Covid-19 and the journalist

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය – ලංකා පුවත්පත (2020 මාර්තු 28)

ලංකා පත්තරේ විද්‍යුත් පිටපතක් නිකුත් කරන එක ඉතා හොඳ දෙයක්. කොවිඩ්-19 වසංගත තත්වය මැද පවා පුවත්පත්වලටත් ඉතා වැදගත් භූමිකාවක් තිබෙනවා.

Translations by Creative Content Consultants

ජනතාවට වසංගතය ගැන සත්‍ය තොරතුරු වාර්තා කිරීම, සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්ගේ අඩුපාඩු පෙන්වා දීම පමණක් නොවෙයි ජනතාවගේ ජීවනෝපායන්, ආහාර සුරක්ෂිතභාවය, බලශක්තිය, බෙහෙත්, ඇඳුම්, ප්‍රවාහනය, සන්නිවේදනය, ජනමාධ්‍ය, සංස්කෘතික, ලිංගික, මනෝ සමාජ අවශ්‍යතා ආදිය පිළිබඳ සොයා බලා කටයුතු කිරීමෙහිදී ජනමාධ්‍යවලට ඉතා වැදගත් භූමිකාවක් තිබෙනවා. සරලව කිව්වොත්, ජනමාධ්‍යකරුවන් වසංගත තත්වයන් තුළ පවා වැඩ කළ යුතුයි.

හැබැයි, වසංගතවලින් තමාවත්, තම වෘත්තීය සගයන් සහ පවුලේ අයත්, ප්‍රජාවත් ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම ජනමාධ්‍යවේදීන්ගේ වගකීමක්. පසුගිය දිනවල අප දුටුවා, ලංකාවේ රූපවාහිනී මාධ්‍යකරුවන් ඉතා අපරීක්ෂාකාරී ලෙස ක්ෂේත්‍රයේ කටයුතු කරන ආකාරය. ඔවුන්ගේ අපරීක්ෂාකාරිත්වය ඔවුන්ගේ ජනමාධ්‍යවලින් ම විකාශය කරන විට සමාජ මාධ්‍යවලින් තමයි එහි අඩුපාඩු පෙන්වා දුන්නේ. ඒ විවේචන නිසා ඔවුන් වැරදි නිවැරදි කරගත්තා.

වසංගත තත්වයන් තුළ වැඩ කරන ජනමාධ්‍යකරුවන්ට ප්‍රයෝජනවත් විය හැකි උපදෙස් මාලාවක් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය හෙවත් International Federation of Journalists විසින් පසුගියදා නිකුත් කළා. එහි ඇතැම් කරුණු ලංකාවේ ජනමාධ්‍යකරුවන්ටත් වැදගත්.

වසංගත හමුවේ ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාවෙහි තල කීපයක් තිබෙනවා. පළමුව, සේවා ස්ථානයේ ආරක්ෂාව පිළිබඳ සලකා බලමු. මෙහිදී ජනමාධ්‍ය සේවායෝජකයන් කොරෝනා වයිරස වසංගත තත්වය සෞඛ්‍ය සහ ආරක්ෂණ අර්බුදයක් ලෙස සැලකිය යුතු අතර තමන්ගේ කාර්ය මණ්ඩලයට සැලකීමේ වගකීම සපිරිය යුතුයි.

ජනමාධ්‍යවේදීන් සහ වෙනත් මාධ්‍ය වෘත්තිකයන් මෙන් ම ඔවුන්ගේ සංවිධාන ද තමන් සහ අනෙක් අය කොරෝනා වයිරස් රෝගයෙන් ආරක්ෂා කරගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සහ උපදෙස් අනුගමනය කළ යුතුයි.

කාර්යාලයේදී වයිරසය ආසාදනය වීමේ අවදානම අවම කරගැනීම සඳහා නිවසේ සිට වැඩ කිරීමේ අවස්ථාව සේවකයන්ට ලබා දීම ගැන බැරූරුම්ව සලකා බැලිය යුතුයි.

ජනමාධ්‍යවේදීන් සහ වෙනත් මාධ්‍ය වෘත්තිකයන් විසින් සෞඛ්‍ය සම්පන්න සේවා තත්වයන් සඳහා ඇති අයිතිය ඉල්ලා සිටිය යුතුයි. කොරෝනා වයිරසය ආසාදනය වීමේ තර්ජනයක් ඇති විටදී සේවා ස්ථානයට වැඩ සඳහා නොපැමිණිය යුතුයි.

කාර්යාල අවකාශය සහ උපකරණ නිරතුරුව පිරිසිදු කළ යුතුයි. විශේෂයෙන් ම කාර්ය මණ්ඩල විසින් හවුලේ පාවිච්චි කරන ඒවා ගැන සැලකිලිමත් විය යුතුයි.

ජනමාධ්‍යකරුවන් මුහුණ දෙන දෙවන බරපතලම අභියෝගය වන්නේ ගමන් බිමන් යාමයි. මාධ්‍යවේදීන්ගේ ගමන් බිමන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී එක් එක් මාධ්‍යකරුවාගේ සෞඛ්‍ය තත්වය, ශාරීරික යෝග්‍යතාව ආදිය ගැන ආයතන තුළ අවංක සංවාදයක් තිබීම වැදගත්. දේශීයව හා රටින් පිටට ගමන් යා යුතු වන ජනමාධ්‍යවේදීන් සහ වෙනත් මාධ්‍ය සේවකයන් එම ගමන් බිමන් ඉතා පරිස්සමින් සැලසුම් කරගත යුතුයි.

ලංකා යනු පුවත්පතක්. ලංකාවේ පුවත්පත් බෙදාහැරීම සිදු වන ආකාරය අනුව, පුවත්පත් මගින් කොරෝනා ආසාදනය පැතිරීම බැහැර කරන්නට බැහැ. ඒ නිසා මේ දිනවල පුවත්පත් මුද්‍රණය වීම නතර කර තිබීම හොඳ දෙයක්. ඒත්, රූපවාහිනිය ළඟට ලංකාවේ ඊළඟට ජනප්‍රියම ජනමාධ්‍යය පුවත්පත ලෙස සැලකිය හැකියි. මේ දෙක එකිනෙකට සපුරා වෙනස් මාධ්‍ය දෙකක්. ඒ නිසා එකක අඩුව අනෙකෙන් ඌනපූරණය වෙන්නෙ නැහැ. විද්‍යුත් පුවත්පතක් නිකුත් කිරීමෙන් මුද්‍රිත පුවත්පතක අඩුපාඩුව පියවෙන්නේ නැති වුණත්, පුවත්පත පළ නොකර ඉන්නවාට වඩා එය හොඳයි.

තම සෞඛ්‍යයට සහ ජීවිතයට කොරෝනා වයිරසය විසින් තර්ජනයක් ඇති විට, කොරෝනා වයිරසය සම්බන්ධ ඕනෑම ජාතික හෝ ජාත්‍යන්තර වාර්තා කිරීමේ පැවරුමක්, සිය රැකියාවට අවදානමක් නොමැතිව ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය මාධ්‍ය වෘත්තිකයන්ට තිබෙනවා.

අත්වැසුම්, දෑත් පවිත්‍රකාරක වැනි ඇතැම් පෞද්ගලික සනීපාරක්ෂක ද්‍රව්‍ය සේවා කටයුතුවලදී අවශ්‍ය විය හැකියි. ඒවා ගමන පිටත් වීමට පෙර සපයා ගත යුතුයි.

වර්තමාන කොවිඩ්-19 වසංගතය ගැන වාර්තා කරන විට එය ඉතා පරිස්සමෙන් කළ යුතු වෙනවා. ලංකාවේ විද්‍යුත් ජනමාධ්‍ය තවමත් මේ පරිස්සම ගැන සැලකිලිමත් බවක් පෙනෙන්නේ නැහැ. ක්ෂේත්‍රයේදී පමණක් නොවෙයි, මැදිරි වැඩසටහන්වලදීත් ආරක්ෂාව ඉතා වැදගත්. කොවිඩ්-19 වයිරසයට නිරාවරණය වූ රාගම රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා එසේ නිරාවරණය වීමෙන් පසු ජාතික රූපවාහිනියේ වැඩසටහනකට පවා සහභාගි වී තිබුණා. අඩු තරමේ මේකප් කරන ශිල්පියාට හෝ ස්වයං නිරෝධායනයට යොමු වන්නට සිදු වුණා. මැදිරි වැඩසටහන් සඳහා පුද්ගලයන් කැඳවීම ඉතා පරිස්සමෙන් කළ යුතු දෙයක්. නැතිනම් ජනමාධ්‍ය සේවකයන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක් විය හැකියි.

වසංගත පාලන ක්‍රියාමාර්ග නිසා ඉදිරි කාලයේදී සමාජ කැළඹීම් අපේක්ෂා කළ හැකියි. එවැනි තත්වයන් තුළ වාර්තාකරණය සඳහා මහජනයා මැදට යන විට කොවිඩ්-19ට නිරාවරණය වන්නට තිබෙන ඉඩකඩ ගැන ජනමාධ්‍යවේදීන් හොඳින් දැනුවත්ව සිටීම අත්‍යවශ්‍යයි.

කෙටි දැනුම් දීමකින් දේශීය ගමන් බිමන් සීමා කිරීම වැනි මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව පොදු නිවේදන දැනගැනීම සඳහා ප්‍රාදේශීය ප්‍රවෘත්ති නිරීක්ෂණය කිරීම වැදගත් වන බව ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය පෙන්වා දෙනවා. එසේම, ජනමාධ්‍යවේදීන් ඇතැම් ප්‍රදේශවලට ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීම, මාධ්‍යවේදීභාවය පිළිනොගැනීම, ඉවත් කිරීම මෙන් ම, වීඩියෝ හා ඕඩියෝ දත්ත විනාශ කිරීම වැනි වාර්තා කිරීම මත පනවන වැඩිදුර සම්බාධක ද තිබිය හැකියි. ප්‍රායෝගිකව හැකි ඉක්මණින් වීඩියෝ සහ ඕඩියෝ දත්ත ප්‍රවෘත්ති මැදිරි වෙත යවා අමතර පිටපත් තබාගත යුතුයි.

සමස්තයක් ලෙස, ජනමාධ්‍යවේදීන්ගේ ජීවිත රක්ෂණය මෙහිදී ඉතා වැදගත් වෙනවා. මේ සියල්ල මැද අමතක නොකළ යුතු පිරිසක් තමයි නිදහස් මාධ්‍යවේදීන් සහ ප්‍රාදේශීය ජනමාධ්‍යකරුවන්. අර්බුද තත්වයන් තුළදී ඔවුන්ට ද දෛනික වැඩ කරන කම්කරුවන්ට වගේ ම ආදායම් අහිමි වී යා හැකියි. ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම කර්තෘ මණ්ඩල මාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍ය සංවිධානවලත් වගකීමක්.

ඉංග්‍රීසියෙන් කියවන්න: Covid-19 and the journalist

දෙමළෙන් කියවන්න >> கோவிட் -19 உம் ஊடகவியலாளரும்

Translations

1 thought on “කොවිඩ්-19 සහ ජනමාධ්‍යවේදියා

  1. Siyalu jana maadyawedien surekewa !
    Esema balalobienta kade noyaa samaajaya nokelabena se medahathwa thathu waartha kiriemata diriya lebewa !

Leave comment

Your email address will not be published. Required fields are marked with *.