black balloons at Sri Lanka High Commission in UK

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ 46වන සැසිවාරය 2021 පෙබරවාරි 22දා ආරම්භ විය. ඒ නිමිති කරගෙන ලන්ඩනයේ දෙමළ ක්‍රියාකාරිකයන් විසින් දියත් කරන ලද කළු බැලුන් විරෝධතාවක ඡායාරූප කිහිපයක් ටැමිල් ගාඩියන් වෙබ් අඩවියෙහි පළ කර තිබිණි.

ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රචාරණ පාඨය වන So Sri Lanka අනුකරණය කරමින් සකස්කරන ලද I am Sri Lanka. I am so Genocide යන පාඨය එම බැලුන්වල මුද්‍රණය කර තිබිණි.

මෙම වාක්‍යය ව්‍යාකරණානුකූලව නම් I am so genocidal විය යුතු යයි සිතමු.

කෙසේ වෙතත්, මෙම ප්‍රචාරණයෙන් දෙමළ ක්‍රියාකාරිකයන් උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාව වර්ග සංහාරයක යෙදුණු බව පෙන්වීමටයි.

වර්ග සංහාර චෝදනාව ඉතා භයානක එකකි. එය මනුෂ්‍යත්වයට එරෙහි දරුණුම අපරාධය ලෙස සැලකිය හැකිය. යම් ජන කොට්ඨාසයක පැවැත්ම අහෝසි කරදැමීමේ අරමුණින් එම ජනවර්ගය ඝාතනය කිරීම වර්ග සංහාරයයි.

1951 ජනවාරි සිට ක්‍රියාත්මක වන 1948 දෙසැම්බරයේදී සම්මත කරගන්නා ලද වර්ග සංහාරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය අනුව, ජාතික, වාර්ගික හෝ ආගමික කණ්ඩායමක් සමස්තයක් ලෙස හෝ කොටසක් ලෙස විනාශ කිරීමේ අරමුණින් සිදුකරනු ලබන පහත දැක්වෙන ආකාරයේ ඕනෑම ක්‍රියාවක් වර්ග සංහාරයට අයත් වේ.

  • කණ්ඩායමේ සාමාජිකයන් ඝාතනය
  • කණ්ඩායමේ සාමාජිකයන්ට බරපතල ශාරීරික හෝ මානසික හානි සිදුකිරීම
  • සමස්තයක් ලෙස හෝ කොටස් වශයෙන් හෝ භෞතික විනාශය සිදුවන පරිදි කණ්ඩායමක් මත යම් තත්වයන් සිතාමතා ක්‍රියාත්මක කිරීම
  • කණ්ඩායම තුළ උපත් වැළැක්වීම අරමුණු කරගත් ක්‍රියාමාර්ග ගැනීම
  • කණ්ඩායමේ ළමයින් බලෙන් වෙනත් කණ්ඩායම් වෙත මාරුකිරීම

වර්ග සංහාරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය අනුව, අත්සන් කරන ලද රාජ්‍යයන් වර්ග සංහාර වැළැක්විය යුතු අතර ඒවාට වරදකරුවන්ට දඬුවම් පැමිණවිය යුතුය.

මේ අනුව බැලූ කල, ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ මෙවැනි සංහාරක අරමුණු ක්‍රියාත්මක වූ අවස්ථා රැසක් තිබේ. පහත දැක්වෙන්නේ එවැනි අවස්ථා කීපයක් පමණි.

1983 ජුලි කලබල වැනි වාර්ගික ගැටුම් රැසකට ශ්‍රී ලංකා රජයේ යම් යම් අංශවල අනුග්‍රහය ලැබිණි. අඩු වශයෙන් රජය මෙවැනි ක්‍රියා සම්බන්ධ වරදකරුවන්ට එරෙහිව ක්‍රියාකර හෝ නැත.

1983දී වැලිකඩදී සිදු වූ දෙමළ සිරකරුවන් 53දෙනෙකු සංහාරයේ සිට තෝරාගත් සිරකරුවන් ඝාතනය කිරීමේ සිදුවීම් රැසක් තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය වැනි සංවිධාන සාමාජිකයන් සංහාරය කිරීමේ අරමුණින් රජය කටයුතු කර තිබේ. එම සංවිධාන විසින් ද තවත් සංවිධාන සම්බන්ධයෙන් සංහාරක ප්‍රතිපත්ති අනුගමනය කරන ලදී.

දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය මෙන්ම රජයේ හමුදා ද මායිම් ගම්මාන ලෙස හැඳින්වුණ ගම්මානවලට පහර දී ජනයා ඝාතනය කළහ. පන්නා දැමූහ. ‍

දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය බස්රථවල බෝම්බ පිපිරවීම් ආදිය කළ අතර රජයේ හමුදා ද ගම්මාන, පාසල්, රෝහල් ආදියට පවා ගුවනින් බෝම්බ හෙළීම, කාලතුවක්කුවලින් පහරදීම ආදිය කරන ලදී.

1990 ඔක්තෝබර් මාසයේදී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් උතුරු පළාතේ සම්ප්‍රදායිකව පදිංචි වී සිටි මුස්ලිම් ජනතාව ඔවුන්ගේ ගම්බිම්, නිවාසවලින් පළවාහැරීම ද මේ අන්දමින් ම වාර්ගික ශුද්ධකරන ක්‍රියාවක් ලෙස සැලකිය හැකිය.

2019 අප්‍රේල් 21 පාස්කු ඉරු දින ප්‍රහාරය ද ඉතා පැහැදිලිවම වර්ග සංහාරක අරමුණු සහිත එකකි.

එහෙත්, මෙම සියලු සිදුවීම් වර්ග සංහාර ගණයේ ලා සැලකිය හැකිද යන මතභේදය තිබේ.

ලෝක ඉතිහාසය තුළ වර්ග සංහාරයන් ලෙස සැලකෙන මෑතකාලීන සමූහ ඝාතන කීපයක් තිබේ. 1915-20 සමයේදී ඔටෝමාන් තුර්කීන් විසින් ආර්මේනියන්වරුන් සංහාරය කිරීම, නාසිවාදීන් විසින් මිලියන හයක් යුදෙව් ජනයා සංහාරය කිරීම, 1994දී රුවන්ඩාවේ හුටු ගෝත්‍රිකයන් විසින් ටුට්සි ගෝත්‍රිකයන් සංහාරය කිරීම ඒ අතර ප්‍රසිද්ධ ඒවායි.

ශ්‍රී ලංකාවේ වර්ග සංහාරයන් සිදුවීද යන්න සාකච්ඡා කළ යුතුය. එම සාකච්ඡාව සමගම වර්ග සංහාරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ අර්ථ නිරූපණය පිළිබඳ ද ගැටලු මතුවේ.

ශ්‍රී ලංකාවේ රජය මෙන්ම ලෝක ප්‍රජාව ද වර්ග සංහාර වැළැක්වීමටත්, එවැනි වැරදි කළ අයට දඬුවම් කිරීමටත් පියවර ගත යුතුය. ඒ සඳහා සිදු වූ දේ පිළිබඳ විධිමත් විමර්ශන අවශ්‍යය. ශ්‍රී ලංකාවට අනාගතයේදීවත් වර්ග සංහාර චෝදනා එල්ලවීම වළක්වාගැනීම සඳහා අප කටයුතු කළ යුතුය.

black balloons at Sri Lanka High Commission in UK
black balloons at Sri Lanka High Commission in UK

1 thought on “ලන්ඩනයේ කළු බැලුන් හා වර්ග සංහාර චෝදනා

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: