Sajith Premadasa

අජිත් පැරකුම් ජයසිංහ (2019 ඔක්තෝබර් 03දා අනිද්දා පුවත්පතේ පළවේ)

ශක්තිමත් දේශයක්, සාධාරණ සමාජයක් නමින් නිකුත්වූ සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අධ්‍යයනය කිරීම ඉතා වැදගත් ය. එයට හේතුව, එය හුදු මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයකින් ඔබ්බට ගිය රාජ්‍ය ප්‍රතිපත්ති ලේඛනයක් වීමයි. පසුගිය වසර හතරහමාර තුළ යහපාලන රජය සමග විවිධ මට්ටම්වලින් එකතු වී සිටි බුද්ධිමතුන්ගේ දායකත්වයෙන් සම්පාදනය වී තිබෙන එය ඉදිරි පස් වසරක් සඳහා බලය ලබාගන්නා ඕනෑම ආණ්ඩුවකට භාවිතා කළ හැකි මෙවලමක් ලෙස සැලකිය හැකි ය.

Translations by Creative Content Consultants

මෙම ප්‍රතිපත්ති ලේඛනයෙහි කැපීපෙනෙන අංශයක් වන්නේ රාජ්‍ය ප්‍රතිසංස්කරණ තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා තිබෙන කැපවීමයි. එය වනාහි දැනටත් බලයේ සිටින ආණ්ඩුවක් විසින් මෙතෙක් කරගෙන එනු ලැබූ ප්‍රතිපත්ති මාලාවක් ඉදිරියට ගෙන යාමකි. ඉටු කිරීම දුෂ්කර ආකර්ශනීය පොරොන්දු එහි අවම ය. වැඩි අවධානයක් යොමු කර තිබෙන්නේ පොරොන්දුවලට වඩා ප්‍රතිපත්ති කෙරෙහි ය.

රාජ්‍ය ප්‍රතිසංස්කරණවල කැපීපෙනෙන ලක්ෂණයක් වන්නේ පළාත් පාලන ආයතනවල සිදුකළා සේ දේශපාලනයේ සෑම මට්ටමකදී ම කාන්තා නියෝජනය තහවුරු කිරීමට යෝජනා කර තිබීමයි. ඒ අනුව, සෙනෙට් සභාව, පළාත් සභා, පාර්ලිමේන්තුව හා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුව යන සෑම අංශයකදී ම 25% කාන්තා නියෝජනය නීතිගත කිරීමට යෝජනා කර තිබේ. පහත දැක්වෙන උපුටාගැනීම බලන්න:

“රණසිංහ පේ‍්‍රමදාස, චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන් යටතේ ඉදිරිපත් කර ඇති යෝජනා සැලකිල්ලට ගනිමින් පළාත් වල බලතල, කාර්යයන් සහ වගවීම තීරණය කරනු ලැබේ. කේන්ද්‍රයේ බලය බෙදා හැරීම සහතික කිරීම සහ පළාත් සභා සහ පළාත් වලට ඔවුන්ගේ හැකියාවන් මත පදනම්ව ඔවුන්ගේ බලතල ක‍්‍රියාත්මක කිරීමට හැකිවීම සහතික කිරීම වෙනුවෙන් පළාත් සභා නියෝජිතයින්ගෙන් සමන්විත දෙවන සභාවක්, එනම් සෙනෙට් සභාවක් ද පැවැත්වෙනු ඇත. නීතිය මගින් සෙනෙට් සභාවේ කාන්තාවන් සඳහා 25%ක කෝටාවක් සහතික කරනු ඇති අතර යෝග්‍ය අධ්‍යාපන සුදුසුකම් ද නියම කරනු ඇත. පළාත්වලට අවශ්‍ය මුදල් රැස් කිරීමට සහ බෙදාහරින ලද බලතල ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය ද ලැබෙනු ඇත. දිස්ත‍්‍රික් ලේකම්වරුන් සහ ප‍්‍රාදේශීය ලේකම්වරුන් මධ්‍යම බලතල ක‍්‍රියාත්මක කිරීමේදී කේන්ද්‍රයේ නියෝජිතයන් ලෙස කටයුතු කරන අතර පළාත් බලතල ක‍්‍රියාත්මක කිරීමේදී පළාතේ නියෝජිතයන් ලෙස ද කටයුතු කරනු ඇත.  බලය බෙදා හැරීමේ ඒකක සම්බන්ධයෙන්, එකඟ විය හැකි පරිදි අවශ්‍ය වෙනස්කම් කිරීමෙන් අපි බලය බෙදාගැනීම වඩාත් අර්ථවත් හා පිරිවැය-කාර්යක්ෂම කරන්නෙමු.”

නායකත්වයේ ආදර්ශය ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක විසින් ම පෙන්වීමට අසමත් වී තිබෙන දෙයකි. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය ද පදනම් වන්නේ මෙම නායකත්වයේ ආදර්ශය මත ය. සජිත් ඒ කෙරෙහි යොමු කර තිබෙන අවධානය පහත දැක්වෙන ප්‍රතිපත්තියෙන් හෙළි වෙයි.

“රජයේ ඇමතිවරුන් විසින් අන්තර්ජාලය ඔස්සේ වාර්ෂිකව වත්කම් බැරකම් ප‍්‍රකාශයට පත් කිරීම අවශ්‍ය වන අතර එමගින් මහජනයාට ඔවුන් වගවීම කෙරෙහි යොමු කර තබාගත හැකිය. මෙම ප‍්‍රකාශ අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව විසින් තහවුරු කරනු ලැබේ. ප‍්‍රමිති සහ ආචාර ධර්ම පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයකු අපි පත් කරන්නෙමු, ඔවුන් විසින් සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ බැඳියාවන්  පිළිබඳ ලේඛනයක් පවත්වා ගෙන යනු ඇති අතර එහිදී මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තු චර්යාධර්ම පද්ධතිය කෙරෙහි අනුකූලවීම ද සහතික කරනු ඇත. බැඳියාවන් සම්බන්ධයෙන් ගැටුමක් පවතින අවස්ථාවලදී ඇමතිවරුන්ට එබඳු තනතුරු දැරීමට ඉඩ නොදේ. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 225 දෙනා සඳහා සුඛෝපභෝගී තීරුබදු රහිත වාහන බලපත‍්‍ර අප විසින් ඉවත් කරන අතර මහජනතාවගේ සේවය සඳහා ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීමට අවශ්‍ය පහසුකම් පවතින බව අපි සහතික කරන්නෙමු. ”

ඊනියා බටහිර විරෝධය, ඉන්දියානු විරෝධය හා චීන විරෝධය වෙනුවට සුනිසි විදේශ ප්‍රතිපත්තියක් පිළිබඳ අදහස මෙසේ ඉදිරිපත් වේ:

“ජාත්‍යන්තර සබඳතා පදනම් වන්නේ ‘සියල්ලන් සමඟ මිත‍්‍රත්වය, කිසිවෙකු සමඟ සතුරු නොවීම’ යන පදනම මත ය. ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය ලෙස අපගේ භූමිකාව ප‍්‍රක්ෂේපණය කිරීම සඳහා අපගේ අසල්වැසියන් සමඟ ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීම සහ ශක්තිමත් කිරීම කෙරෙහි අපි විශේෂ අවධානයක් යොමු කරන්නෙමු. එහිදී දකුණු හා අග්නිදිග ආසියාව, මැද පෙරදිග සහ නැගෙනහිර අප‍්‍රිකාව වැනි ඉන්දියන් සාගරය වටා වූ කලාපවල ජාතීන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් යොමු කෙරේ.”

ඩිජිටල්කරණය සජිත්ගේ ප්‍රතිපත්ති අතර සෑම තැනක ම රාජ්‍ය සේවය සම්බන්ධයෙන් යෙදේ. අධිකරණයේ පවතින යුක්තිය පසිඳලීම ප්‍රමාද වීමේ ගැටලුවේ සිට ව්‍යාපාරකරණය පහසු කිරීම, අපනයන නැංවීම ආදී කරුණු දක්වා ප්‍රශ්නවලට විසඳුම ලෙස ඩිජිටල්කරණය හඳුන්වා දෙන මෙම ප්‍රතිපත්ති මාලාව විසින් රාජ්‍ය සේවයට අලුතෙන් ශ්‍රී ලංකා ඩිජිටල් සේවයක් ද හඳුන්වා දීමට යෝජනා කරයි. රාජ්‍ය අංශය ඩිජිටල්කරණය ඔස්සේ බොහෝ මහජන සේවාවන් පහසු කළ හැකි බවට දැක්මක් එහි අඩංගු වේ.

“නව ශ‍්‍රී ලංකා ආර්ථික සේවාවක් සහ ශ‍්‍රී ලංකා ඩිජිටල් සේවාවක් රාජ්‍ය අංශයට එකතු කරනු ලැබේ. එමගින් වඩාත් කාර්යක්ෂම ලෙස ආර්ථික සහ ඩිජිටල් ප‍්‍රතිපත්ති නිර්මාණය කරනු ලැබේ.

“රජය දැන් ශ‍්‍රී ලංකාවේ ඩිජිටල්කරණයේ නායකත්වය ගත යුතු ය. මෙමගින් සියලූ අංශවල වර්ධනය වේගවත් වනු ඇත. එමගින් පුරවැසියන්ට රාජ්‍ය සේවාවන්ට පහසු ප‍්‍රවේශය ද සලස්වනු ඇත. රජය ජනතාව සමීපයට ගෙන යනු ඇත. මෙම මුලපිරුමේ කොටසක් ලෙස වසර 2030 වන විට ශ‍්‍රී ලංකාව කාසි හා නෝට්ටු භාවිතා නොකරන රටක් බවට පත් වනු දැකීමට අපි කැමැත්තෙමු. ”

කෙසේ වෙතත්, දත්ත සඳහා අධික මිළ අඩුකිරීමට හා පසුගිය වසර හතරකට වැඩි කාලය පුරාමත් පේපැල් වැනි ජාත්‍යන්තර ගෙවුම් වේදිකාවක් සක්‍රිය කරගැනීමට ශ්‍රී ලංකා රජය සමත් වූයේ නැත. ඒ පිළිබඳ ද ප්‍රතිපත්ති අවධානය යොමු වී තිබීම වැදගත් ය.

“ප‍්‍රකාශ තන්තු තාක්ෂණය පාදක ගෘහස්ථ බ්‍රෝඞ්බෑන්ඞ් වෙළඳපොළ සඳහා අප විසින් සම බිමේ තරගකාරිත්වය ඇති කරනු ලැබේ. පාරිභෝගිකයන්ට අඩු මිලක් හා වඩා හොඳ නිෂ්පාදන හා සේවා ලබා දීම එහි අරමුණයි. ජාත්‍යන්තර ගෙවුම් මෙහෙයුම්කාර සමාගම් අඩු වශයෙන් දෙකක්වත් ශ‍්‍රී ලංකාවට ආකර්ශනය කරගනිමින් අප විසින් විදේශයන්හි සිට ගෙවීම් පහසු කරනු ඇත. ”

ජංගම දත්ත හා ජංගම බ්‍රෝඞ් බෑන්ඞ් වියදම 10%කින් පහත හෙළන බව ද දැක්වේ.

අපනයන සංවර්ධනය කිරීම සඳහා ඉදිරිපත් කර තිබෙන පහත දැක්වෙන යෝජනා ද අතිශය වැදගත් ය.

“අපගේ අපනයනවලින් අඩකට වඩා මිල දී ගන්නේ යුරෝපය සහ එක්සත් ජනපදය විසිනි. අඩු වැටුප් ගෙවන සරල නිෂ්පාදන විසින් ආධිපත්‍යය දරන අපනයන වෙළඳාමක සිට කර්මාන්ත සේවකයන්ට ඉහළ වැටුප් ගෙවන අපනයන කර්මාන්ත වෙත අපි පරිවර්තනය වන්නෙමු.

“මෙම පරිවර්තනය සදහා ඒකපාර්ශ්වීය, ද්විපාර්ශ්වීය සහ බහුපාර්ශ්වීය වෙළද මුලපිරුම් අවශ්‍ය ය. අපගේ අපනයන විවිධාංගීකරණය වෙනුවෙන් සහ අපනයන සම්බන්ධ බදු නොවන බාධක සම්බන්ධයෙන් නිදහස් වෙළඳ ගිවිසුම් ඉතා වැදගත් ය. රෙදිපිළි හා ගම්මිරිස් වෙනුවෙන් ඉන්දියාවේ කෝටාව වැනි කරුණු බදු නොවන සම්බාධකයි. තායිලන්තය නිදහස් වෙළඳ ගිවිසුම් 14කට ද, මැලේසියාව සහ දකුණු කොරියාව 17 බැගින් ද, සිංගප්පූරුව 25ක් ද අත්සන් කර තිබේ. ශ‍්‍රී ලංකාවට නිදහස් වෙළඳ ගිවිසුම් ඇත්තේ හයක් පමණි. අපගේ ‘පළමුව ශ‍්‍රී ලංකාව’ විදේශ ප‍්‍රතිපත්තිය අනුව අප විසින් මෙම ප‍්‍රශ්නයට විසඳුම් දෙනු ඇත. ඉන්දීය සාගරයේ සහ ආසියාවේ අපගේ සමීපතම අසල්වැසියන් සමග නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකරගනු ලැබේ. ජනාධිපතිවරයා විසින් සෑම ගිවිසුමක ම සමතුලිතබව සහ එහි ශ‍්‍රී ලංකාවට ඇති වටිනාකම පෞද්ගලිකව විවරණය කරනු ඇත.”

මිනිරන්, තේ වැනි අමුද්‍රව්‍ය අපනයනයේදී වටිනාකම් එකතු කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.

රාජ්‍ය ණය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා ස්වාධීන ණය කාර්යාලයක් පිහිටුවීමට ද යෝජනා කර තිබේ.

වත්මන් ආණ්ඩුව මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් සාපේක්ෂ ප්‍රශස්ථ තත්වයක් පවත්වාගෙන යාමට සමත් විය. ඒ අතර, පෞද්ගලික මාධ්‍ය හා සමාජ මාධ්‍ය විසින් ලැබූ නිදහස වල්බූරු නිදහසක් බවට පත් කරගැනීම මෙල්ල කරගැනීම අභියෝගයක් විය. මාධ්‍ය නිදහසෙහි රාමුව තුළ ම පිහිටා සිටිමින් මාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමට ස්වාධීන මාධ්‍ය කොමිසමක් පිහිටුවීමට යෝජනා කර තිබේ.

“ස්වාධීන මාධ්‍ය කොමිසමක් පත් කරනු ලැබේ. එහි කාර්යභාරය වන්නේ සාධාරණත්වයේ භාෂිතය (Fairness Doctrine) වැනි පිළිගත් ප‍්‍රමිතිවලට අනුකූලව සමබර වාර්තාකරණයක් තහවුරු කිරීමයි. කොමිසම විසින් ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවල වෛරී ප‍්‍රකාශ සහ දුස් තොරතුරු පිටුදැකීම සඳහා හොඳම භාවිතාවන් අධ්‍යයනය කර ක‍්‍රියාත්මක කරනු ලැබේ.”

නවීන ලෝකයක් වෙනුවෙන් නවීන අධ්‍යාපනයක් සඳහා මූලික ඉලක්ක හතරක් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වේ: නිදහස් අධ්‍යාපනය පෙර පාසල දක්වා පුළුල් කිරීම, ජාත්‍යන්තර මිනුම් දඬු මත පදනම්ව ඉංග‍්‍රීසි හා ගණිතය ඉගැන්වීමේ ජාතික වැඩසටහනක් මගින් සාමාන්‍ය පෙළ මට්ටමේදී ගණිතයේ 30% කට වඩා අසමත් වීමේ අනුපාතය සහ සාමාන්‍ය පෙළ මට්ටමේ දී ඉංග‍්‍රීසි භාෂාවෙන් 50% කට වඩා අසමත් වීමේ අනුපාතය ඉවත් කිරීමට උත්සාහ කිරීම, සියලුම උසස් පෙළ පාසල්වලට විද්‍යා හා තාක්ෂණ විෂය ධාරාවන් ලබා දෙන බවට සහතික වීම හා සැමට උසස් අධ්‍යාපනය සහතික කිරීම සහ උසස් අධ්‍යාපනය රැකියා සඳහා යොමු කිරීම සහතික කිරීම ඒ අතර වේ. විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය (STEM) අධ්‍යාපනය, ගුරුවරුන් පුහුණු කරන ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ උපාධි ප්‍රදානය කරන ආයතන බවට උසස් කිරීම, පොළී රහිත උසස් අධ්‍යාපන ණය යෝජනා ක්‍රමය රු. මිලියන 1.6 දක්වා ඉහළ නැංවීම හා අලුතින් ලාභ නොලබන විශ්වවිද්‍යාල පිහිටුවීම කැපීපෙනෙන යෝජනා ය. අධ්‍යාපන ආයතනයන්හි සියලූ ආකාරයේ නවකවධ හා හිරිහැර කිරීම් නිමාකිරීමට පියවර ගන්නා බව ද දැක්වේ.

තරුණයන් වෙනුවෙන් දැක්වෙන එක් යෝජනාවක් මෙසේ ය: “අපි විද්‍යාත්මක හා ඉන්ජිනේරු නව්‍යකරණයන් ව්‍යවහාරයට ගන්නා නව තාක්ෂණික ව්‍යාපාර සඳහා බලපවත්වන බදු 5% දක්වා පහත හෙළන්නෙමු. එමගින් යෞවන-යෞවනියන් අප රටේ සංවර්ධනය ඉදිරි පිම්මක් වෙත යොමු කෙරෙන නිෂ්පාදන හා සේවාවන් නිර්මාණය කිරීමට දිරිමත් කෙරෙනු ඇත.” 

සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී, රජයේ රෝහල්වල බාහිර රෝගී සේවා පැය 24 ම ලබා දීම, රජයේ පවුලේ වෛද්‍යවරයකු ලබාදීමේ සංකල්පය, රජයේ වෛද්‍යවරුන් අවශ්‍ය අවස්ථාවලදී නිවාස වෙත යාම හා වැඩිවන වැඩිහිටි ජනගහණයේ අවශ්‍යතා කෙරෙහි විශේෂ අවධානයක් යොමුකිරීම කැපීපෙනෙන ලක්ෂණ වේ.

බලපත්‍ර මත රජයේ ඉඩම් පරිහරණය කරන ජනතාවට ඉඩම් හිමිකම ලබාදීමේ රජයේ වැඩසටහන දැනටත් බාධක මධ්‍යයේ ඉදිරියට යමින් තිබේ.

“වර්තමානයේදී, අඩුවෙන් පරිහරණය කරන ලද හෝ භාවිතයට නොගත් රජයේ ඉඩම් හඳුනා ගැනීමට ක‍්‍රමවේදයක් රජයට නොමැත. ඩිජිටල්කරණය කරන ලද ඉඩම් ලියාපදිංචි කිරීමක් අපි සකස් කරන්නෙමු. එය වඩාත් ඵලදායී ඉඩම් භාවිතයක් තීරණය කරනු ඇති අතර රජය බදු දී ඇති ඉඩම්වලින් ද උපරිම කුලිය ලබා ගනු ඇත. මෙම පහසු සහ ප‍්‍රවේශ විය හැකි ලැයිස්තුව මගින් පුරවැසියන්ට ලියාපදිංචි තොරතුරු පරීක්ෂා කිරීමට සහ ලේඛනවල ගුණාත්මකභාවය තහවුරු කිරීමට ඉඩ සැලසේ. මෙම ප‍්‍රතිසංස්කරණ මගින් ව්‍යාපාර කටයුතු සඳහා වන විවෘතභාවයට අනුව රටවල් ශ්‍රේණිගත කරන ව්‍යාපාර කිරීමේ පහසුව පිළිබඳ දර්ශකයේ ශ‍්‍රී ලංකාවේ ස්ථාවරත්වය වැඩිදියුණු කරනු ඇත.”

සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සමස්තයක් ලෙස ගත් කල වර්තමානයේ රජය යොමු වී ඇති දිශානතිය වඩා ප්‍රශස්ථ කිරීම අරමුණු කරගත් එකක් බව පෙනේ. එය අනාගතයේ බලයට පත් වන කවර රජයකට වුව වැදගත් ප්‍රතිපත්ති ලේඛනයක් බව අවධාරණය කරන්නෙමු.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.