Avantguard ship

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ය. වර්තමාන සොලිසිටර් ජනරාල්වරියයි. ඇය ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවකු වන ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමග පවත්වන දුරකථන සංවාදයක් එකී සේනාධිපති නමැත්තා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලදී.

ඇවන්ට්ගාඩ් නඩුවල අලුත්ම තත්වය

Translations by Creative Content Consultants

නීති විරෝධී අවි ගබඩාවක් පවත්වාගෙන යමින්, ටී 56 ගිනි අවි 549ක්, 84 එස්. වර්ගයේ ගිනි අවි 264ක්, එල්.එම්.ජී.ගිනි අවි දෙකක්, උණ්ඩ 204,604ක් ගිනි අවි ප්‍රවාහනය කරමින් සිටියදි  ගාල්ල වරාය ආසන්නයේදී ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් 2015 ඔක්තෝබර් 13වන දින  ඇවන්ට් ගාඩ්  නෞකාව අත් අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලදී. සැකකරුවන් සිව්දෙනෙකු ඒ සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරව සිටිති. එම නඩුවේ මහේස්ත්‍රාත් පරීක්ෂණය ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අවසන් කර නඩුව මහාධිකරණය වෙත යොමු කර තිබේ. සැප්තැම්බර් මස 27 කොළඹ මහාධිකරණ අංක 3 ශාලාවේ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මහාධිකරණය වෙත නඩුව යොමු කිරීමට නියමිත ය.

ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගිවි අවි පනතේ 27 (1) වගන්තිය යටතේ සහ තවත් නීති යටතේ අධිචෝදනා 7,573 ක් යටතේ කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ. ඒ සම්බන්ධයෙන් සිතාසි ලැබ සැප්තැම්බර් 27දා අධිකරණයේ පෙනී සිටිය යුතු නිශ්ශංක සේනාධිපති රෝගී බව පෙන්වමින් සිංගප්පූරුවේ රෝහලක ඇඳක් මත සිටිමින් දිල්රුක්ෂි වික්‍රමසිංහගේ හඬ පටය ඇතුළත් වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ නඩුව

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ද මේ පිළිබඳ නඩුවක්
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබිණි. නඩුවේ විත්තිකරුවන් අටදෙනා අතරින් එක් අයෙකු වන ගෝඨාභය රාජපක්ෂ නඩුව අභියෝගයට ලක් කරමින් පළමුව මහාධිකරණයට ද, එය ප්‍රතික්ෂේප වීමෙන් පසු අභියාචනාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරන ලදී. මෙම නඩුව පවරා තිබුණේ 2012 වසරේ සිට 2015 වසර දක්වා වූ කාල සීමාව තුළ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාම සඳහා ඇවන්ට්ගාඩ් සමාගමට අනුමැතිය ලබා දීමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමිනි.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්ගේ ලිඛිත අවසරය නොමැතිව නඩු පැවරීම යන තාක්ෂණික කාරණය මුල් කරගෙන, සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් විධිමත් ආකාරයෙන් නඩු පැවරීමේ අයිතිය අල්ලස් කොමිසමට ඉතිරි කරමින් අභියාචනාධිකරණය විසින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අටදෙනා නිදහස් කරන ලදී.

එම නඩු කටයුත්ත දැන් අවසන්ව තිබේ. ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ කටයුතු කළ ආකාරය ගැටලු සහගත බව අලුත් කාරණයක් නොවේ. එය අභියාචනාධිකරණ තීන්දුවෙන් ද ඔප්පු විය. ඇය ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට චෝදනා කරමින් කරන ප්‍රකාශය ගැන විමර්ශනය කළ යුතු ය. එහෙත්, දැන් ඇය කියන පරිදි, ඇය බොරු නඩුවක් පැවරූ බවක් අභියාචනාධිකරණය ප්‍රකාශ කර නැත. අභියාචනාධිකරණය එම නඩුව ප්‍රතික්ෂේප කරන්නේ තාක්ෂණික කාරණාවක් මත ය. එසේම, එම නඩුව නැවත නිසි පරිදි පැවරීමේ හැකියාව ද අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තිබේ.

ඒ නඩුව සහ මේ නඩුව

එහෙත්, දැන් නිශ්ශංක සේනාධිපති වඩා විධිමත් අන්දමින් පවරන ලද නඩුවකට මෙම මස 27දා අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතු ය. ඔහු මෙම වීඩියෝව නිකුත් කරන්නේ එයට දින කීපයකට පෙර ය. එමගින් ඔහු උත්සාහ කරන්නේ ඔහුට එරෙහිව තිබෙන එම නඩුව සම්බන්ධයෙන් වැරදි චිත්‍රයක් මාධ්‍ය ඉදිරියේ මවා පා, දේශපාලන වාසියක් ලබාගන්නට ය.

එහෙත්, මේ සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු පැවරෙන්නේ පූර්ණ මහේස්ත්‍රාත් පරීක්ෂණයකින් අනතුරුව ය. ඔහුට එරෙහිව තිබෙන චෝදනා සංඛ්‍යාව 7,573කි. සිංගප්පූරුවේ ඇඳන්වල වැතිර හඬාවැටෙමින් මාධ්‍ය ඔස්සේ අනුකම්පාව යදිනවා වෙනුවට ඔහු අධිකරණය හමුවේ පෙනී සිට නඩුවට මුහුණ දිය යුතු ය.

ඔහු ඉතා ශූර ව්‍යාපාරිකයකු බව සැබෑ ය. මෙම ව්‍යාපාරයෙන් අති විශාල ලාභයක් ලබා තිබෙන බව තවමත් ඔහු කරන වියදම්වලින් පෙනේ. එසේම, ඔහු ශූර ලෙස සේවකයන්ගේ සිත් දිනාගැනීම හා සමාජ සේවා කටයුතු වෙනුවෙන් වියදම් කිරීම ද කර තිබේ. ඔහු දේශපාලකයන්ට ද විශාල වශයෙන් මුදල් වියදම් කළ බව ප්‍රසිද්ධ කාරණයකි.

තිලක් මාරපන

2015 අගභාගයේදී, ඔහු දැන් චෝදනා කරන එක්සත් ජාතික පක්ෂයේ එවකට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය තිලක් මාරපනට ඇමති පදවිය අහිමි වුණේ ඇවන්ට්ගාඩ් සමාගමට පක්ෂව පාර්ලිමේන්තුවේදී සහ මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ සිදුකිරීම නිසා ය. ගාලු නගරයේ ආර්ථිකය රඳා පවතිනුයේ ගාලු වරායේ නැංගූරම් ලා ඇති ඇවන්ට් ගාඩ් නෞකාව මත යැයි එදා තිලක් මාරපන පැවසී ය. (තිලක් මාරපනගේ එම ප්‍රකාශය මෙතැනින් කියවන්න) පොලිසිය ඇවන්ට්ගාඩ් සිද්ධය නිර්මාණය කළේ ලකුණු දමාගැනීමට බව ඔහු පැවසී ය. එසේ නම්, දැන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් මහේස්ත්‍රාත් පරීක්ෂණයකින් අනතුරුව චෝදනා 7,500කට වැඩි ප්‍රමාණයක් මහාධිකරණය ඉදිරියේ ගොනු කරනු ලැබුවේ කෙසේ ද?

දිල්රුක්ෂි වික්‍රමසිංහ

ඇවන්ට්ගාඩ් චූදිතයෝ කවුරුද?

ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිස විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභා කරන ලදී. එහෙත්, එම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික කොමදෝරු විශ්වජිත් නන්දන දියබලනගේ යන සැකකරුවන් දෙදෙනා විදේශගත වූ හ.

4 වන සැකකාර රක්නා ලංකා සමාගමේ සභාපති  වික්ටර් සමරවීර, 5 වන සැකකාර විශ්‍රාමික මේජර් ජනරාල්  පාලිත වඩුගේ පියසිරි ප්‍රනාන්දු, 6වන සැකකාර විශ්‍රාමික මේජර් ජනරාල්  කරුණාරත්න බණ්ඩා අධිකාරි එගොඩවෙල 7වන සැකකාර පොලිස් කොමිසමේ ලේකම්  සමන් දිසානායක දැනට රිමාන්ඩ් භාරයට පත් කර තිබේ. විශ්‍රාමික එයාර් වයිස් මාෂල් පී. බී. ප්‍රේමචන්ද්‍ර, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඩී එම් එස් දමයන්ති ජයරත්න යන අය ද අත්අඩංගුවට ගැනීමට නියමිත ය. පී. බී. ප්‍රේමචන්ද්‍ර ද මේ වන විට රටින් පිට වී සිටියි.

නිශ්ශංක යාපා සේනාධිපති, දිසානායක මුදියන්සේලාගේ සමන් දිසානායක සහ පී බී ප්‍රේමචන්ද්‍ර යන පුද්ගලයන්ට එරෙහිව: බොරු සාක්ෂි ගෙතීම ඊට ආධාර අනුබල දීම යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ 189 සහ 790 යන වගන්ති යටතේ ද චෝදනා ගොනු කළ හැකි යැයි සාක්ෂි අනුව පෙනී යන බව පොලිසිය විසින් ප්‍රකාශ කරන ලදී.

ගෝඨාභය රාජපක්ෂගේ වර්තමාන සම්බන්ධය

ගෝඨාභය රාජපක්ෂ මෙම නඩුවට පැටලෙන්නේ ඇවන්ට්ගාඩ් සමාගමට ආයුධ ලබාදීමට සම්බන්ධ රජයට අයත් රක්නා ලංකා සමාගම පාලනය වූයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ ඔහු යටතේ නිසා ය. නාවික හමුදාව විසින් කරගෙන ගිය ව්‍යාපාරයක්, පසුව, රජයට අයත් රක්නා ලංකා සමාගම හරහා ඇවන්ට්ගාඩ් නම් සමාගමට පැවරීමෙන් රජයට පාඩු සිදුකිරීම ඔහුට එල්ල වූ චෝදනාවයි. මෙම ව්‍යාපාරය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ විසින් සිදුකරන ලද වෙනසින් එම ව්‍යාපාරය වඩා ශක්තිමත් වූවා ද නැද්ද යන්න වෙනම විමසා බැලියයුතු කාරණයකි. එහෙත්, රජයක් කටයුතු කළ යුත්තේ රාජ්‍ය නීති රෙගුලාසිවලට අනුව ය. ලාභ ලැබීම සඳහා ඕනෑම කුජීත ආකාරයකට බිස්නස් කරන්නට රජයකට නොහැකි ය. ලංකාව සෝමාලියාව වැනි අරාජික රටක් වූවා නම් මුහුදු කොල්ලකරුවන් පරිද්දෙන් කටයුතු කරන්නට තිබිණි. එහෙත්, ලංකාව කටයුතු කළ යුත්තේ නීතියකට අනුව ය.

සේනාධිපති මේ කරන්නේ කුමක් ද?

ඇවන්ට්ගාඩ් සමාගම විශ්‍රාමික හමුදා නිලධාරීන්ට රැකියා දුන් බව, සාපේක්ෂව හොඳ වැටුප් ගෙවූ බව, සමාජ සත්කාරවල යෙදුණු බව පමණක් නොව, දේශපාලකයන්ට, මාධ්‍යවලට පවා නොමසුරු ලෙස සලකා ඇති බව ද, එය දක්ෂ ලෙස කළමනාකරණය කරන ලද ව්‍යාපාරයක් බව ද ඇත්ත විය හැකි ය. එහෙත්, මූලික ප්‍රශ්නය එවැනි පෞද්ගලික සමාගමකට මේ අන්දමින් ආයුධ ගබඩාවක් පවත්වාගැනීමට තිබෙන අයිතිය කුමක් ද යන්නයි. ඒ අන්දමින් පෞද්ගලික සමාගම් විසින් ආයුධ ගබඩා පවත්වාගෙන යාම රාජ්‍ය හා මහජන ආරක්ෂාවට බරපතල තර්ජනයකි.

නිශ්ශංක සේනාධිපති මේ කරන්නේ එකම සිද්ධියක් සම්බන්ධ නඩු දෙකක සිදුවීම් එකට පටලවා තමන් පැටලී සිටින බරපතල නඩුව සම්බන්ධයෙන් වැරදි චිත්‍රයක් මවාපාන්නට ය. දිල්රුක්ෂි වික්‍රමසිංහ සම්බන්ධ නඩුව දැන් අවසන් ය. එහෙත්, අවශ්‍ය නම් එය නැවත පවරන්නට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බලය තිබේ. එය නැවත පැවරිය යුතු ය. එපමණක් නොව, විත්තිකරුවන් සමග දුරකථන සාකච්ඡා පවත්වන දිල්රුක්ෂි වික්‍රමසිංහගේ චර්යාව පිළිබඳව ද අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනය කළ යුතු ය.

හෙට අනිද්දා විභාගය ආරම්භ වීමට නියමිත අනෙක් නඩුවට මේ කතා එකක්වත් අදාළ නැත. එය වෙනම පවත්වාගෙන ගිය නඩුවකි. එයට ගෝඨාභය රාජපක්ෂ පවා සම්බන්ධ නැත. එය නීති විරෝධී ගිනි අවි ජාවාරමක් පිළිබඳ බරපතල චෝදනාවකි.

නිශ්ශංක සේනාධිපති කරන්නේ එකී නඩුවට අනිසි බලපෑමකි. එසේම, මෙම දැවැන්ත නඩුවේ විත්තිකරුවන්ව සිටිමින් අධිකරණයට පෙනී නොසිට, රටින් පළාගොස් සැඟවී සිටින අය යළි සියරටට භාර දීම වළක්වාගැනීමට ද ඔහු උත්සාහ කරන බව පෙනේ. ඔහුගේ වීඩියෝව මත එල්ලී ප්‍රතිචාර දක්වන දේශපාලකයන් සහ ජනමාධ්‍ය ද එහි හවුල්කරුවෝ ය. ඔවුන් පැමිණ නඩුවට පෙනී සිටිය යුතු ය. වෙන වෙන සෙල්ලං අදාළ නැත.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: