Kallady Bridge 1978

අජිත් පැරකුම් ජයසිංහ

1978 සුළිසුළඟ අපට එතරම් බලපෑවෙ නැහැ. ඒ ගැන තියෙන්නෙ පත්තරවල කියවූ, රේඩියෝ ප්‍රවෘත්තිවලට ඇසූ හා පස්සෙ කාලෙක සුළිසුළඟෙන් විපතට පත් මිනිසුන්ගෙන් අහපු කතා මතකය විතරයි. ඊට අමතරව, ඇන්ටන් ජෝන්ස්ගෙ ‘මඩකලපුව අම්පාර පොළොන්නරුව සමන්තුරෙ’ සිංදුව මතකයි. ඒ පැතිවල සුළිසුළඟින් අවතැන් වුණ මිනිසුන් ඉන් පසුව යුද්ධෙනුත් අවතැන් වුණා.

ඒ කාලෙ වගේ නෙමෙයි දැන්. සැඩසුළං හමනකොට ගස් වැටෙන වගේ ඒවට අපි දැන් පට්ට බයයි. ඒ නිසා අද අපි නිදාගන්නෙ ගෙදර කොංක්‍රීට් තට්ටුව යට තියෙන සාලෙ මෙට්ට දාගෙන. ගස් කඩාවැටුණත්, වහලවල් ගහගෙන ගියත්, පණහරි බේරගන්න පුළුවන් වෙයි. මං අල්ලපු ගෙදර ඉන්න අම්මවයි තාත්තවයිත් ගෙන්නගෙන පහළ කාමරේක නිදිකෙරෙව්වා. හීනියට අඩියකුත් ගැහුවා. කිසිම හුළඟක් නැහැ. පරිසරය ගල්හැහිලා වගේ. ඒ එක්ක පරණ සිද්ධියක් මතක් වුණා.

1978 සුළිසුළඟ වෙලාවෙ මං හිටියෙ අටේ පන්තියෙ. ඒ සුළිසුළඟ අපේ ගම් පැත්තට වැඩියෙන්ම බලපාපු දවසෙත්, මං ඉස්කෝලෙ ඇරිලා බස්සෙකේ ගෙදර ඇවිත්, තාත්තගෙ ෆ්ලයිං පිජන් බයිසිකලෙන් කිලෝමීටර් තුනක් විතර ඈත තිබුණ පන්තියකට ගියා. යද්දිත් හුළඟ තිබුණා. එද්දි තිබුණ හුළඟ තමයි මතක හිටියෙ. ඒක පුංචි මට බයිසිකලේ පැදගන්නට බැරි තරම් දැඩි හුළඟක්. වැස්සෙ නැහැ. සිරිපොදක් විතරක් ගියා.

ඒ කාලෙ මං අපේ අම්මගෙ ස්ටාෆ් එකේ හිටපු ටීචර් කෙනෙකුගෙ දුවක් උගන්නපු ගණන් පන්තියට ගියා. එයා ලස්සන ගුරුවරියක්. හොඳට ඉගැන්නුවා. එයාලගෙ වත්තෙ එකට තියෙන ගෙවල් දෙකෙන් එක ගෙදරක ගරාජ් එකේ තමයි පන්තිය තිබ්බෙ. ඒ කාලෙ ඉඳන් මගෙ හිතේ මෝදු වෙවී තිබුණු ආදරයක උරුමකාරියත් මේ පන්තියට ආවා. මට තාම මැවිල පෙනෙනවා ඇය හවස රන්වන් ඉර අව්වෙ නෑවි නෑවී මට විරුද්ධ පැත්තෙ වාඩිවෙලා හිටපු ලස්සන. මං ඉතින් ගණනුත් ඉගෙනගත්තා තමයි. ඒ වුණාට ඇය දිහා බලාගෙන හිටි එක වෙන්න ඇති වැඩිපුර කළේ. ගණන්වලට වඩා මට මතක ඒකයි.

පස්සෙ කාලෙක මං කළුතර දිස්ත්‍රික්කෙ පට්ට දුෂ්කර ඉස්කෝලෙක උගන්නනකොට මට ඒ ටීචර්ව වෙඩිං එකකදි හමුවුණා. මීට අවුරුදු පහළොවකට විතර කලින් වෙන්න ඇති. මං ටීචර් එක්ක කතා කරලා කිව්වා මං ඇගෙන් ඉගෙනගෙන තියෙන බව. ඇය හොඳට උගන්නපු තරුණ ගුරුවරියක් ඒ කාලෙ. ඒත්, ඇය ඒක පිළිගත්තෙම නැහැ. මගේ රැවුලෙ ගස් ටිකක් ඒ කාලෙ ඉදිල තිබුණ නිසාද නැතිනම් මං එච්චර වැදගත්කමක් නැති නිසාද මං දන්නෙ නැහැ. මං කියපු එක ඒ ටීචර් කොච්චර සීරියස් ගත්තාද කියනවා නම්, ඊට පැය දෙකකට විතර පස්සෙත් ඇය මට කිව්වා ඒක නම් කීයටවත් වෙන්න බැහැ කියලා. එදායින් පස්සෙ මං කිසිම ගුරුවරයෙකුට මං ඔහුගෙන් හෝ ඇයගෙන් ඉගෙනගෙන තියෙන බවක් කියන්න ගිහින් නැහැ.

කොහොමත්, මං ගරු කරන ගුරුවරුන් ඉන්නෙ ටිකදෙනයි. මං ඇත්තටම ගරුකරන්නෙ රස්සාවට අමතරව වැඩකළ ගුරුවරුන්ට විතරයි. එහෙම අය අපට ඉස්කෝලෙදි හමුවුණේ නැති තරම්. හැබැයි, මට ඉංග්‍රීසි බස අල්ලගන්නට උදව් කරපු එක ගුරුවරයකු ගැන මගේ හදවතේ ලොකු බරක් තියෙනවා. ඒ ගැන වෙනම ලියන්න ඕනැ. ඇත්තම කියනවා නම්, ඒක පොතක් ලියන්න ඕනැ කතාවක්.

අර කියපු ටීචර් ඉතින් සාමාන්‍ය ටියුෂන් ගුරුවරියක්. මං ගුරු වෘත්තිය කරපු කාලෙත් හැමවිටම උත්සාහ කළා මට පඩි ගෙවන රස්සාවට අමතර දෙයක් කරන්න. ඒ වෙනුවෙන් මං නාට්‍ය, විවිධ ප්‍රසංග, මාධ්‍ය, ක්‍රීඩා ආදී බොහෝ දේ ඉල්ලගෙන කළා. හැබැයි මං ගැන මං ගොඩක් සතුටු නැහැ. මට බැරි වුණ ටික අනාගතේ යම් දවසක ස්වේච්ඡාවෙන් කරන්නට මං ඇඟිලි ගණිනවා. තාම ඒකට ආර්ථිකය ශක්තිමත් මදි. මදිත් නැහැ. වෙලාව හොයාගන්න ඕනැ.

කතාව අවසන් කරන්නට මේ ටිකත් ලිවිය යුතුයි. පුංචි කාලෙ නිසාද දන්නෙ නැහැ, අපි ඒ කාලෙ වැස්සට, හුළංවලට බය නැහැ. මහ වැසි වැස්සා තමයි. ඒත්, කුඩා තේ වතු ව්‍යාප්ත වෙලා කඳු බෑවුම් ඔක්කොම එළිවෙලා තේ වැවෙනකල් අපට නායයාම් ගැන බයක් තිබුණෙ නැහැ. දැන් නම්, මහ වැහි වහිනකොට, සැඩ සුළං හමනකොට අපි බයයි. ඒ තමයි, දේශගුණික විපර්යාසය අපේ හිත්වලට බලපාන හැටි.

(ඡායාරූපය: 1978 සුළිසුළඟ වෙලාවෙ මඩකලපුවේ කල්ලඩි පාලම)

2 thoughts on “1978 සුළිසුළඟෙ අතුරු කතාවක්

  1. ඔය 1978 සුළි සුළග කාලෙ මම හිටියෙ චීනවරායෙ පුහුණුවීම් වල. මට මතකයි අපේ යාළුවෙක් cyclone කියන එකට “අන්න මචෝ cycle loanද මොනවද එකක් එනවළු කියාගෙන නිවස්නයේ එහාට මෙහාට ගිය හැටි.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: