Ranwalagala

අජිත් පැරකුම් ජයසිංහ

රන්වලාගල කියන්නෙ අපේ ගමේ කන්දක පිහිටා තිබෙන වන රක්ෂිතයක්. ඒක තියෙන්නෙ අපේ ගෙදරට ඊසානදිගට වෙන්නට. කන්දෙන් එහා පැත්තෙ කුඩලිගමට ඉර බහිනවා ඇත්තෙ රන්වලාගල උඩින්. අපේ ගම වන ඉද්දගොඩටයි කුඩලිගමටයි අමතරව රන්නගල, හෑලඹ වගේ තව ගම්වලටත් මේ කන්ද මායිම් වෙනවා.

මේ කන්ද මුදුනෙ තිබෙන පර්වතයට කොඩිගල කියලායි කියන්නෙ. ඒ මුදුනට නැග්ගාම මහ මුහුද දක්වාම පුළුල්, සුන්දර දර්ශනයක් පෙනෙනවා.

දැනටත් රන්වලාගල වටේ සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන හා සංචාරක නිවාස කිහිපයක් පිහිටා තිබෙනවා. මුළු ප්‍රදේශයම සුන්දර වටපිටාවක්.

මං ජීවත් වුණේ මේ රන්වලාගල කන්ද උදේ හවස දැක දැක. මං මුලින්ම මාධ්‍යයක පළ කළ කවි අතරින් එකකුත් රන්වලාගල ගැන. ඒ කවිය දැන් මා ළඟ නැහැ. හැබැයි, 1980, 81, 82 වගේ කාලෙක ඒ කවිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පළමුවන සේවයේ, තිලක් ජයරත්න නිෂ්පාදනය කළ ‘ගුරුකුලය’ වැඩසටහනේ විකාශය වුණා. එහි එක පදයක් විතරක් මට තාම මතකයි. “සැවොම මිටියි – ඔබයැ උසම – අපේ තාත්තා වාගේමයි.”

ඒ තමයි මට එදා රන්වලාගල පෙනුණු හැටි. පාලින්ද නුවර හෙවත් පැළෑඳ රාජධානිය කරගත් වීදිය බණ්ඩාර සමග බැඳුණු පුරාවෘත්ත සමගත් රන්වලාගල සම්බන්ධයි.

පසුගිය කාලයේ රන්වලාගල වන රක්ෂිතය දැවැන්ත වන සංහාරයකට ලක්වුණා. අපේ ගමේ මිනිස්සු මේ කැළේ කැපුවා. මායිම්වල ඉඩම් අල්ලගෙන තේ, රබර් වැව්වා. ගෙවල් හදාගත්තා. වටිනා ගස් ටික කපාගත්තා. වනසතුන් දටයම් කළා. ශ්‍රී ලංකාවේ මුව පවුලේ සාමාජිකයන් හතර දෙනා අතුරෙන් දුර්ලභ ම සාමාජිකයා වන විල් මුවා මේ වනාන්තරයේ ජීවත් වන බව කියනවා. දැන් ඉන්නවාද දන්නේ නැහැ. විල් මුවා ගැන ලිපියක් මෙතැනින් කියවන්න. කෙසේ වෙතත්, කළු වඳුරා, රිලවා, වල් ඌරා, ඉත්තෑවා, කබල්ලෑවා, අඳුන් දිවියා, කොළ දිවියා, උගුඩුවා, කලවැද්දා, හෝතඹුවා, මුගටියා වැනි සිව්පාවුන් ද, මොනරා, වලි කුකුළා ඇතුළු පක්ෂීන් රාශියක් ද, සර්ප, උරග, කටුසු, සමනල් ආදී තවත් විශේෂ රැසක් ද මෙහි දකින්නට පුළුවන්.

රන්වලාගල වන රක්ෂිතය ගැන මෑත කාලයේදී අවධානය යොමු කළ දේශපාලනඥයකු වුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පස්කුවල්. මතුගම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ උනන්දුවක් අනුපට තිබෙනවා. ඒ අනුව, මේ වන විට රන්වලාගල වන රක්ෂිතය ආශ්‍රිතව වනජීවී හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ‘වන ගම්මාන’ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. ඒ පිළිබඳ ගම්වාසීන්ජ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින ඉද්දගොඩ ශ්‍රී සුමනභද්‍රාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. අනුප පස්කුවල් මන්ත්‍රීවරයා, මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති මෙරිල් මුණසිංහ, ප්‍රාදේශීය ලේකම් ශ්‍යාමා කාරියවසම්, වනජීවී හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් හා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිලධාරීන් මෙම වැඩසටහනට සහභාගී වුණා.

එම වැඩසටහනේදී ප්‍රකාශ වූ ආකාරයට දැනට රක්ෂිතය අල්ලාගෙන වගා කටයුතුවල යෙදෙන පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාකිරීමේ අදහසක් එම ව්‍යාපෘතියේ නැහැ. එහෙත්, ඒ ඉඩම් අත්පත් කරගත් අය අදහස් පළකළේ යම් කැළැඹීමකින්. වනාන්තරය අවට ජීවත් වන වැසියන් වනය සමග අන්තර්ක්‍රියාවෙන් සිදුකරන කිතුල්, වේවැල් වැනි කර්මාන්ත දිරිගැන්වීම හා විධිමත් කිරීමත් මෙම වැඩසටහනට අයත් වෙනවා.

වනාන්තරය තුළ ජලාශයක් ඉදිකිරීම, පයින් ගමන් කළ හැකි පථයක් ඉදිකිරීම, වනය සංරක්ෂණය කිරීම හා විනාශ වූ ප්‍රදේශ පුනරුත්ථාපනය කිරීම ද මෙම වැඩසටහනට අයිතියි. ඒ වගේම, වනාන්තරය අවට පදිංචි ජනතාවට සංචාරක මාර්ගෝපදේශයට අදාළ පුහුණුව, රැකියා, හෝම් ස්ටේ හෙවත් සංචාරක ලැගුම් නිවාස ආදිය ප්‍රවර්ධනය කිරීමට ද අදහස් කරනවා.

බොහෝ ගම්වැසියන්ට සංචාරක කර්මාන්තය ගැන අත්දැකීම් ඇත්තේම නැහැ. ඔවුන්ට වනය ගැන තිබෙන ආකල්පත්, සංරක්ෂණය හා නැරඹීම ප්‍රවර්ධනය කිරීමත් අතර තිබෙන පරතරය පියවාගැනීම අභියෝගයක්. දේශපාලන අධිකාරිය හා රාජ්‍ය යාන්ත්‍රණය හරහා මෙවැනි මුලපිරුමක් සිදුකරගැනීම පවා පහසු නැහැ.

කෙසේ වෙතත්, මෙය දිරිදිය යුතු හොඳ වැඩක්.

මේ ලිපියත් කියවන්න.

කුරුල්ලන්ගෙ මේ විස්මිත සංදර්ශනය මතුගම විතරයි

රන්වලාගල ගැන සඳහන් වන පැරණි ලේඛනයක්

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: