Makandure Madush

මාකඳුරේ මධුෂ් සිද්ධියෙන් හෙළිවන පොලිසියේ බොළඳකම

2015 සිට 2019 දක්වා පැවති ආණ්ඩුවෙහි බොහෝ අඩුපාඩු තිබුණේ ය. ඉන්පසු බලයට පත් වූ ආණ්ඩුවෙහි ඊටත් වඩා අඩුපාඩු තිබේ. අඩුපාඩු හැර කියන්නට එතරම් දෙයක් තවම දක්නට ද නැත. එහෙත්, 2019ට පෙර පැවති ආණ්ඩුව සමයේ පොලිස් අත්අඩංගුවේ සිටි අපරාධකරුවන් විවිධාකාරයෙන් මියගියේ නැත.

මේ ආණ්ඩුවේ පාලනය තුළ පසුගිය සති දෙකක පමණ කාලය තුළ පොලිස් අත්අඩංගුවේ සිටි තිදෙනෙක් මියගියහ. පූගොඩ 21 හැවිරිදි තරුණයකු පොලිස් අත්අඩංගුවේදී මියගියේ ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට කරන ලද පහරදීම් නිසා ය. ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම් කර තිබේ. සැරයන්වරයකු හා බාහිර පුද්ගලයන් පිරිසක් ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

හික්කඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද මැදිවියේ කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් ද ප්‍රදේශවාසීහු සැක කරති. ඒ පිළිබඳ පොලිසියට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක් ද පැවැත්විණි. එහෙත්, කිසිවකු අත්අඩංගුවට ගෙන නැත.

වඩාත් ම මතභේදයට තුඩු දී තිබෙන්නේ මාකඳුරේ මධුෂ් නමැති අපරාධකරුගේ මරණයයි. අවුරුදු එකහමාරකට ආසන්න කාලයක් පොලිස් අත්අඩංගුවේ සිටි ඔහු මෑතදී කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දෙන ලදී. ඔහු මරාදමනු ලබන්නේ මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගන්නට පොලිසිය රැගෙන ගිය අවස්ථාවකදී යයි කතාවේ කියැවේ.

මාකඳුරේ මධුෂ් ඝාතන කතාවේ අඩුපාඩු රැසක් තිබේ.

  1. මධුෂ්ට හෙරොයින් අල්ලා දීමට හැකියාව ලැබෙන්නේ ඔහු තවදුරටත් මත්ද්‍රව්‍ය ජාලය සමග සම්බන්ධව සිටි හෙයිනි. ඔහු අත්අඩංගුවේ සිටියදීත් ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලය ක්‍රියාත්මක වූ බව කියනු ලැබේ. රහස් පොලිස් අත්අඩංගුවේ සිටියදී ඔහු එසේ කළේ කොහොම ද?
  2. බන්ධනාගාරයේ සිටින අපරාධකරුවන් ඇතුළේ සිට ම මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන බව කියනු ලැබේ. එය යම් දුරකට පිළිගත හැකි ය. එහෙත්, රහස් පොලිසියේ ඉඳිමින් එසේ කරන්නේ කොහොම ද? මාකඳුරේ මධුෂ් අත්අඩංගුවේ ඉන්නා බව මුළු ලෝකයම දනී. එවැනි තත්වයක් තුළ ජාවාරම්කරුවන් ඔහු සමග එක්ව කටයුතු කරන්නේ නැත. එසේ නම්, ඔහු කළ බව කියන හා පෙනෙන මත්ද්‍රව්‍ය ජාවාරම් සමග පොලිසියේ සම්බන්ධයක් තිබිණි ද?
  3. ඔහු මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමකට යන්නේ මීට කෙටි කලකට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මිනීමැරුමක් සිදු කළ භයානක අපරාධ ස්ථානයකට ය. එම ස්ථානය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට හිමි නිවසක් බව හෙළිදරව් වී තිබියදීත්, පොලිසිය එම ස්ථානය තමන් භාරයට ගැනීම හෝ ආවේක්ෂණය කිරීම හෝ සිදු නොකළේ ඇයි? ඒ ස්ථානය තවදුරටත් මත්ද්‍රව්‍ය හා අපරාධ මෙහෙයුම් ස්ථානයක් ලෙස ක්‍රියාත්මක වුණේ කොහොම ද?
  4. ඒ තරම් භයානක බව හොඳින් ම දන්නා ස්ථානයක වැටලීමක් පොලිසිය සැලසුම් කරන ආකාරය ළමයින්ගේ හොරා පොලිස් ක්‍රීඩාවකටත් වඩා බොළඳ ය. පැය 24කට පෙර හිටපු ඇමති රිෂාඩ් බදිඋදීන් අත්අඩංගුවට ගැනීම සඳහා විශාල පොලිස් සේනාංකයක් යොදවන ලද මුත්, බරපතල අපරාධකරුවෙකු සමග වැටලීමක් සඳහා භයානක ස්ථානයකට යන්නේ පොලිස් නිලධාරීන් 20කටත් අඩු සංඛ්‍යාවකි.
  5. මාකඳුරේ මධුෂ්ට වෙඩි තබා ඝාතනය කර, පොලිස් නිලධාරීන්ට තුවාල සිදු කළ භයානක අපරාධකරුවෝ නිරුපද්‍රිතව එම ස්ථානයෙන් පළා යති. එම අපරාධකරුවන්ගේ නමක්, ගමක් හෝ අඩු තරමේ අපරාධකරුවන් සංඛ්‍යාව හෝ පොලිසිය දන්නේ නැත.

මෙම සිද්ධිය සමග සමස්ත පොලිසියේත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා කොළඹ අපරාධ කොට්ඨාසයේත් වෘත්තිකභාවය පිළිබඳ බරපතල ප්‍රශ්න මතු වේ. ඔවුන් අපරාධ පරීක්ෂණ කරන්නේ මෙසේ ද? මෙවැනි මෙහෙයුම් සැලසුම්කරණය තුළ තුවාල ලද පොලිස් නිලධාරීන්ගේ ජීවිත අනතුරට හෙළීම පිළිබඳ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් වගකිව යුතු නොවේ ද?

මෙම ඝාතනය දුර්වල ලෙස අධ්‍යක්ෂණය කරන ලද නාට්‍යයකැයි ඇතැමෙක් කියති. කෙසේ වෙතත්, ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමට තරම් මාකඳුරේ මධුෂ්ගේ මානව හිමිකම් පිළිබඳ උනන්දුවක් ඇති පාර්ශ්වයක් සොයාගැනීම දුෂ්කර ය.

මෙහි තිබෙන්නේ මාකඳුරේ මධුෂ් පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. ලංකාවේ නීතිය අනුව ඕනෑම පුද්ගලයකු නඩු විභාගයකින් වරදකරුවකු වන තෙක් නිර්දෝෂී පුද්ගලයකු ලෙස සැලකේ. එසේම, දණ්ඩනය සඳහා බලය ඇත්තේ අධිකරණයට ය. දිය හැකි උපරිම දඬුවම මරණීය දණ්ඩනයයි. එය ද ක්‍රියාත්මක කිරීමේ නීතිමය පිළිවෙලක් තිබේ.

දස දහස් සංඛ්‍යාත ජනගහනයක් ජීවත් වන අගනුවර ජනාකීර්ණ ප්‍රදේශයක මහ රෑ වෙඩි තබමින්, මිනී මරමින්, පළා යමින් අපරාධකරුවන් හෝ පොලිසිය හෝ භීෂණයක් මවමින් ක්‍රියා කරන්නේ නම් එවැනි රටක පාලනය ගැන කියන්නට තිබෙන්නේ කුමක් ද?

(ඡායාරූපය: මාකඳුරේ මධුෂ් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඡායාරූපයක්)