Jagath Weerasinghe

මහර බන්ධනාගාරයේ අධිකාරි ජගත් වීරසිංහ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සමග පවත්වනු ලබන මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවක කියන පරිදි මහර බන්ධනාගාරය කියන්නෙ අපරාධ වැරදි සම්බන්ධයෙන් දෙවරකට වඩා සිරගත වන පුද්ගලයන් රඳවා තබන විශේෂ බන්ධනාගාරයට. එහි ඉඩ තියෙන්නෙ 670ක් සඳහායි. දැන් 3,000ක් පමණ රඳවා තිබෙනවා. එහි රිමාන්ඩ් අංශයක් ද තිබෙනවා. අධිකරණ 10කින් පමණ රිමාන්ඩ් කිරීම් සිදුවන්නේ මෙම බන්ධනාගාරය තුළයි.

මහර රැඳවියන්ගෙන් 65%ක් පමණ ඉන්නේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අය බව හා ඔවුන්ගෙන් 99%ක්ම සිංහල බෞද්ධයන් බව ද මහර බන්ධනාගාරයේ අධිකාරි ජගත් වීරසිංහ පවසනවා. මත්ද්‍රව්‍යවලින් පහරදෙන්නේ සිංහල බෞද්ධ ජාතියට බවත්, එය වළක්වාගැනීමට නම්, හොඳින් හෝ නරකින් හෝ මත්ද්‍රව්‍ය පාලනය කළ යුතු බවත් ඔහු මෙම සම්මුඛ සාකච්ඡාවේදී පවසනවා. මෙම සම්මුඛ සාකච්ඡාව සිදු කළේ මාස දෙකකට පමණ පෙර බව එම සිසුන්ගෙන් විමසූ විට දැනගන්නට ලැබුණා.

එම වීඩියෝවේ තේමාව ලෙස දැක්වෙන්නේ විනය, ඉවසීම හා සංවේදීකම නොමැති වීම අපරාධ වර්ධනයට හේතුවක් බවයි. අධික තදබදයකින් යුතු මහර බන්ධනාගාරය තුළ, කොවිඩ්-19 හේතුවෙන් පැවති තත්වය තුළ සිරකරුවන් අතර විනය හා ඉවසීම නැතිවන්නට පුළුවන්. එක්කෙනෙකුට ඇති ඉඩකඩ තුළ පස්දෙනෙකු පමණ සිටින බව බන්ධනාගාරය විසින් සිරකරු ගැටුම සම්බන්ධයෙන් නිකුත් කරන ලද වීඩියෝවලිනුත් පැහැදිලිව පෙනෙනවා.

මහර බන්ධනාගාරය ඉදිරිපිටදී බත්තරමුල්ලේ සීලරතන හිමිට හා සිරකරුවන්ගේ ඥාතීන්ට බන්ධනාගාර අධිකාරිවරයා ප්‍රතිචාර දක්වන ආකාරය දැක්වෙන ප්‍රවෘත්ති ද පළවුණා. එහි එක් තැනකදී ඔහු “අපි අමනුස්සයෝද?” යි අසනවා. එහිදීත් ඔහු කතාකරන්නේ විනය, ඉවසීම හා සංවේදීකම ගැනයි.

මහර බන්ධනාගාරයේ කොවිඩ්-19 රෝගී සිරකරුවන් නවදෙනෙකු ඇතුළු සිරකරුවන් 11දෙනෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධියේදී බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහගේ භූමිකාව ඉතා වැදගත්. විනය, ඉවසීම හා සංවේදීකම නොමැති වීම අපරාධ වර්ධනයට හේතුවක්. ඔහුත්, ඔහුගේ නිලධාරීනුත් අතර විනය, ඉවසීම හා සංවේදීකම තිබුණාද? සිරකරුවන් මියගියේ ඇමති කියන ආකාරයට ඔවුන් එකිනෙකා මරාගැනීමෙන්ද? මරණ පරීක්ෂණවලදී බොහෝ වැදගත් කරුණු හෙළිදරව් වනු ඇත. කොවිඩ්-19 මුවාවෙන් මළසිරුරු පුළුස්සා දැමුවා නම් විනාශවන්නේ සාක්ෂිය.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.