Kandula by Brother Charles Thomas

සහෝදර චාල්ස්ගේ කඳුළ ප්‍රසංගය මතුගම පොලිසිය අත්හිටුවයි

සහෝදර චාල්ස් තෝමස් විසින් පවත්වනු ලබන කඳුළ නම් සංගීතමය හා රසවින්දන වැඩසටහනෙහි මතුගම නගරයේ ඔක්තෝබර 4 දින පැවැත්වීමට සංවිධානය කර තිබුණ දර්ශනයක් පොලිසිය බලපෑම් කර අත්හිටුවා තිබේ. මෙවැනි වැඩසටහනක් නැවැත්වීම සඳහා කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති අතර එය ප්‍රකාශනයේ නිදහසට පටහැණි ක්‍රියාවකි.

(ලිපිය දැන්වීමෙන් පසු)
Translations by Creative Content Consultants

එම වැඩසටහන සංවිධානය කළ මතුගම සිංහ සමාජය විසින් එය පොලිසියේ බලවත් ඉල්ලීම මත එය කල්දැමූ බව දැක්වෙන බැනරයක් නගරයේ ප්‍රදර්ශනය කර තිබේ. ඒ සම්බන්ධයෙන් පොලිසියට කෘතවේදීත්වය පිරිනමන බව එම වැඩසටහනට විරෝධය පළ කිරීමට මුල් වූ බෞද්ධ හිමිනමක් විසින් ෆේස්බුක් සටහනක් තබා තිබිණි.

මෙම වැඩසටහනට විරෝධය දක්වමින් මතුගම ශාසනාරක්ෂක බලමණ්ඩලය ඇතුළු භික්ෂු හා බෞද්ධ සංවිධාන කිහිපයක් විසින් කළුතර පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කර තිබිණි. ඒ පිළිබඳ දෙපාර්ශ්වය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව වැඩසටහන නොපවත්වන ලෙස පොලිස් අධිකාරිවරයා සංවිධායකයන්ට දැනුම් දී තිබේ. පසුව, මතුගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා විසින් වැඩසටහන නවත්වන ලෙස වැඩිදුරටත් බලපෑම් කිරීමෙන් අනතුරුව ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි බියපත් වූ සිංහ සමාජයේ සංවිධායකයන් පිරිස ප්‍රසංගය අත්හිටුවා තිබේ.

මෙම වැඩසටහන ඔස්සේ ඉතා සූක්ෂමව බෞද්ධයන් අන්‍යාගම්කරණය සඳහා මූලික පසුබිම සැකසීම හා ශාසනික වශයෙන් භික්ෂූන් හෑල්ලුවට ලක්කිරීම සිදු වන බව එම වැඩසටහනට විරෝධය පළ කරන සංවිධානය පැමිණිලි කර තිබේ.

කෙසේ වෙතත්, මෙම වැඩසටහනෙහි වීඩියෝ යූටියුබ් ඔස්සේ නැරඹිය හැකි ය. ඒවා ගීත රසාස්වාදය හා සමාජ ශෝධනය අරමුණු කරගන්නා බව පෙනෙයි. එම වැඩසටහන් විශාල පිරිසක් විසින් නරඹා තිබෙන අතර සංදර්ශන දිවයිනේ බොහෝ ප්‍රදේශවල සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතර ද පැවැත්විණි.

සහෝදර චාල්ස් තෝමස් පූජකවරයකු නොවේ. රෝමානු කතෝලික ‘කිතුදන පුබුදුව’ සංවිධානයේ නිර්මාතෘ වූ ඔස්කා අබේරත්න පියතුමන් යටතේ ඔහු දේවධර්ම අධ්‍යාපනය ලබා තිබේ. ඔහු සංගීතමය මැදිහත්වීම් කිරීමට පෙර කුඩා යාඥා මෙහෙයන් පවත්වාගෙන ගියේ ය. ඔහුගේ පියා ක්‍රිස්තියානි බැතිමතෙකු වන අතර මව මුස්ලිම් ජාතිකයෙකි.

ඔස්කා අබේරත්න පියතුමා කලක් සිංහල බෞද්ධ දේශපාලකයකු වූ චම්පික රණවකට සමීප ආගමික නායකයකු විය. ඔහු මෙරට ප්‍රධාන ජාතික අනන්‍යතාව වන සිංහල-බෞද්ධ අනන්‍යතාවය හදුනාගත්, ඒ අනුව රෝමානු කතෝලික සභාව දේශීයකරණය කිරීමට දායක වූවකු බව මාකස් ප්‍රියන්ත පෙරේරා සිය බ්ලොග් අඩවියේ ලියන ලද ලිපියක සඳහන් කරයි.

මතුගම ප්‍රදේශයේ මීට පෙර ද ක්‍රිස්තියානි පල්ලිවලට පහර දීමේ ක්‍රියාමාර්ග සිදු විය. ආගමික අන්තවාදීන් විසින් මාස කිහිපයකට පෙර මතුගම නගරයේ මුස්ලිම් විරෝධී උද්ඝෝෂණයක් පැවැත්වූ අවස්ථාවේදී ද මතුගම පොලිසිය විසින් ආරක්ෂක විධිවිධානයක් ලෙස ඉන්ධනහල්වලින් බෝතල්වලට ඉන්ධන නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවන ලදී.