Basil Rajapaksa

යුද්ධය කියන්නේ ඉතා කටුක දෙයක්. ඒ ඉතිහාසෙ පැත්තකින් තියන්න කාලය ඇවිල්ලා – බැසිල් රාජපක්ෂ

යුද්ධය, යුද ජයග්‍රහණය හෝ යුද්ධයේ වීරක්‍රියා ආදිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම තහනම් බැවින් එසේ නොකරන ලෙස දේශපාලන පක්ෂවලට දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසී ය. .

Translations by Creative Content Consultants

යුද ජයග්‍රහණය එක පක්ෂයක හෝ එක කණ්ඩායමකට හෝ අයත් එකක් නොවන අතර එය සමස්ත රටේ පුරවැසියන්ට අයත් බව ඔහු පවසයි.

මේ ගැන ඉතා වැදගත් ප්‍රකාශයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඔක්තෝබර් 20දා ලංකාදීප පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබිණි.

“හමුදා පොලිසිය වගේ ම රටේ සාමාන්‍ය ජනතාව දක්වා සියලුම දෙනාට ඒ යුද ජයග්‍රහණයේ ගෞරවය හිමි විය යුතුයි. ජනතාව මොන තරම් කැපකිරීම් කළා ද? ඒ ගෞරවය ඒ සියලු දෙනාම වගේ ම නායකත්වය දුන් සියලු දෙනාට ම හිමි විය යුතුයි.”

සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන ප්‍රසන්න සංජීව තෙන්නකෝන් මෙසේ අසයි: එහෙම නම් ෆොන්සේකාව හිරේ දැම්මේ ඇයි කියලා යූඇන්පිය අහනවා.

බැසිල් රාජපක්ෂගේ පිළිතුර මෙසේ ය: “ඒක ම තමයි අපට අහන්න තියෙන්නේ. ඒගොල්ලන් කියන්නේ රණවිරුවෙක් නිසා ඔහුට නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ කියලයි. මේ ආණ්ඩුව යටතේ රණවිරුවන් සියගානක් හිරේ දැම්මේ. එහෙම කළේ ඒ පදනමින් ද? මෙතැනදි අපි බොහොම පැහැදිලිව කියන්න ඕනෑ. විවිධ ප්‍රශ්න ඇතිවෙන්න ඇති. යුද්ධය කියන්නේ ඉතා කටුක දෙයක්නේ. මේ ඉතිහාසෙ පැත්තකින් තියන්න කාලය ඇවිල්ලා කියලයි මම හිතන්නේ.”

බැසිල් රාජපක්ෂ මෙසේ පැවසුව ද ඔහු අයත් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන බලවේගයෙහි සිංහල ජාතිවාදී කුඩා පක්ෂ වැඩි බරක් තබා තිබෙන්නේ යුද ජයග්‍රහණය හා ඒ ඔස්සේ ඔද වැඩිය හැකි මහ ජාතිවාදයට බව පෙනේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සිංහල ජනයා අතර බහුතර ඡන්ද ලබාගැනීමේ හැකියාව තිබුණ ද, සුළු ජාතික ඡන්ද නොමැතිව ජනාධිපතිවරණය ජයගැනීමේ දුෂ්කරතාව නිසා එම පක්ෂයේ නායකයන් සුළු ජාතික ඡන්ද දිනාගැනීමේ මූලෝපායන් කෙරෙහි අවධානය යොමු කර තිබේ.