red rose

වැලන්ටයින් දිනයේ සතුට හැමදාම තියාගන්න

අජිත් පැරකුම් ජයසිංහ

අපි කොල්ලන් කාලෙ කෙල්ලෙකුගෙන් ඇහුවෙ කොච්චර බයෙන්ද? උන් හරියට කිසිදාක උන්ගෙ ඇඟට මැස්සෙකු වහන්නවත් නොදෙන්න ඉන්නවා වගේ ‘පල වලත්ත කොල්ලා, හිටපන් කියන්න අම්මත් එක්ක, ඉඳපන් කියන්න බොලෑ තාත්තත් එක්ක, අයියෙ මෙන්න මූ…’ අරව මේවා කිව්ව විතරක් නෙමෙයි, සමහර වෙලාවට උන්ගෙ අයියලට, උන් කැමති වෙන කොල්ලන්ට කියලා නෙළෙව්වා. අපි ගෙවල්වලටත් නෝන්ඩියි. අවංක ආදරේ පවා හරියට දූෂණය කරන්න හැදුවා වගේ තමයි සැලකුවේ. ඒ ඔක්කොම අවදානම් දරාගෙන, කෙළින් අහන්න ගට නැති නිසා, සාහිත්‍යය ඔක්කොම දාලා ලියුං කරදහියක් දුන්නාම ඒකෙ කෑලි වෙන කොල්ලන් උපුටා දක්වන විලි ලැජ්ජාවන්ටත් මං මුහුණදීලා තියෙනවා. ඒ ඉතින් අපි. අපේ සමහර යාළුවන්ට නම් එහෙම අර්බුද තිබුණෙ නැහැ. බඹා කොටපු හැටි තමයි ඉතින්.

කොහොම වුණත්, වර්තමාන පරම්පරාව එහෙම ගොන්පාට් වෙන්න එපා. තමන් තේරුම්ගන්න. තමන්ට අවශ්‍ය දේත් මොකක්ද කියලා තේරුම්ගන්න. යථාර්ථයත් එක්කත් ඒව ගලපන්න. තමන්ගෙ ශරීරය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය සම්පූර්ණයෙන්ම තියෙන්නෙ තමන්ට. විශේෂයෙන්ම ගැහැණු ළමයින්ට ඒක හරි වැදගත්. ප්‍රතික්ෂේප කරන්න බයවෙන්න එපා. හැබැයි, ප්‍රතික්ෂේප කිරීමේදී ආචාරශීලී වෙන්න. ඒ ආචාරශීලීභාවය නොතකා කරනු ලබන ඕනෑම ආදරය ප්‍රකාශ කිරීමක් ලිංගික අපයෝජනයක් විදියට සලකා නීති මගින් කටයුතු කරන්නට පුළුවන්. බය නැතුව පැමිණිලි කරන්න.

ආදරයයි ලිංගිකත්වයයි ගහයි පොත්තයි වගේ. රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍ය මගුල් සිංදුවල නම් ඇති. ඒ නිසා, සෙක්ස් කියන්නෙ කුණුහරුපයක් නෙමෙයි. හැබැයි, වයස අවුරුදු 16 වෙනකල් කෙනෙකු ලිංගිකත්වය සඳහා කැමැත්ත දීමට පරිණත වෙලා නැති බවයි ලංකාවේ නීතියේ පිළිගැනීම. අවුරුදු 16ට අඩු ඕනෑම කෙනෙකු සමග කරන ලිංගික ක්‍රියාවක් ව්‍යවස්ථාපිත දූෂණයක්.

අවුරුදු 20ක්වත් වෙනකල් ගැහැණු ළමයකු ගර්භණීභාවයට සුදුසු නැතිවෙන්නට පුළුවන්. ඒ නිසා අවදානම් ගන්න එපා. ළමයින් හදනවාද, නැද්ද, කීදෙනෙකුද, ළමයින් අතර පරතරයක් තබාගන්නවාද වගේ කාරණා සම්බන්ධයෙන් සහකරුවන්, සහකාරියන් අතර පොදු එකඟතා ගොඩනගාගත යුතුයි. දෙදෙනා එකිනෙකාගේ ශරීර ගැන හොඳ අවබෝධයක් ඇතිකරගත යුතුයි. පවුල් සැලසුම, ප්‍රතිසන්ධිරෝධක, ලිංගාශ්‍රිත රෝග ආදිය ගැන දැනුම ජීවිතයට ඉතා වැදගත් බවත් කරුණාවෙන් සලකන්න.

නීතිය දැනගෙන සංසර්ගයේ යෙදෙන්න මේ ලිපිය කියවා දැනුවත් වෙන්න >>>