ගුරුකන්ද හෙවත් සෙම්මාලෙයි නීරාවියඩි ජාතිවාදී පොරපිටියක් වන ලකුණු

මුලතිව් දිස්ත්‍රික්කයේ නයාරුහි සෙම්මාලෙයි නීරාවියඩි නමින් දෙමළ වැසියන් හඳුන්වන, සිංහල පවුල් පහක් පදිංචි දෙමළ ගම්මානයේ පිහිටි ගුරුකන්ද විහාරස්ථානයේ වැඩ සිට, පිළිකා රෝගී තත්වයකින් මහරගම අපේක්ෂා රෝහලේදී අපවත් වූ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය අධිකරණ නියෝගයකට පටහැණිව අද දින ආදාහනය කිරීමට බොදු බල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ තවත් භික්ෂූන් පියවර ගත් හ. කෙසේ වෙතත්, හමුදාව සහ පොලිසිය එය නැවැත්වීමට පියවර ගෙන නැත.

Translations by Creative Content Consultants

මෙම සිදුවීම සම්බන්ධයෙන් කේ. සුකාශ් නම් නීතිඥවරයකුට භික්ෂූන් තර්ජනය කළ බවට දෙමළ මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. මේ සම්බන්ධයෙන් උතුරේ නීතිඥ සංගම් විරෝධය පළ කර තිබේ. හෙට දිනයේ අධිකරණ වර්ජනයක් දියත් කිරීමේ සූදානමක් ඇති බව ද වාර්තා වේ.

මෙම ස්ථානයේ පුල්ලෙයාර් හෙවත් ගණ දෙවි කෝවිලක් තිබෙන නිසා ආදාහනය එම ස්ථානයේ නොකරන්නැයි අධිකරණයට ලැබුණු පැමිණිල්ලක් විභාග කරමින් මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් නියෝග කර තිබුණේ හිමියන්ගේ දේහය නයාරු වෙරළ සීමා මායිමේ පිහිටි පැරණි යුද හමුදා කඳවුරක් තිබූ ස්ථානයේ ආදාහනය කරන ලෙසයි.

ගුරුකන්ද විහාරය බෞද්ධ ඉතිහාසය සමග සම්බන්ධ රජ මහා විහාරයක් බවට සාක්ෂි ඇති බව අපවත් වූ විහාරාධිපති හිමියන් සහ බෞද්ධ පිරිස් තර්ක කරති. මෙම ස්ථානයේ චෛත්‍යයක නටබුන් ඇති බව වාර්තා වේ.

දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ජනතාව පවසන්නේ මෙම ස්ථානයේ පැරණි හින්දු කෝවිලක් පැවති බවයි.

යුද සමයේ මෙම ස්ථානය දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ කඳවුරක් ලෙස ද, යුද්ධයෙන් පසු හමුදා සෙබළුන් විසින් ආගමික කටයුතු කරන ස්ථානයක් ලෙස ද පැවති බව වාර්තා වේ.

මෙම ස්ථානයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් මේ වසරේ මුල සිට ම දෙමළ හා සිංහල පාර්ශ්ව විසින් අධිකරණයට පැමිණිලි කර තිබිණි.

මෙම ප්‍රදේශයේ ඉතිහාසය විමර්ශනය කිරීමේදී බෞද්ධ මෙන් ම හින්දු ආගමික ස්ථාන ද මෙම ස්ථානවල එකට හෝ එක් එක් කාල වකවානුවල වෙන වෙන ම පැවත ඇති බව වාර්තා වේ. බෞද්ධ මෙන් ම හින්දු ආගමික ස්ථාන එකට ඇති නටබුන් පොළොන්නරුව, පදවිය වැනි ස්ථාන ගණනාවකින් හමු වී තිබේ. විශේෂයෙන් ම පොළොන්නරු යුගයේ මුල පටන් ම මෙම ප්‍රදේශයේ හින්දු බලපෑම අධික විය. කෙසේ වෙතත්, මෑතභාගය වන තුරු ම කිසිවකු මෙම පුරා විද්‍යා ස්ථානවලට හානි සිදු කළේ නැත. මෑතක සිට ජාති ආගම් භේදයකින් තොරව, නිදන් සොරුන් විසින් දිවයින පුරා පුරාවිද්‍යා ස්ථාන විනාශ කර තිබේ.

උතුරු පළාතේ පුරාවිද්‍යාත්මක ස්ථාන ගණනාවක් සම්බන්ධයෙන් මෙවැනි ආගමික මතභේද තිබේ. සත්‍යය වන්නේ එම ස්ථාන බෞද්ධ මෙන් ම හින්දු යන උරුමයන් දෙකෙන් ම යුක්ත වීමයි. බෞද්ධ මෙන් ම හින්දු කොටස් ද මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ සිංහල හා දෙමළ ජාතිවාදී පදනම්වලිනි. කෙසේ වෙතත්, මෙම ප්‍රදේශවල දැන් බහුතරයක් ජීවත් වන්නේ දෙමළ ජනතාවයි. පොදු ජාතික උරුමයන් වන බෞද්ධ මෙන් ම හින්දු පුරාවිද්‍යා ස්ථාන රැකගැනීම සඳහා කටයුතු කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරහා රජයේ වගකීමයි.