කුණුහරුපවල සුලමුල

අජිත් පැරකුම් ජයසිංහ

සිංහල කුණුහරුප ගැන කලින් කල විවිධ අදහස් මතු වෙනවා. ඒවා අනුව, කුණුහරුප විදග්ධ භාෂා මූලයන්ගෙන් පැනනැගුණු බව පෙන්වන්නට ඇතැමෙකු උත්සාහ කරනවා.

Translations by Creative Content Consultants

මේ පිළිබඳ හෂිත අබේවර්ධන විසින් පළ කරන ලද සටහනක මෙසේ තිබුණා. “මෑතක ෆේස්බුක් හි විවිධ අය ශෙයා කළ පෝස්ට් එකකින් කියවුනේ ‘සුතන්’ (දරුවන්) ගෙන් බිඳී ‘හු**’ යන යෙදුම ආ බවත් එහි කුණුහරුපයක් නැති බවත් ය. මගේ අත්දැකීම හා අදහස වන්නේ හු** යනු ස්ත්‍රියක් ඇයගේ ලිංගික අවයවය දක්වා ඌණනය කරන යෙදුමක් හා එහි ඇති ව්‍යභිචාරි (රහස්‍ය, තහංචිය) හැඟවුම් කාරක දක්වා යොමු කිරීම ඒ කුණුහරුපයේ අරමුණ හා එය කුණුහරුපයක් වීමේ අරමුණ බවයි.”

ඔහු තරු ලකුණු යොදා තිබෙන්නේ හුත්ත යන වචනයටයි.

මේ පිළිබඳ තවත් අදහසක් පළ කරන ඔහු මෙසේ පවසනවා. “උතු මග යනු යෝනි මාර්ගයයි- සෘතු වීම වන මාර්ගය උතු මගයි.”

තවත් වදනක් ගැන ඔහු මෙසේ කියනවා. “වෙළඳුන් හා නිදහසේ හැසිරුනු කතුන් වේශ්‍යා ලෙස හැඳින්වුනු තැනක් කියවා තිබෙනවා.”

‘පක’ යන වචනය සද්ධර්මරත්නාවලියේත් යෙදෙනවා. ඒ ගෙඩිය යන අර්ථයෙන්. උදාහරණයක් ලෙස තිඹිරි පක කියා යෙදෙනවා. එය කුණුහරුපයක් බවට පත් වන්නේ එම අර්ථයේ ම විහිදීමක් ලෙස වෙන්නට පුළුවන්.

‘පයිය’ නම් වචනයේ මුල් අරුත කුඩා පැසක් යන්නයි. බුලත් පයිය, කූර පයිය වැනි වචන ඒ අරුතින් ජනවහරේ තිබෙනවා.

විදග්ධ සාහිත්‍යයේ යෙදෙන වචන ඇසුරින් කුණුහරුපවල නිරුක්තිය සොයන්නට ඇතැමුන් උත්සාහ කරන බවක් මට දකින්නට ලැබෙනවා. එහෙත්, මා නම් සිතන්නේ කුණුහරුප හදන්නේ ඒ නිරුක්ති ගවේශක වාග් විද්‍යා පඬිවරුන් වැනි අය නොව, අප වැනි සාමාන්‍ය මිනිසුන් බවයි. ඒ අනුව, කුණුහරුප හැදෙන ආකාරය සම්පූර්ණයෙන් ම වෙනස් ස්වරූපයක් ගත හැකියි.

නූතන කුණුහරුප ලෙසත් සලකන්නට පුළුවන්, එතරම් කුණුහරුපත් නොවන යෙදුම් දෙකක් හැදුණු ආකාරය පිළිබඳ උදාහරණ දෙකක් මට මෙහිදී දක්වන්නට පුළුවන්.

මළ පනිනවා, කට්ට කනවා කියන යෙදුම් දෙකේ නිරුක්තියයි මා විමසන්නට උත්සාහ කරන්නෙ. මේ වචන භාවිතයට එනකොට අප ජීවතුන් අතර සිටි නිසා ඒවා පැනනැගුණ හැටි ගැන සාමාන්‍ය අදහසක් තිබෙනවා. මෙයට අභියෝග කරන්නටත් ඕනෑ නම් කෙනෙකුට පුළුවන්.

මළ පනිනවා කියන්නෙ අර්ශස් තියෙන අයට කේන්ති ගියාම එහෙම ගුද මාර්ගයෙන් ගූ ටිකක් පනින එකට. ඒ ගානට කේන්ති යන එකට.

කට්ට කනවා කියන එක හැදිච්ච විදිය ඊටත් වඩා රසවත්. මේක හැදෙන්නෙ කටුකයි කියන වචනෙන්. කටුකයි කටු කයි කියලා දෙකට කඩලා කටු කනවා හැදෙනවා. ඉන් පස්සෙ ඒකෙන් කට්ට කනවා හැදෙනවා.

බස් එකේ ගැහැණුන්ගේ ඇඟට හේත්තු වීමට ජැක් ගැසීම යන කුණුහරුප වචනය හැදෙන්නෙ තාක්ෂණික මෙවලමක් වූ ජැක් එකෙන්. එතකොට ජැක් ගහන පිරිමිය ජැක්සන් වෙන්නෙ ඊටත් වඩා වෙනස් පසුබිමකින්.

පුක දෙනවා වගේ වචනයක ලිංගික අර්ථයට එහා ගිය බොහෝ අරුත් තියෙනවා.

මං නම් හිතන්නෙ හුකනවා, හැමනෙනවා වගේ පැරණි කුණුහරුපවල නිරුක්තිය හරියටම පැහැදිලි කිරීම ගොඩක් අමාරු වෙයි.

Translations