scene in a house in Pelmadulla

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2021 අගෝස්තු 22

මෙම සටහන තබන මොහොත වන විට ශ්‍රී ලංකාවේ ඉතා වේගයෙන් කොවිඩ්-19 වසංගතය පැතිර යමින් තිබේ. දෛනිකව හඳුනාගනු ලබන රෝගීන් සංඛ්‍යාව කියන්නේ දහස් ගණනිනි. මරණ සංඛ්‍යාව කියන්නේ සිය ගණනිනි. තවමත් වසංගතය උපරිම මට්ටමට පැමිණ ඇති බවක් නොපෙනේ.

මේ අතර රජය විසින් එන්නත්කරණය වේගවත් කර තිබේ. එන්නත්කරණයෙන් මෙන්ම කොවිඩ්-19 වැළඳීමෙන් ද ප්‍රතිශක්තිය ගොඩනැගේ. සමාජය වේගයෙන් සමූහ ප්‍රතිශක්තියක් ගොඩනගාගනිමින් තිබේ. එන්නත ලබාගත් අයට කොවිඩ්-19 වැළඳීම සාමාන්‍ය තත්වයක් වී තිබේ. එහෙත්, වරක් රෝගය හැදුණු අයට නැවත හැදෙන බව වාර්තා වන්නේ ඉතා අඩුවෙනි. මේ අතර වයිරසය විකෘති වෙමින් අලුත් ප්‍රභේද නිර්මාණය වෙමින් තිබේ. මුළු ලෝකයම සාමූහිකව මෙම වසංගතයට එරෙහිව අරගල කළ යුතුය. සියලුදෙනා ආරක්ෂිත වන තෙක් කිසිවෙකු සුරක්ෂිත නැත. වර්තමාන ලෝකය විශ්ව ගම්මානයකි. එහි ප්‍රජාවන් අතර පවතින සම්බන්ධතාවන්ගේ ස්වභාවය අනුව, ලෝකයේ කොහේ හෝ අඳුරු මුල්ලක මතුවන කොවිඩ්-19 වයිරස් ප්‍රභේදයක් හේතුවෙන් මුළු ලෝකයම අවදානමට ලක්වේ. දැඩි ලෙස ගෝලීයකරණය වූ ලෝකයක ගෝලීය වසංගත තත්වයක් හමුවේ ජාතිකවාදී විසඳුම් ප්‍රායෝගික නැත.

ශ්‍රී ලංකාවේ පළමු කොවිඩ් රෝගියා වාර්තා වන්නට සති කීපයකට පෙර, 2020 ජනවාරි 28දා මම ප්‍රජා වෙබ් අඩවියෙහි මෙසේ සටහන් කළෙමි.

කොරෝනා වයිරසය සෙසු සියලු වයිරස් ආසාදන පැතිරීම්වලට වඩා වේගයෙන් මාධ්‍ය හරහා පැතිරී යන බවක් දක්නට ලැබේ. මාධ්‍ය ආවරණය විසින් සාධනීය මෙන් ම නිශේධනීය ප්‍රතිඵල ද ඇති කරනු ලැබේ. එක පැත්තකින් මිනිසුන් ඒ පිළිබඳ දැනුවත් වේ. එහෙත්, අනෙක් පැත්තෙන් මාධ්‍යවල අධි සංවේදීකරණයන් හේතුවෙන් මිනිස්සු භීතියට පත් වෙති. මුඛ ආවරණ පැළඳීමෙන් ආරම්භ වන මෙය දෛනික ජීවිත හා සමස්ත ආර්ථිකය අඩාල වීම දක්වා පැතිරිය හැකි ය. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවලට මෙම යුගයේ පුවත් හිඟයක් තිබේ. එබැවින් මේ වන විටත් කොරෝනා වයිරසය සම්බන්ධයෙන් අධි සංවේදීභාවයක් සමාජය තුළ නිර්මාණය කර හමාර ය. රෝගය වැළඳුණ විට මිනිසුන් හිටිහැටියේ කෙසෙල් කඳන් සේ කඩා වැටෙන බවට ද පුවත් පළ විය. වෙනත් රෝග නිසා ද රෝගීන් ක්ලාන්ත වීම, සිහිසුන් වීම සිදු වේ. ශ්‍රී ලංකාවේ දේශපාලන හා සමාජ අධිසංවේදීකරණයන් සම්බන්ධයෙන් කප්ගැසූ මාධ්‍ය කොරෝනා භීතිකාව නිර්මාණය කිරීමෙහි ද ඉදිරියෙන් ම තිබේ. පළමු රෝගියා හඳුනාගැනීමත් සමග ම ශ්‍රී ලංකාවේ සමාජය තුළ ඉතා නරක තත්වයක් ඇති විය හැකි ය. රෝගීන් හිංසාවට ලක්වීමට පවා ඉඩ තිබේ

ශ්‍රී ලංකාවේ පළමු කොවිඩ් රෝගියාගේ සිට අද හඳුනාගන්නා රෝගියා දක්වාම රෝගීන් කොන්කිරීම, පිළිකුල් කිරීම, වෛරයට ලක්වීම සිදුවේ. කොවිඩ් රෝගීන් යනු වැරදිකරුවන් පිරිසක්ය වැනි අදහසක් තවමත් සමාජයේ තිබේ. මෙම තත්වය නිර්මාණය කරන්නට මාධ්‍ය සෑහෙන දායකත්වයක් ලබාදුන්නේය. මුල් කාලයේ කොවිඩ්-19 රෝගීන් හා ආශ්‍රිතයන් නිරෝධායනයට යවන ආකාරය මාධ්‍යවලින් ප්‍රදර්ශනය කළේ අපරාධකරුවන් පෝරකයට ගෙන යන්නාක් මෙනි.

අවසානයේදී දිවයින පුවත්පතේ මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරිය රෝහලින් පැනයාම පිළිබඳ සිද්ධිය ද මාධ්‍ය වාර්තා කළේ ඒ අන්දමින්මය. කිසිදු මාධ්‍යයක් තම සහෝදර මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරියට ඇමතුමක් දී ඔහුට කියන්නට තිබූ දේ වාර්තා කළේ නැත.

වෙනත් රටවල වසංගතය පැතිරෙන විට ලංකාවේ මාධ්‍ය පමණක් නොව ලෝක මාධ්‍ය පවා එම රටවල් පිළිබඳ නිර්මාණය කළේ ඉතා බියකරු චිත්‍රයි. එමගින් එම රටවල් පිළිකුලට, කොන්කිරීමට ලක්විය. ලංකාවේ කොවිඩ් පැතිරෙන තාක්කල් මෙරට මාධ්‍යවලට ලෝකයේ වෙනත් රටවල තත්වය වාර්තා කිරීමේදී ගැඹුරින් විමසීමේ අවශ්‍යතාවක් නොතිබිණි. එහෙත්, ලංකාවේ වත්මන් කොවිඩ්-19 රැල්ලත් සමග දැන් ඇති වී තිබෙන තත්වය වූහාන්වල, ඉතාලියේ, බ්‍රිතාන්‍යයේ, ඇමරිකා එක්සත් ජනපදයේ, බ්‍රසීලයේ හෝ ඉන්දියාවේ තත්වයෙන් කිසිදු වෙනසක් නැත. එම රටවල් සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කරන ලද දේ දැන් ලංකාව සම්බන්ධයෙන් ද සිදුවෙමින් තිබේ.

බස් නැවතුමක වැටී සිටි පුද්ගලයකු රෝහලට රැගෙන යන දර්ශනයක් දැක්වෙන වීඩියෝවක් සමග විදෙස්ගත ජ්‍යේෂ්ඨ ලාංකික මාධ්‍යවේදියකු ට්විටර්හි සටහන් කර තිබුණේ ලංකාවේ ද මිනිසුන් මහමග මැරී වැටෙන තත්වයක් නිර්මාණය වෙමින් ඇති බවයි. එම පුද්ගලයා මහමග ඇදවැටුණේ ඇයිදැයි මාධ්‍ය ඉන්පසු සොයාබැලුවේ නැත.

පසුගිය දිනවල සංසරණය වූ මිනීපෙට්ටි ඡායාරූප ද එවැනිය. එමගින් ඉතා බියකරු චිත්‍රයක් නිර්මාණය කරන ලදමුත්, ඒ මිනීපෙට්ටි මොනවාද, එම සිද්ධිය කුමක්ද යන්න මාධ්‍ය ඉන්පසු වාර්තා කළේ නැත.

තෝරාගත් ඡායාරූපයක් හරහා කෙතරම් බියකරු චිත්‍රයක් නිර්මාණය කළ හැකිද යන්නට මේ සමග ඇති ඡායාරූපය උදාහරණයකි. මෙම ඡායාරූපය 2020 නොවැම්බර් මස පළවූයේ පැල්මඩුල්ල MOH කාර්යාලය නමින් පවත්වාගෙන ගිය ෆේස්බුක් පිටුවකය. නොවැම්බර් 16දා කෙටේතැන්න, සඳසිලුගම ගම්මානයේ නිවසකට පෑලියගොඩ සිට බසයකින් පැමිණි පුද්ගලයකු පැය කීපයකට පසු මිදුලේ වැටී මියගියේය. මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ එම මළසිරුර රෝහලට ගෙන ගිය අවස්ථාවයි. මෙම ඡායාරූපය අහම්බෙන් ගත් විශිෂ්ට ඡායාරූපයකි. එහි ආලෝකකරණය ඒ වේලාවේ එහි තිබුණු තත්වයයි. එහි සිටින මිනිසුන් හා තිබෙන උපකරණ ද එසේය. එහෙත්, එය අතිශය බියකරු, කාලකණ්ණි හැඟීමක් නිර්මාණය කිරීමට සැලසුම් කර ගත් ඡායාරූපයක් වැනිය.

මෙවැනි ඡායාරූපයක් ජාත්‍යන්තර වශයෙන් ප්‍රචාරය කර එය ලංකාවේ තත්වය යයි කීවා නම් හෝ දේශීය වශයෙන් ප්‍රචාරය කර එය පැල්මඩුල්ලේ තත්වය යයි කීවා නම් එය නිවැරදිද?

පසුගිය කාලයේ අප ඉන්දියාවේ, බ්‍රසීලයේ, වූහාන්හි ආදී වශයෙන් දුටු ඡායාරූපත් මෙවැනිම ඒවා විය හැකිය. වසංගතය තදින් පැතිර ගොස් තිබුණත්, ලංකාව විසාලා මහනුවර වසංගත තත්වයට පත්වී නැති බව අපි දැන් දන්නෙමු.

3 thoughts on “වසංගතය එක හත කරන ජනමාධ්‍ය

  1. Anaarakshitha dumriya haras mageka , sumriyak eatha enavita sangncha magin minissu dewath kiroema weradidaha ?
    Nethahoth hari , dekaa thunaa hepie mereddhi dakina dano deka awabodhaya leba parissam viema da !

  2. දැන් ඔබෙි අදහස් වෙනස් වෙමින් පවතී.ආන්ඩුවට කඩේ යාමක් .ගවේෂණය කෝ.

  3. Aneka , ape ruchiyata gelapena siduweim parisaraye athi nowana awastha emata .
    Warthakaranya yanu swathanthra nirmaanayak viyayuthu netha .
    Sidhiya samaajagathuyuth nethnam , waaranaya kiriema Adminlage wedak misa seaya roo shilpiyaage wedak novea !

Leave a Reply to Lakshman Cancel reply

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: