Lawyer assaulted in Sri Lanka

උසාවියේදී නීතීඥයකුගේ හිසට කෙළ පඩික්කමක්

මෙම ඡායාරූපයේ තිබෙන්නේ 2012 මාර්තු මාසයේදී අධිකරණයක් තුළ සිදුවූ සිද්ධියකි. කෝට්ටේ පන්සලක භික්ෂූන් දෙනමක් ඝාතනය කිරීමේ සිද්ධියක සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥ සුමිත් සිල්වාට ගංගොඩවිල අධිකරණ භූමිය තුළදී ම භික්ෂූන්, කාන්තාවන් ඇතුළු පිරිසක් බිම දමාගෙන අමානුෂික ලෙස පහරදුන්හ.

එම පහර දීම කළේ භික්ෂු ඝාතනයෙහි සැකකරුවන් වෙනුවෙන් නීතිඥයන් පෙනී නො සිටිය යුතුය යන පදනමිනි. අධිකරණ භූමියේදීම එක් උපාසිකාවක් නීතිඥයාගේ හිසේ සිට කෙළ පඩික්කමක් පෙරළූ බව වාර්තා විය.

මෙම සිදුවීම සම්බන්ධයෙන්  කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගත් බව දැනගන්නට නොලැබිණි. නීතීඥ සංගමය පවා මෙම නීච ක්‍රියාව නීතිය ඉදිරියට ගෙන එන්නට ඉඩ නොදී යටගැසුවේය. මූලික හේතුව භික්ෂූන්ය.

භික්ෂූන් සිවුරේ බලය අපහරණය කරමින් අධිකරණයට අපහාස කිරීම හමුවේ බොහෝ විනිසුරුවරුන් පවා නිහඬව සිටියහ.

ගලගොඩඅත්තේ ඥානසාර හිමි අධිකරණ රැසකට කොට කොටා ගොස් අවසානයේදී හොට පටලාගෙන, අඩමින් දොඩමින් හිරේ ගොස්, රැවුල් වවාගෙන අනුකම්පා අයදින ඡායාරූප පළකරවාගෙන අවසානයේදී ජනාධිපති සමාවක් ඉල්ලාගෙන දැන් නැහැදිච්චකම් තරමක් දුරට පාලනය කරගෙන පාඩුවේ ඉඳියි.

චෝදනාවක් ඔප්පු වන තෙක් ඕනෑම සැකකරුවෙකු නීතිය ඉදිරියේ නිවැරදිකරුවෙකි. චෝදනා එල්ල කරන පොලිසිය නිවැරදිදැයි අප කිසිවෙකු දන්නේ නැත. කවුරු හරි ද, කවුරු වැරදි ද කියා තීරණය කිරීමට අප එකිනෙකාට වෙන වෙන ම අවස්ථාවක් දීමට සමාජයට බැරි ය. එහෙයින් අපි යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් වගකීම අධිකරණයට පවරා ඇත්තෙමු. අධිකරණය පූර්ව විනිශ්චයවලින් තොරව නඩු විභාගයක් පවත්වා අපට තීන්දුවක් දිය යුතු ය. සමාජයක් ලෙස එම තීන්දුව භාරගැනීමට අපි බැඳී සිටින්නෙමු. අධිකරණය සාධාරණ නඩු විභාගයක් පැවැත්විය යුතු ය. එහිදී විත්තිකරුට තමන් නියෝජනය කිරීමට නීතිඥ සහාය ලබාගැනීම සඳහා අවස්ථාව ලබා දිය යුතු ය. එසේ නොකළහොත්, එය සාධාරණ නඩු විභාගයක් වන්නේ නැත.

සැකකරුවන් නියෝජනය කිරීම සඳහා නීතීඥවරුන්ට තිබෙන අයිතියට හා නීතීඥ සහාය ලබාගැනීමට සැකකරුවන්ට තිබෙන අයිතියට පොලිසිය, අධිකරණය හා වෙනත් අංශ ගරු කළ යුතුය.

හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්නගේ පුත් නීති ශිෂ්‍ය මිගාර ගුණරත්නට වෙනත් නීතීඥවරයකු යයි වරදවා වටහාගෙන පෑලියගොඩ පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පිරිසක් අමානුෂික අයුරින් පහරදුන්හ. අද දින එම නඩුව අධිකරණයේ විභාග වූ අවස්ථාවේ වින්දිතයා වෙනුවෙන් නීතීඥ සංගමයේ අලුතින් පත්වූ සභාපති සාලිය පීරිස් පෙනීසිටිද්දී පොලිසිය වෙනුවෙන් පෙනීසිටියේ නීතීඥ ටිරන්ත වලලියද්දයි.

මෙහිදී වරදකරු යයි චෝදනා ලබන්නේ පොලිසියයි. වෙනත් ඕනෑම සැකකරුවකුට මෙන්ම පොලිසියට ද නීතීඥ සහාය ලබාගැනීමට අයිතිය තිබේ. සෙසු සැකකරුවන්ගේ එම අයිතියට පොලිසිය හා සමාජය ගරු කළ යුතුය.

වාර්තාව මෙතැනින්>>