journalism awards

පුවත්පත් සම්මාන හා පෙරහන් බුබුළු

අජිත් පැරකුම් ජයසිංහ

ඊයේ පැවැත්වුණ පුවත්පත් සම්මාන උළෙලේදී සම්මානලාභී පුවත්පත් කලාවේදීන් වැඩිදෙනෙකු මගේ සමාජ මාධ්‍ය පෙරහන් බුබුලේ (filter bubble) සිටිති. සුබපැතුම්! ඒ ගැන අධ්‍යයනය කිරීම මාධ්‍ය අනාගතයට ඉවහල් වනු ඇත.

නූතන සමාජයේ මිනිසුන් ජීවත් වන්නෙ තොරතුරු පෙරහන් කර අප කැමති විදියට ලබාගන්නා බුබුළු නිර්මාණය කරගෙන ඒවා ඇතුළේයි. ඒ බුබුළ අපට හරි සුවපහසුයි. එහි තිබෙන්නේ අප විසින් තෝරාගන්නා ලද තොරතුරු මූලාශ්‍රයි. තවත් තොරතුරු මූලාශ්‍ර රැසක් අප විසින් බැහැර කරනු ලැබේ.

සමාජ මාධ්‍යවලදී මෙය පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය. විශේෂයෙන්ම ෆේස්බුක් අවකාශය ෆ්‍රෙන්ඩ්ස් යනුවෙන් හැඳින්වෙන පුද්ගලයන් 5,000ක සීමාවක් ලබාදී තිබේ. එම සංඛ්‍යාව තුළ සිටින පිරිස අපට තෝරාගත හැකිය. අනෙක් පිරිස බැහැර කළ හැකිය. එපමණක් නොව ඕනෑ නම්, ඔවුන්ගේ තොරතුරු කිසිවක් අප නෙත නොගැටෙන පරිදි ඔවුන් බ්ලොක් කිරීමට ද හැකිය. ෆේස්බුක් ඇල්ගොරිදම් මගින් ද අපගේ පෙරහන් බුබුළ දැඩිව පාලනය කරනු ලැබේ. අපගේ රුචිකත්වයන් හඳුනාගෙන අප වෙත කරනු ලබන දැන්වීම් ඇතුළු යොමුකිරීම්වලට අමතරව විවිධ වාරණයන් ඔස්සේ ද ෆේස්බුක් සමාගම විසින් අපගේ පෙරහන් බුබුළ පාලනය කරයි.

එහෙත්, මෙම පෙරහන් බුබුළෙන් පිටතත් ලෝකයක් තිබේ. එහි වෙනත් සමාජ මාධ්‍ය අවකාශයන් ද තිබේ.

පුවත්පත් සම්මාන උළෙලේ පසුගිය සම්මානලාභීන් අධ්‍යයනය කළහොත්, එකී සම්මාන සඳහා නිර්ණායක බවට පත්වී තිබෙන දේශපාලන ලක්ෂණ පැහැදිලිව හඳුනාගත හැකිය. එහි වරදක් නැත. දශක දෙකක පමණ කාලයක සිට පැවැත්වෙන පුවත්පත් සම්මාන උළෙල විසින් කිසියම් පුවත්පත් කලා ප්‍රමිතියක් ලංකාවේ නිර්මාණය කර තිබේ. එම ප්‍රමිතිය සන්සන්දනය සඳහා යොදාගත හැකි බෙන්ච්මාක් එකකි.

කණගාටුදායක තත්වය වන්නේ එම ප්‍රමිතියෙන් බැහැර අතිවිශාල ලෝකයක් නිර්මාණය වීම හා එම පුවත්පත් කලා ලෝකයේ ප්‍රමිති වඩා ප්‍රමුඛ වීමයි. අති විශාල අන්තර්ගතයන් ප්‍රමාණයක් දෛනිකව නිර්මාණය වන පුවත්පත් කලා ලෝකයෙහි පාඨකයන්ට වැදගත් වන්නේ අන්තර්ගතයයි. අන්තර්ගත නිර්මාණය කරන්නන්ගේ නම් ආදී විස්තර වැදගත් වන්නේ ඉහළ මාධ්‍ය සාක්ෂරතාවක් ඇති සීමිත පිරිසකට පමණි.

මෙය පැහැදිලි කරන්නට උදාහරණයක් මෙසේ දැක්විය හැකිය. පසුගිය දිනෙක මගේ සමීපම මිත්‍රයෙක් කීර්ති වර්ණකුලසූරිය නම් දිවයින පුවත්පතේ වාර්තාකරුගේ ලිපියක් කියවා මා සමග පැවසුවේ එය ‘ගවේෂණාත්මක’ ලිපියක් යයි ඔහු සිතන බවයි. අපගේ මිත්‍රයන් කීපදෙනෙකු ගැන එහි තිබුණු අදහස් සලකා බලන මට්ටමක ඔහු සිටියේය. මෙම මිත්‍රයා කීර්ති වර්ණකුලසූරිය කියන නමවත් මීට කලින් අසා තිබුණු බවක් පෙන්නුම් නොකළ අතර, කීර්ති වර්ණකුලසූරිය සම්බන්ධයෙන් තිබෙන අඟහරු ගඩොල් පිළිබඳ උපහාස කතා තබා යුද්ධ කාලයේ ඔහුගේ යුදවාදී මාධ්‍ය භූමිකාව ගැනවත් දැන සිටියේ නැත.

කීර්ති වර්ණකුලසූරිය යනු පුවත්පත් සම්මාන උළෙලේ ප්‍රමිති අනුව සම්මාන ලබාගත නොහැකි, පුවත්පත් කලාවේදියකු ද යන කරුණ පවා ගැටලු සහගත වෘත්තිකයෙකි. ඒ ලාංකීය පුවත්පත් සම්මාන උළෙලේ ප්‍රමිති අනුවය. එහෙත්, කීර්ති වර්ණකුලසූරිය කියවන අය සිටිති.

සමාජ මාධ්‍ය ජනමාධ්‍යකරණය ග්‍රහණය කරගත නොහැකි තරම් පුළුල් වී තිබෙන වර්තමානයේදී පුවත්පත් සම්මාන උළෙලේ හෝ අන් කිසිදු සම්මාන උළෙලක හෝ ප්‍රමිතියකට අයත් නොවන අන්තර්ගතයන් හා අන්තර්ගත නිර්මාපකයන් බහුලය.

මේ අතර පුවත්පත දැවැන්ත අභියෝගයකට ලක්වී තිබේ. වර්තමාන ආර්ථික අර්බුදය අවසන් වන විට ලංකාවේ පුවත්පත් කීයක් ඉතිරිවේද යන්න කිව නොහැකිය. සම්මානලාභී පුවත්පත් කලාවේදීන්ට පවා අන්තිමේදී කුමක් සිදුවේද?