champika and sajith

චම්පික හා රෝසි කොළඹ කුණුවලින් පුරවන්නට හදන්නේ ඇයි?

අරුවක්කාලු කසල අංගනය විවේචනය කරමින් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක කළ ප්‍රකාශයක් පදනම් කරගෙන බොළඳ ලෙස පෙනෙන ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙගාපොලිස් අමාත්‍යාංශයේ ලේකම්වරයා පියවර ගෙන තිබේ.

Translations by Creative Content Consultants

ඒ වනාහි කොළඹ නගර සභාවේ කුණු අරුවක්කාලු වෙත භාරගැනීම අද සිට නතර කිරීමයි. නගරාධිපතිනියගේ ප්‍රකාශය අනුව, කොළඹ නගර සභාවට කසල කළමනාකරණය සඳහා වඩා හොඳ විසඳුමක් නගර සභාවට සලස්වා ගත හැකි බව පෙනෙන හෙයින් තමන් කසල භාරගැනීම නවත්වන බව අමාත්‍යාංශ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අමාත්‍යාංශයක් කටයුතු කළ යුත්තේ ප්‍රතිපත්තියකට අනුව මිස, එක් එක් අයගේ අදහස් හා ප්‍රතිචාර අනුව නොවේ. රාජ්‍ය නිලධාරීන්ට මෙවැනි තීන්දු ගැනීමට හා නිවේදන නිකුත් කිරීමට අයිතියක් නැත.

අරුවක්කාලු යනු විවේචනය කළ නොහැකි පූජනීය වස්තුවක් නොවේ. එය හැදුවේ කාගේවත් පෞද්ගලික අරමුදල්වලින් ද නොවේ. එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ විවේචන ඉදිරිපත් වූයේ කොළඹ පුරපතිනිය වෙතින් පමණක් ද නොවේ. ප්‍රදේශවාසීන් එයට අවස්ථා ගණනාවකදී විරෝධය පළ කළ හ. එහි ගැටලු තිබේ නම් විසඳාගෙන ඉදිරියට යා යුතු ය.

එසේම කොළඹ කුණු යනු කොළඹ නගර සභා බල ප්‍රදේශයේ ජීවත් වන මිනිසුන්ගේ කුණු පමණක් නොවේ. මුළු රටේම මිනිසුන් කොළඹට කුණු ගෙනැවිත් දමන බව අමතක කළ යුතු නැත.

එහෙත්, මෙගාපොලිස් අමාත්‍යාංශය පැත්තෙන් ද මේ සම්බන්ධ කතාවක් තිබේ. මෙගාපොලිස් අමාත්‍යාංශ්‍ය හෝ ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව තිබෙන්නේ කසල කළමනාකරණයට නොවේ. එහි මූලික වගකීම තිබෙන කොළඹ නගර සභාව හෝ බස්නාහිර පළාත් සභාව හෝ අදාළ කාර්යය හරිහැටි නොකිරීම නිසා ගැටලු රැසක් මතු වී තිබේ. අඩු තරමේ කසල වර්ගීකරණය කර අරුවක්කාලු වෙත ලබාදීමට හෝ අදාළ අංශවලට වගකීමක් ඇති බවක් නොපෙනේ.

මෙම ප්‍රශ්න වීදියට නොගෙනත් විසඳාගැනීම රජයේ කාර්යයයි. ඒ වෙනුවෙන් මේ රටේ මහජනතාව දේශපාලකයන්ට හා නිලධාරීන්ට අවශ්‍ය සියලු සම්පත් හා පහසුකම් ලබා දී තිබේ. රජය මහජන ප්‍රශ්න වීදියට ගෙන ඒම ඉතා වැරදි ය. එය යහපාලනය නොවේ.

කොළඹ කුණු යනු ඉතා සංවේදී ප්‍රශ්නයකි. එය මෙවැනි මොහොතක මතු කරගත් විට එජාපට වැටෙන කොළඹ ඡන්දවලට දැවැන්ත බලපෑමක් කළ හැකි ය. කොළඹ නගරය එජාපට දැවැන්ත වාසියක් සහිත ස්ථානයකි.

(ඡායාරූප ස්තුතිය: ඩේලි මිරර්)