Sajith Premadasa and Maithripala Sirisena

මෛත්‍රීපාල ජනාධිපති; සජිත් අගමැති වෙන, එජාප වනසන ගේම් පැලෑන මෙන්න

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට නියත වශයෙන් ම තරග කරන බව අපගේ විශ්ලේෂණය අනුව පෙනේ.

Translations by Creative Content Consultants

ඔහු එහිදී අංශ දෙකක උපායමාර්ගයක් දියත් කරමින් සිටියි. පළමු අංශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සාකච්ඡා කරමින් කල්මරන බව පෙනේ. එහෙත්, එහිදී ඔහුට ජනාධිපති හෝ අගමැති අපේක්ෂකත්වයන් නොලැබෙන බව නියත ය. කතානායක වැනි පදවියකින් ඔහු තෘප්තිමත් වන බවක් නොපෙනේ.

මේ අතර ඔහු බැරෑරුම් ලෙස උත්සාහ කරමින් සිටිනුයේ එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය සමග සම්මුතියකට එළැඹ, සජිත්ට අගමැති ධුරය පොරොන්දු වෙමින් ජනාධිපති ලෙස තරග කිරීමටයි. ඒ වෙනුවෙන් ඔහු සජිත් අගමැති ලෙස පත් කිරීමට පවා සූදානමින් පසුවන මුත්, සජිත් පක්ෂය කඩාගෙන ගොස් අගමැති පදවිය ලබාගැනීමට කැමැත්තක් දක්වන්නේ නැත.

සජිත් පාර්ශ්වය සමග එක් වී මෛත්‍රීපාල, මහරාජා සමාගමේ සහ මලික් සමරවික්‍රමගේ මුල්‍ය අනුග්‍රහයෙන් සහ මංගල සමරවීරගේ මූලෝපායික සැලසුම් අනුව යමින් එක්සත් ජාතික පක්ෂයේ බලය අල්ලාගැනීමේ සියුම් මෙහෙයුමක් මේ වන විට දියත් කර තිබේ.

එය සාර්ථක වුවත්, අසාර්ථක වුවත්, එක්සත් ජාතික පක්ෂය භේදභින්න කර, දුර්වල කර, සජිත් පාර්ශ්වය දැපනෙ දමාගෙන, වත්මන් ජනාධිපති ලෙස තමන්ට හිමි බලය ද පාවිච්චි කරමින් තමා ජනාධිපති ධුරයට තරග කිරීම සිරිසේනගේ මූලෝපාය වී තිබේ.

ජනාධිපතිවරණයට ප්‍රධාන පක්ෂ අතර තුන්කොන් තරගයක් ඇති කරගැනීමෙන් තමන්ට වාසිදායක තත්වයක් ඇති කරගැනීම ඔහුගේ බලාපොරොත්තුව වී තිබේ.

කෙසේ වෙතත්, දේශපාලනයේදී තමන්ට සහයෝගය දෙන කිසිවකු සමග සමීප මිත්‍රත්වයක් නොමැති, එසේම, කිසිවකු විශ්වාස ද නොකරන සජිත් ප්‍රේමදාස හට ඔහුගේ මෑණියන් වන හේමා ප්‍රේමදාස වෙතින් සිදුවන බලපෑම හේතුවෙන් ඔහු රනිල් වික්‍රමසිංහට එරෙහිව යාමට සහ එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී යාමට මැලිකමක් දක්වයි.

සජිත්ගේ පියාණන් වන ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව 1992දී ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිනී දිසානායක ඇතුළු පිරිසක් විසින් දෝෂාභියෝගයක් ගෙන ආ අවස්ථාවේ පක්ෂ නායකයා වන ජනාධිපතිවරයා ආරක්ෂා කිරීම සඳහා මුල් වී ක්‍රියා කළේ එවකට ජ්‍යේෂ්ඨ ඇමතිවරයකු වූ රනිල් වික්‍රමසිංහයි. ඒ සම්බන්ධයෙන් කෘතවේදිත්වය පවත්වාගෙන යා යුතු බව හේමා ප්‍රේමදාස මෑණියන් විසින් සජිත් ප්‍රේමදාසට අවධාරණය කර තිබීම සජිත්ගේ පසුබෑමට හේතුවයි.