principals of Sri Lanka

අධ්‍යාපනය භක්ෂණයට හොර පාරෙන් විදුහල්පති පත්වීම්

වැඩබලන විදුහල්පතිවරුන්ට ප්‍රමුඛතාව දෙමින් සම්මුඛ පරීක්ෂණයක් මගින් විදුහල්පති සේවයේ තුන්වන පන්තියට නිලධාරින් බඳවාගැනීමට ගෙන තිබෙන කැබිනට් තීරණය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කතාබහට ලක්වී තිබේ.

දේශපාලන පන්දම්කාරයන්ට වරදාන දීම සඳහා කරන ලද බඳවාගැනීම් නිසා විනාශ වූ ආයතනයකි, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය. සෞඛ්‍ය අමාත්‍යාංශය, වරාය අධිකාරිය, විදුලි බල මණ්ඩලය වැනි ආයතනවලට ද දේශපාලන පන්දම්කාරයන් පුරවනු ලැබේ. එහෙත්, ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ලෙස දේශපාලන පන්දම්කාරයන් බඳවාගැනීමෙන් තරම් මේ කිසිවකින් හානි සිදුවන්නේ නැත.

දේශපාලන හා නිලධාරි පන්දම් මත ගුරු සේවයට හා විදුහල්පති සේවයට බඳවාගන්නා නුසුදුස්සෝ අනාගත පරම්පරාවල මනස විනාශ කරති. දැනටත් එය සිදුවී හමාරය.

අතීතයේදී ලබාදුන් එක් ගුරු පත්වීම් වර්ගයක් හැඳින්වුණේ පොල්අතු පත්වීම් ලෙසයි. ගමක ජ්‍යේෂ්ඨය සමත් අයෙකු පොල්අතු සෙවිලි කළ මඩුවක් ගසාගෙන ස්වේච්ඡාවෙන් පාසලක් පටන්ගෙන පසුව එම පාසල රජයට පවරාගැනීමට සලස්වා ගුරු පත්වීම් ලබාගැනීම මෙසේ හැඳින්විණි. 1960 දශකයේදී ශිෂ්‍ය ගුරුවරුන් ලෙස ගුරුවරුන් බඳවාගන්නා ලදී. 1977 ආණ්ඩු මාරුවෙන් පසු ලබාදුන් කැකිරි පිපිඤ්ඤා පත්වීම්ලාභීන් දැන් විශ්‍රාම ගොසිනි. මේ වන විට ජ්‍යේෂ්ඨ ගුරුවරුන්, විදුහල්පතිවරුන් වී සිටින අය අතර ප්‍රේමදාස ජනාධිපති යුගයේ ජනසවිය කැපීම සඳහා දුන් අභ්‍යාසලාභී ගුරු පත්වීම් ගත් අය ද සිටිති. මේ සෑම කෙනෙකුම නුසුදුස්සන් යයි අප කියන්නේ නැත. ඒ අතරින් සැලකියයුතු පිරිසක් පුහුණුව හා උපාධි පවා ලබාගෙන විදුහල්පති, පරිපාලන තනතුරුවලට ද පත්වී සිටිති.

ස්වේච්ඡාවෙන් ගුරු වෘත්තිය කළ බවට ලේඛන ඉදිරිපත් කරමින් ගුරු පත්වීම් ලබාගත් විශාල පිරිසක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටිති. ගුරු හිඟයට පිළියමක් ලෙස මායිම් ගම්මානවල මෙම ස්වේච්ඡා ගුරුවරුන් පොලිසියට බඳවාගෙන ඔවුන්ට වැටුප් ගෙවීම නිසා පොලිස් ගුරුවරුන් කියා කොටසක් ද බිහිවිය.

එහෙත්, පසුකාලයේදී ගුරුවරුන් බඳවාගැනීම වඩා විධිමත් විය. අධ්‍යාපන විද්‍යා පීඨ හරහා පුහුණු කරන ලද ගුරුවරුන් සේවයට බඳවාගැනීම හා උපාධිධාරීන් බඳවාගැනීම වර්තමානයේදී සිදුවේ. ගුරුවරුන්ට පළමු පන්තිය දක්වා උසස්විය හැකිය. නැතිනම්, විදුහල්පති සේවය වෙත මාරු විය හැකිය. දක්ෂ ගුරුවරයකු හැමවිටම දක්ෂ පරිපාලකයකු වන්නේ නැත. එසේම, දක්ෂ ගුරුවරුන් පරිපාලකයන් බවට පත් කළ යුතු ද නැත. ගුරු සේවයේ පළමු පන්තිය තිබෙන්නේ එවැනි දක්ෂ ගුරුවරුන්ටය. තුන්වන පන්තියේ විදුහල්පති වැටුපට වඩා පළමු පන්තියේ ගුරුවරුන්ගේ වැටුප වැඩි එහෙයිනි.

විදුහල්පති සේවයට බඳවාගැනීම හැමදාමත් අවිධිමත් විය. විදුහල්පති විභාග නිසි කලට පැවැත්වෙන්නේ නැත. එසේම එය අභ්‍යන්තර සීමිත විභාගයකි. විදුහල්පතිවරුන් විවෘතව බඳවාගන්නේ අධ්‍යාපන පරිපාලන සේවය හරහා පමණි. උපාධිධාරී, තරුණ, දක්ෂ පුද්ගලයන් ඍජුවම අධ්‍යාපන පරිපාලන සේවයට බඳවාගැනීමේ ක්‍රමයක් තිබේ.

සාධාරණ යයි කියන බොහෝ බඳවාගැනීම්වලදී මූලික වන්නේ තරග විභාගයයි. විශේෂයෙන්ම අධ්‍යාපන පරිපාලන සේවයට ඍජුව බඳවාගැනීම් කිරීමේදී පළපුරුද්ද වැනි සාධක සලකා නොබලා තරග විභාග සමත්වීමට ප්‍රමුඛත්වය ලබාදෙයි. මේ වනවිට තරග විභාග යනු ජාවාරමකි. ඒවාට පන්ති පවත්වන, එම විභාග ප්‍රශ්න පත්‍ර සකස් කරන, ඒවා ඇගයීමට ලක්කර ලකුණු ලබාදෙන, ප්‍රතිඵල විශ්ලේෂණය කරන සංවෘත ජාලයක් තිබේ. එහි කටයුතු සිදුවන ආකාරය විනිවිද පෙනෙන්නේ නැත.

සම්මුඛ පරීක්ෂණවලදී සෙසු සුදුසුකම් පරීක්ෂා කරනු ලබන්නේ විභාගය සමත්වීමේ මූලික කොන්දේසියෙන් පසුවයි.

තරග විභාග ක්‍රමය විනිවිද පෙනෙනසුලු එකක් බවට පත්කරන්නේ නැතුව එම පත්වීම් ක්‍රමය ද පරිසමාප්ත වන්නේ නැත. එහෙත්, දැන් සිදුකරන්නට යන්නේ තරග විභාග අත්හැර දමා සම්මුඛ පරීක්ෂණ මාර්ගයකින් තුන්වන ශ්‍රේණියට විදුහල්පතිවරුන් බඳවාගැනීමයි.

මෙය ගුරුවරුන්ගේ මානව හිමිකම් උල්ලංඝනයකි. වැඩබලන විදුහල්පති තනතුරු සඳහා පත්වීම් කරනු ලබන්නේ දේශපාලන හා නිලධාරි හිතවත්කම් මත ඉතාම අවිධිමත් ආකාරයටයි. එම පත්වීම් දෙනු ලබන්නේම තවත් පිරිසකට සාධාරණ අවස්ථා අහිමි කරමිනි. ගැටලුව ආරම්භ වන්නේ එතැනිනි.

ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය ගුණාත්මක අතින් ඉතා දුර්වලය. අවිධිමත් පත්වීම් එයට ප්‍රධාන හේතුවකි. ශ්‍රී ලංකාවේ අනාගතය රැකගැනීමට නම්, අධ්‍යාපනය විධිමත් කළ යුතුය. අධ්‍යාපනය විධිමත් වන්නට නම්, හොඳ අධ්‍යාපන නිලධාරින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් ආදිය සිටිය යුතුය. දේශපාලන හෙංචයියන් සනසන්නට අධ්‍යාපනය යොදාගන්නා නායකයන් කරන්නේ රටේ අනාගතයට එරෙහි අපරාධයකි.