවීම සමාගම් ප්‍රතික්ෂේප කරති

පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම්වලට රජයේ මැදිහත්වීමේ සාර්ථකත්වය ප්‍රශ්න කරමින් ශ්‍රී ලංකාවේ වතු හිමි සමාගම් වතු කම්කරු වැටුප දිනකට රු. 1,000 දක්වා වැඩි කිරීමේ රජයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

Translations by Creative Content Consultants

වතු කම්කරු වැටුප දිනකට රු. 1,000 දක්වා වැඩිකිරීම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රමුඛ මැතිවරණ පොරොන්දුවකි. මාර්තු 1දා සිට වතු කම්කරු දෛනික වැටුප රු. 1,000 දක්වා වැඩි කරන බව ජනවාරි මැදදී ඇමති මණ්ඩලය තීරණය කළේ ය. ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රාදේශීය වතු සමාගම් 21කට එය අනිවාර්ය කිරීමට ද රජය කටයුතු කළේ ය. මෙම සමාගම් විසින් පාලනය කරනු ලබන වතුවල හිමිකාරිත්වය තිබෙන්නේ රජයට ය.

එහෙත්, වතු සමාගම් මෙයට විරෝධය පළ කළ හ. යෝජිත වැටුප් වැඩිකිරිම ප්‍රාදේශීය වතු සමාගම් වලට අනිවාර්ය කිරීම ලංකාවේ නීතියට පටහැනි වන අතර ඡාත්‍යන්තර කම්කරු සංවිධානයේ 98 වැනි සම්මුතියේ සඳහන් සාමුහික කේවල් කිරිම සිද්ධාන්තවලට පරස්පර වන බව
ලංකා සේවක සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ එම දිනවල ම මාධ්‍යවලට පැවසී ය.

දිනක වැටුප රු. 1,000 කරනවා වෙනුවට මාසික වැටුප රු. 25,000 දක්වා වැඩි කිරීමට වතු සමාගම් එකඟ වී තිබේ. ඒ වෙනුවෙන් තේ නම් දළු කිලෝ දෙකක් වැඩිපුර නෙළීම ද, රබර් නම් එක් කිලෝවක් වැඩිපුර කිරි රැස්කිරීම ද වතු සමාගම් බලාපොරොත්තු වෙයි. එහෙත්, වතු කම්කරු සමිති එයට එකඟ නැත.

වැවිලිකරුවන්ගේ සංගමය පවසන්නේ නිෂ්පාදන වියදම් ඉහළ යාම නිසා දිනකට රු. 1,000 දක්වා වැටුප් වැඩි කළහොත්, තේ කිලෝවක නිෂ්පාදන වියම අලෙවි කරන මිළට වඩා ඉහළ යනු ඇති බවයි. නිෂ්පාදන වියදමෙන් 70%ක් සේවක වැටුප් බව වැවිලිකරුවෝ පෙන්වා දෙති.

කෙසේ වෙතත්, වතු කම්කරු සමිති පෙන්වා දෙන්නේ වතු සමාගම් පාඩු ලබන බව පැවසුව ද වැවිලිකරුවන් විශාල වශයෙන් වැටුප් වැඩිකරගැනීමට පසු නොබසින බවයි. ලංකා වතු සේවා නිලධාරීන්ගේ සංගමය හා වතු සමාගම් අතර අත්සන් කරන ලද ඉදිරි වසර තුනක් සඳහා වන සාමූහික ගිවිසුම අනුව වතුවල නිලධාරීන් වෙනුවෙන් 25%ක වැටුප් වැඩි කිරීමක් පසුගිය වසරේදී ලබා දෙන ලදී. මීට පෙර සාමූහික ගිවිසුමෙන් ද 2017දී ඔවුන්ට 25%ක වැටුප් වැඩිවීමක් ඇතුළු වරප්‍රසාද රැසක් ලබා දෙන ලදී.

වතු නිලධාරීන්ගේ වැටුප් ඉල්ලීම් සලකා බැලීමේදී වතු සමාගම් නිෂ්පාදන වියදම්, ලාභ, පාඩු ගැන දිග්ගැසෙන තර්ක කරන්නේ නැති බව පෙනේ.

කෙසේ වෙතත්, පසුගිය වසරේදී වර්ජන ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලින් අනතුරු වතු කම්කරු දෛනික වැටුප රු. 750 දක්වා වැඩි කිරීමේ එකඟතාවකට පැමිණ වතු සමාගම් හා වතු කම්කරු වෘත්තීය සමිති අතර ඉදිරි වර්ෂ දෙකක් සඳහා වන සාමූහික ගිවිසුමක් අත්සන් කරන ලදී. එය 2021 ජනවාරි මාසය දක්වා බලපැවැත්වේ.

(ඡායාරූපය 2018 දෙසැම්බරයේදී මතුගමදී පැවැත්වුණ වතු කම්කරු උද්ඝෝෂණයකදී)

මේ ලිපියත් කියවන්න:

රොමැන්තික්වාදයෙන් ඔබ්බට වතු කම්කරු අරගලය

Translations