garbage-china

චීන පොහොරවලට එරෙහිව කෘෂිකර්ම නිලධාරි වෘත්තීය ක්‍රියාමාර්ගවල

ශ්‍රී ලංකා රජය විසින් චීනයෙන් හානිකර කාබනික පොහොර ආනයනය කිරීමට හා චීන සමාගමක් හා රජය විසින් ඒවා ශ්‍රී ලංකාවට බලෙන් පැටවීම සඳහා කරනු ලබන බලපෑමට විරෝධය පෑමක් ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ තාක්ෂණික වෘත්තීය එකමුතුව 2021/11/12 දින එක්දින වැඩවර්ජනයක් සිදුකරන අතර වෘත්තිය සංගම් නියෝජිතයන් එක්ව චීන තානාපති කාර්යාලය වෙත සංදේශයක් බාරදීම සිදු කරනු ඇත. 

එම වෘත්තීය සමිති සන්ධානය විසින් මාධ්‍ය වෙත යොමුකරන ලද ලිපියෙහි වැදගත් කරුණු අඩංගු වේ. ඉන් සමහරක් පහත දැක්වේ.

කාබනික පොහොර යනු අධික ජෛව ආරක්ෂක අවදානමක් සහිත ද්‍රව්‍යයකි.  මෙම කාබනික පොහොර මගින් ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයට,  ජෛව විවිධත්වයට හා පරිසරයට අහිතකර ලෙස බලපෑම් ඇති කළ හැකි ආගන්තුක හා ආක්‍රමණශීලී ජීවීන් ශ්‍රී ලංකාව වෙත ඇතුළු වීමේ දැඩි අවදානමක් ඇත. එම නිසා කාබනික පොහොර ආනයනය හා අපනයනය ලෝකය පුරා දැඩි ලෙස නියාමනයට භාජනය කොට ඇත.  එමගින් අහිතකර ද්‍රව්‍ය එක් රටකින් තව රටකට ඇතුළුවීමේ අවදානම අවම කර ඇත.  මෙහි ඇති බරපතලකම අන්තර්ජාතික ශාක ආරක්ෂක සම්මුතිය (International Plant Protection Convention (IPPC)) සහ ලෝක වෙළඳ සංවිධානයට (WTO) අනුබද්ධ ස්වස්ථතා සහ ශාක ස්වස්ථතාව පිළිබඳ එකඟතාවය (Sanitary and Phyto Sanitary Measures Agreement) වැනි ගෝලීය ගිවිසුම් මඟින් ද පුළුල් ලෙස පිළිගෙන ඇත. ලෝකයේ සියලුම රටවල් වලට අනුකූලව ජාත්‍යන්තර වෙළදාම සිදු කිරීමට ගිවිස ගෙන ඇත. එබැවින් කාබනික පොහොර ආනයනය ජාතික කලාපීය හා ජාත්‍යන්තර නීති රීති මගින් සීමා කර ඇත. 

ශ්‍රී ලංකාවේ 1999 අංක 35 දරණ ශාඛ ආරක්ෂක පනත සහ 1981 නොවැම්බර් 02 දිනැති අංක 165/2 දරන රෙගුලාසිවල අංක 1 දරණ වගන්තියට අනුව කාබනික පොහොර ද නිකුත් කරනු ලබන ශාක ආනයන බලපත්‍රයක බලතල නොමැතිව ශ්‍රී ලංකාවට ආනයනය නොකළ යුතු වේ. 

දැනට  චීන සමාගම විසින් එවන ලද  ඝන කාබනික ද්‍රවය තොගය සඳහා එවැනි කිසිදු ආනයන බලපත්‍රයක් ලබාගෙන නොමැත. එම නිසා මෙය ශ්‍රී ලංකාවේ ශාක ආරක්ෂන නීති රීති උල්ලංගනය කරමින් ශ්‍රී ලංකාව වෙත බලහත්කාරයෙන්ම ගෙන එනු ලැබූ ඝන කාබනික ද්‍රවය තොයකි. එමනිසා මෙය අනවසර භාණ්ඩ තොගයක් ලෙස සැලකේ.

මුලදී ශාක ආනයන බලපත්‍රයක් සහිතව එහි අධිකාරී බලය යටතේ ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද කාබනික පොහොර නියැදියන් පිළිගත් රසායනාගාර පරීක්ෂණවලට ජාතික ශාක නිරෝධායන සේවය සහ වෙනත්  ශ්‍රී ලාංකික පර්යේෂණාගාර කීපයක් විසින් පරීක්ෂාවට භාජනය කර ඇත.  එහිදී එම සාම්පල ජීවානුහරිත නොවන බව හඳුනාගෙන ඇත.  ජීවානුහරිත නොවන කිසිදු කාබනික පොහොරක් SLS:1704-2021 ‍ප්‍රමිතියට හා ශාක ආනයන බලපත්‍රයේ ඇති ශාක ස්වස්ථතා කොන්දේසි වලට අනුව රට තුළට ඇතුළු කිරීම නීති විරෝධී වේ.  මෙම පොහොර සාම්පල පරික්ෂාවන්ට අදාළ පර්යේෂණ වාර්තා කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල්වරයා හරහා අදාළ අංශ වෙත යොමු කර ඇත.

නමුත් අදාල පොහොර වර්ගය නිෂ්පාදිත සමාගම ජාතික ශාක නිරෝධායන සේවය විසින් සිදුකරන ලද පරීක්ෂණ අභියෝගයට ලක් කර ඇත. එය  සාධාරණිකරණය කරමින් එම සමාගම ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්‍ෂ වෙත එන්තරවාසියක් එවමින් ඇ.ඩො. මිලියන 8ක වන්දියක් ඉල්ලා ඇත. නමුත් ඒ සඳහා අදාල සමාගමට කිසිදු නෛතික හෝ රාජ්‍යතාන්ත්‍රික අයිතියක් නැත. මෙම නොමනා හැසිරීම  පිළිබඳව ශ්‍රී ලංකාවේ සියලු කෘෂිකර්ම වෘත්තිකයන් දැඩි අප්‍රසාදයට පත්ව ඇති අතර එය ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට විදේශීය රටක් එල්ල කරන ලද අයුතු බලපෑමකි. 

එසේම තවදුරටත් මෙවැනි බලපෑම් සිදු කරන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග වෙත යොමුවීමට සිදුවන බව අවධාරණය කරන මෙම වෘත්තීය සමිති මෙම අනවශ්‍ය අතපෙවීම් සහ නීත්‍යානුකූලව රාජකාරි ඉටුකරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව එන බලපෑම් වෙනුවෙන් රාජ්‍යතාන්ත්‍රිකව මැදිහත් වනලෙස රජයට  බලකර සිටියි.

අදාළ වෘත්තීය සමිති වන්නේ, ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයේ කෘෂිකර්ම උපාධිධාරින්ගේ සංගමය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ විද්‍යාඥයින්ගේ සංගමයල ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයේ නිලධාරීන්ගේ දීප ව්‍යාප්ත සංගමය, සමස්ත ලංකා කෘෂිකර්ම උපදේශක වරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය, කෘෂිකර්ම පර්යේෂණ සහකාර සහ පර්යේෂණ නිලධාරීන්ගේ සංගමය, රජයේ විද්‍යා හා කෘෂිකර්ම සංවර්ධන නිලධාරී සංගමය, වැඩසටහන් සහකාර (කෘෂිකර්ම) සංගමය සහ කෘෂිකර්ම තාක්ෂණික සහායක සංගමය වේ.