මොනවද මේ ISBN?

නිලක්ෂි බණ්ඩාර

පොත් සඳහා අන්තර්ජාතිකව පිලිගනු ලැබූ අංකයකින් හඳුන්වන International Standard Book Numbering යන්න ISBN හකුළුවා භාවිතා කෙරේ.මෙය බාර්කොඩ් අංකය ලෙසද හැඳින්වේ. කිසියම් ග්‍රන්ථයක ග්‍රන්ථ නාම පිටුව, පෙරවදන, පටුන, පිදුම ආදිය ඇතුළත්ව අන්තර්ගත පිටු 42 ක් ඇති ප්‍රකාශනයක් අන්තර්ජාතික වශයෙන් පොතක් ලෙස පිළිගෙන ඇත. එවැනි පොතකට ISBN අංකයක් ලබාගත හැකි ය. ලංකාවේ එය නිකුත් කරන්නේ ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලය මගිනි.

මෙහි අතීතය 1966 දක්වා ඈතට විහිදේ. ග්‍රන්ථ පිලිබඳ ප්‍රමිතිය මුලින්ම කතාබහට ලක්වුයේ 1966 නොවැම්බර් මසදී ජර්මනියේ බර්ලින් නුවරදී පැවැති පොත් වෙළෙඳාම ගැන තෙවැනි ජාත්‍යන්තර සම්මේලනයේ දී ය. 1997 වසරේදී ලන්ඩනයේ ප්‍රකට ප්‍රකාශිත ආයතනයක් වන J.Whitaker and Sons සමාගමෙන් බ්‍රිතාන්‍ය පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ප්‍රමිති ග්‍රන්ථ අංක ක්‍රමයක් අමෙරිකාවට හඳුන්වා දෙනු ලැබිය.මෙම අංකන ක්‍ර‍මවේදවල ප්‍රතිපල වශයෙන් International Standard Book Numbering හෙවත් ISBN අංකයේ උපත සිදු වී ඇත.

ISBN අංකයේ සැකසුම

ඉලක්කම් මෙම අංකය කොටස්‌ හයකින් යුක්‌ත වේ. නිදර්ශනයක් ලෙස දක්වා තිබෙන ඉහත රූපයේ එකී කොටස් 5 කෙටි ඉරකින් වෙන් කර තිබේ. ඒ අනුව මුලින් ම ISBN යන අක්ෂර හතර ඇතුළත් විය යුතු ය. ඉලක්කම් යෙදෙන අනුපිළිවෙල මෙසේ ය:

i. මූලික හැඳුනුම් අංකය (978 ය. වෙනස් වන්නේ නැත.)

ii. කලාපීය හැඳුනුම් අංකය (අන්තර්ජාතික ප්‍රමිති ග්‍රන්ථ අංක මධ්‍යස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලබා දී ඇති අංකය 955 ය)

iiii. ප්‍රකාශක හැඳුනුම් අංකය

iv. ග්‍රන්ථ නාම හැඳුනුම් අංකය (පළ කරන ලද ග්‍රන්ථ සංඛ්‍යාව පෙන්වයි)

v. පරීක්‍ෂක අංකය වශයෙනි.

මෙය අන්තර්ජාතික ප්‍රමිති සංවිධානයේ 1972 අංක 2108 දරන නිර්දේශයන්ට අනුව ආරම්භ කොට ඇති අතර, ඒවා පවත්වාගෙන යාම සඳහා ලෝකයේ සියලු ම රටවල නියෝජිත ආයතන ආරම්භ කර තිබේ. මෙහි ප්‍රධාන ආයතනය ජර්මනියේ බර්ලින් නුවර අන්තර්ජාතික ප්‍රමිති ග්‍රන්ථ මධ්‍යස්ථානය වේ. ශ්‍රී ලංකාවට මේ අංකය පළමු වරට හඳුන්වාදෙනු ලැබූයේ 1986 වසරේ ය

ලංකාවේ ISBN අංකය ලබා දෙනු ලබන ප්‍ර‍කාශන අතරට මුද්‍රිත පොත් හා පුස්තිකා, බහු මාධ්‍ය ප්‍රකාශන, මිශ්‍ර මාධ්‍ය ප්‍රකාශන, වාර්ෂික ග්‍රන්ථ, වාර්ෂික සංග්‍රහ, ග්‍රන්ථ මාලා සහ නාමාවලි,අධ්‍යාපනික චිත්‍රපට, වීඩියෝ සහ පාරදෘශ්‍ය ප්‍රකාශන, බ්රේල් ප්‍රකාශන, සිතියම් , සූක්ෂ්ම රූපණ ප්‍රකාශන, විද්‍යුත් මාධ්‍ය ප්‍රකාශන මේවා මුද්‍රිත පිටපත් ලබාගත හැකි පරිදි සකස් කරන ලද සහ යන්ත්‍රයක් මඟින් කියැවිය හැකි පටි, සංයුක්ත තැටි ආදිය ද අධ්‍යාපනික හෝ උපදේශාත්මක මෘදුකාංග වර්ග ද අයත් වේ.

දිනපොත්, දින දර්ශන, සුබ පැතුම්පත්, පෞද්ගලික ලියැවිලි, වෙළෙඳ දැන්වීම් වැනි තාවකාලිකව භාවිතයට ගන්නා ප්‍රකාශනවලට මේ අංකය ලබාදෙන්නේ නැත.

වාරිකව පළ කරනු ලබන පුවත්පත්, වාර සඟරා වැනි ප්‍රකාශන සඳහා ISBN අංකය වෙනුවට International Standard Serial Number (ISSN) අංකය ලබා දෙයි. සංගීත ප්‍රකාශන සංයුක්ත තැටි, පටි, සංගීත තනු නිර්මාණ ආදී ප්‍රකාශන සඳහා ද ISBN අංකය වෙනුවට International Standard Music Number (ISMN) අංකය ලබා දෙයි.

මෙම අංකය ප්‍රකාශයට පත් කිරීමෙන් කිසියම් මුද්‍රණයක ප්‍රකාශනයට ජාත්‍යන්තර වටිනාකමක් ලැබෙන බැවින් පොත් ප්‍රකශකයින්ට, ලේඛකයින්ට, පොත් වෙළඳුන්ට විසල් වටිනාකමක් ලැබේ. එමෙන්ම ප්‍රකාශනයේ ගුණාත්මක බවද මේ මගින් වැඩි වේ.

ISBN වෙබ් අඩවියේ ISBN හඳුන්වා දී ඇති ආකාරය මෙම ලිපියේ

ශ්‍රී ලංකාවේ ISBN නිකුත් කරන ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අදාළ වෙබ් පිටුව