traitor

ලාල් කාන්තගේ ද්‍රෝහියා සහ සතුරා

අජිත් පැරකුම් ජයසිංහ

ලාල් කාන්ත ද්‍රෝහියා සහ සතුරා පිළිබඳ අර්ථකථනයක් කරමින් පෙසපට යම් අනතුරු ඇඟවීමක් කරන අයුරු වීඩියෝවක දැක්කා. දුරස්ථ සතුරා මෙන් නොව යම් කලක මිතුරු ලෙසින් සිට පසුව වෙනස් වූ අයෙකු වාමාංශික ව්‍යාපාරය තුළ හඳුන්වන්නේ පාවාදෙන්නා, ද්‍රෝහියා, භ්‍රෂ්ටයා වැනි වචනවලින්. මේ නිගමනය ඒකපාක්ෂිකයි. සාමාන්‍යයෙන් එවැන්නන්ට සමාව නොදීම වාමාංශික සංස්කෘතියේ ලක්ෂණයක්.

විරයා සතුරාට පාවාදෙන දුෂ්ට ද්‍රෝහියා බයිබලයේ සිට ෂේක්ස්පියර් සාහිත්‍යයේ බෘටස් වැනි චරිත රැසක් හා සමස්ත බටහිර සාහිත්‍යයම ඔස්සේ හැරී පොටර් කතා දක්වාම ඉදිරියට යනවා.

එහෙත්, බෞද්ධ සාහිත්‍යයේ එතරම් දරුණු ද්‍රෝහීන් දකින්නට ලැබෙනවාද කියන ප්‍රශ්නය මට මතුවෙනවා. දේවදත්ත බුදුන්ගේ සතුරකු වුවත්, ද්‍රෝහියකු ලෙස සැලකිය නොහැකියි. බෞද්ධ සාහිත්‍යයේ ද්‍රෝහීත්වය එතරම් දක්නට නොලැබෙන්නේ ඇයි?

වාමාංශික දේශපාලනයට පෙර ලංකා ඉතිහාසය ගත්තත්, අපට එතරම් කැපීපෙනෙන ද්‍රෝහීන් හමුවන්නේ නැහැ. වෙල්ලස්ස, මාතලේ වැනි කැරැලිවල හෝ නිදහස් අරගලයේ පවා කැපීපෙනෙන ද්‍රෝහීන් නැහැ.

ද්‍රෝහියා කරලියට එන්නෙම වාමාංශික දේශපාලනයත් සමග වගෙයි පෙනෙන්නෙ. එහිදීත් ද්‍රෝහීත්වය පිළිබඳ සංකල්පය තදින් මුල්බැසගන්නෙ 1971 කැරැල්ලත් සමගයි. දෙමළ කැරැල්ල ද්‍රෝහීත්වය ලේ ගංගාවලින් සෝදාහරිනවා.

පාතාල ලෝකය තුළදීත් ද්‍රෝහීත්වයට දැඩි වැදගත්කමක් හිමිවෙනවා.

මේ අතරෙ හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් සිනමාවන් ලංකාවට දැඩිව බලපානවා.

ද්‍රෝහීත්වය සමාවෙන් තොර වරදක්ය යන සංකල්පය ලංකාවේ තවමත් මුල්බැසගෙනද?

1989 මර්දනය තුළදී රිචඩ් ද සොයිසා ඝාතනය පන්තිමය ද්‍රෝහීත්වයට කළ පළිගැනීමක් ලෙස ඇතැමෙකු දකිනවා.

ඒත්, පසු කාලයකදී ජොන්ස්ටන් ප්‍රනාන්දුට මහින්ද රාජපක්ෂ සමාව දෙනවා. මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ සතුරන් වුණත්, ද්‍රෝහීන් වෙන්නෙ නැහැ. ධනේශ්වර දේශපාලනයේ පාවාදීම බරපතල ද්‍රෝහීත්වයක් ලෙස සැලකෙන්නෙ නැහැ.

මා කියන්නෙ ලාල් කාන්තලා ඇතුළු ඇතැම් වාමාංශිකයන් කරගසාගෙන සිටින ද්‍රෝහීත්වය පිළිබඳ සංකල්පය බටහිරින් ගෙනආ කුරුසියක්ය කියායි. එය ලංකාවේදී ඔවුන්ට කිසිදු වාසියක් සලස්වන දෙයක් නෙමෙයි. මේ ද්‍රෝහීත්ව සංකල්පය විසින් සිදුවෙන්නෙ වාමාංශිකයන් සියලුදෙනා ලාංකීය සමාජයෙන් දුරස්ථ වීමයි කියා මට හිතෙනවා.

ලංකාවේ සමාජය ගොඩනැගෙන්නෙ අන්‍යෝන්‍ය සමාව දීම මත. සමාව නොදෙන ද්‍රෝහීත්වයට ලංකාවෙ ඉල්ලුමක් තියෙනවාද?