gossip

ජාතිවාදී කටකතා බලකාය ආයෙත් වැඩ

මිනිසුන් ඡන්දය දෙන ආකාරයට බලපෑමේ අරමුණින් ආරක්ෂාව නැති බව හා භීෂණයක් ඇති බව පෙන්වීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ජාතිවාදී අන්තවාදීන් විසින් දියත් කර තිබෙන බව අපි වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නෙමු. එය දැනට ව්‍යාජ සිදුවීම් නිර්මාණය කිරීම වුව ද නුදුරු අනාගතයේදී ම එය යම් යම් සිදුවීම් දක්වා වර්ධනය වීමේ ඉඩක් තිබේ.

Translations by Creative Content Consultants

ඒ අනුව, ව්‍යාජ සිදුවීම් මවාපාමින් කටකතා පතුරුවනු ලබන අතර, ඉන් අනතුරුව ජාතිවාදීන්ගේ අනුග්‍රහය ලබන නායකයන් මෙම සිද්ධි හා කටකතා පාදක කරගනිමින් රටේ ආරක්ෂාව නැති බවට වේදිකාවලදී හඬ තලනු අසන්නට ලැබේ. රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දැඩි පාලකයකු අවශ්‍ය බව අවධාරණය කිරීම මේ පසුපස තිබෙන දේශපාලනික අරමුණයි.

කොළඹ ස්ථාන දෙකක සහ ගම්පහ ප්‍රදේශයේ බෝම්බ ඇති බවට කෙරුණ ප්‍රචාරය සම්පුර්ණ අසත්‍ය තොරතුරු මත පදනම් වූ කටකතා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

කොළඹ ප්‍රසිද්ධ පිරිමි පාසලක බෝම්බ පිපිරීමක් සිදු වි ඇති බවටත් කරන ලද ප්‍රචාරයට අනුව විවිධ මාධ්‍ය වලින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන්ද ඒ ගැන විමසන ලද බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඊට අමතරව උතුරේ කිලිනොච්චි ප්‍රදේශයේ වත්තක වළ දමා තිබි සොයා ගන්නා ලද ක්ලේමෝ වර්ගයේ බෝම්බ දෙකද මිට වසර දහයකට පමණ පෙර යුද්ධය පැවැති කාලයේදී වළ දමා තිබු පරණ බෝම්බ ලෙස හඳුනාගෙන ඇති බව ද ඔහු පවසයි. එම සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා ලද සැකකරු එම කාලයේදි කොටි සාමාජිකයකුව සිට ඇති අතර මෙම බෝම්බ ඔවුන් එම කාලයේදී එසේ වළ දැමූ ඒවා බව ඔහු හෙළිදරව් කර තිබේ.

2010 වසරේදී මොරටුව රාවතාවත්ත ප්‍ර දේශයේ හිටපු හමුදා සාමාජිකයකු විසින් වළ දමන ලද අත් බෝම්බ තුනක් දින කිහිපයකට පෙර හමු විය. මොරටුව රාවතාවත්තේ බෝම්බ පිපිරීමක් සිදුවි ඇති බවට පැතිරී ගිය කටකතාවේ පසුබිම එය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

කිලිනොච්චි ප්‍රදේශයේදී වළදමා තිබි සොයා ගන්නා ලද බෝම්බ සම්බන්ධයෙන් ද විවිධ කටකතා පතුරවමින් ජාතික ආරක්ෂාවට බාධාවන ආකාරයේ තර්ජන ඇති බවට ව්‍යාජ තොරතුරු පතුරවන බවත් පවසන මාධ්‍ය ප්‍රකාශක වරයා සහ යුද්ධ හමුදාව කියා සිටින්නේ උතුරේ ජාතික ආරක්ෂාවට බාධාවන ආකාරයේ කිසිදු දෙයක් මේ වන විට සිදුවෙමින් පවතින්නේ නැති බව ආරක්ෂක බුද්ධි තොරතුරුවලින් ජාතික ආරක්ෂාව තහවුරු වි ඇති බවයි.

ඊයේ පෙරවරුවේ මට්ටක්කුලිය ප්‍රදේශයේ වාහනයක බෝම්බයක් ඇති බවට පැතුරුන කටකතාවලට හේතු වි ඇත්තේ කැඩුණු වාහනයක් මහමග දමා ගොස් තිබීමේ සිද්ධියක් පදනම් කරගෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. ඉදිරියේදී යම් ස්ථානයක හිමිකරුවකු නොමැති වාහනයක් දමා ගොස් තිබි හසු වුවහොත් විශේෂ කාර්ය බලකාය ගෙන්වා එම වාහනය කෑලි වලට වෙන් කර පරීක්ෂාවට ලක් කරන බවත්, එයින්ව වාහනයට සිදුවන අලාභය හිමිකරුට සිදු වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

කටකතා පතුරුවමින් මහජනතාව කලබලයට පත් කරවන හා ජාතික ආරක්ෂාවට බාධා වන ආකාරයේ විවිධ අසත්‍ය තොරතුරු පතුරවන පිරිස් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි.