Bunkering

කොවිඩ්-19 ලංකාවේ ආර්ථිකය අඩපණ කරන අතර චීනය හම්බන්තොට සිට බංකරිං අරඹයි

ශ්‍රී ලංකාව කොවිඩ්-19 හේතුවෙන් සියලු ආර්ථික කටයුතු අඩපණ කරගෙන සිටින අතරතුර චීනයට අයත් චයිනා පෙට්‍රෝලියම් ඇන්ඩ් කෙමිකල් කෝපරේෂන් හෙවත් සිනොපෙක් (Sinopec) සමාගම හම්බන්තොට වරායේ සිට සාර්ථක ලෙස බංකරිං හෙවත් නැව්වලට ඉන්ධන සැපයීමේ මෙහෙයුම් ආරම්භ කරන ලදී.

Translations by Creative Content Consultants

2019 වසරේදී ගෝලීය ටෙන්ඩර් කැඳවීමක් හරහා හම්බන්තොට තෙල් ගබඩා පවත්වාගැනීමේ හා බංකරිං සිදුකිරීමේ අයිතිය ලබාගත් සිනොපෙක් සමාගම ඒ වෙනුවෙන් ඔවුන්ට පූර්ණ අයිතිය ඇති සමාගමක් (Sinopec Fuel Oil Lanka (Private) Ltd ) ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලදී. මෙම සමාගම මගින් සිය පළමු බංකරිං මෙහෙයුම පසුගිය අප්‍රේල් 7දා සාර්ථක ලෙස මධ්‍යම ඉන්දීය සාගර සාමුද්‍රික මාර්ගයේදී සිදු කරන ලදී.

හම්බන්තොට වරාය ඉදිකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ලබාගත් ණය ආපසු ගෙවීමේ දුෂ්කරතාව නිසා ශ්‍රී ලංකාවට වරාය චීනයට දීර්ඝකාලීනව බදු දීමට සිදු විය. හම්බන්තොට වරායක් ඉදිකිරීම කෙසේ වෙතත්, එහි සිට බංකරිං සිදුකිරීමේ හැකියාව පිළිබඳතරමක් අතීතයේ සිට ම ආර්ථික විශේෂඥයෝ විශ්වාසය තැබූ හ. ලොව ප්‍රධානතම මුහුදු මාර්ගයක් වන මධ්‍යම ඉන්දීය සාගර සාමුද්‍රික මාර්ගය පිහිටා තිබෙන්නේ එහි සිට නාවික සැතපුම් දහයක් දකුණෙනි.

ලොව කන්ටේනර් ප්‍රවාහනයෙන් අඩක් ම සිදුවන්නේ මෙම මාර්ගයේ ය. එසේම, භාණ්ඩ නැව්ගත කිරීම්වලින් තුනෙන් එකක් ද, තෙල් නැව්ගත කිරීම්වලින් තුනෙන් දෙකක් ද සිදුවන්නේ මෙම මාර්ගය ඔස්සේ ය.

හම්බන්තොට දකුණු ආසියාවේ ප්‍රධානතම බංකරිං මධ්‍යස්ථානය බවට පත් කිරීමට චීනය සැලසුම් කර තිබේ. වසර 2025 වන විට එහි බංකරිං ධාරිතාව වසරකට ටොන් මිලියනයක් දක්වා වැඩි කිරීම ඔවුන්ගේ අභිප්‍රාය බව බංකර්ස්පොට් වෙබ් අඩවිය පවසයි.

සිනොපෙක් සමාගම ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවකට ආයෝජනය කිරීමට ද සූදානම් බව ශ්‍රී ලංකා රජයේ විදේශ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ සඳහන් වේ.

හම්බන්තොට වරාය අත්පත් කරගැනීමට හැකි වීම චීන බෙල්ට් ඇන්ඩ් රෝඩ් ආර්ථික හා බල ව්‍යාපෘතියේ දැවැන්ත ජයග්‍රහණයකි.

එම වරාය අවුරුදු 99කට චීනයට බදු දීම පිළිබඳ එවකට විපක්ෂයේ සිටි වර්තමාන රජය විරෝධය පළ කළේ ය. එය ආපසු පවරා ගන්නා බව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී පැවසූ මුත්, තවමත් ඒ පිළිබඳ චීනය සමග සාකච්ඡා කළ බවක් වාර්තා වන්නේ නැත.

Translations