Sri Lanka Burqa

බුර්කා තහනම් කරන්න තියෙන හදිසි උවමනාව

බුර්කා, නිකාබ් වැනි මුහුණු ආවරණය වන මුස්ලිම් කාන්තා ඇඳුම් තහනම් කිරීමට ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව, ඒ හා සම්බන්ධ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම යෝජනාව සිංහල අන්තවාදිී අදහස් ප්‍රකාශ කරන්නකු ලෙස ප්‍රකට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකරගේය. මෙම යෝජනාව ඔහු කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට සූදානම් කළේ ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය හමුවේ දැඩි විවේචනයට ලක්වෙමින් තිබූ සමයේදීය. එය එම අවස්ථාවේදී ද ශ්‍රී ලංකාවට අවාසිදායක විය.

එසේම, බුර්කා නිකාබ් තහනම කැබිනට් මණ්ඩලය විසින් සම්මත කරනුයේ ශ්‍රී ලංකාව කෝවිඩ්-19 පැතිරීම හේතුවෙන් බරපතල අවදානමකට මුහුණදී සිටියදීය. පවත්නා තත්වය තුළ එය කිසිසේත්ම රාජ්‍ය ප්‍රමුඛතාවක් නොවේ.

මෙම ඇමතිවරයාට බුර්කා තහනම මෙතරම් වැදගත් වන්නේ ඇයිද යන්න විමසා බැලිය යුතුය.

ශ්‍රී ලංකා රජය පළමු වරට හදිසි නීතිය යටතේ බුර්කා ඇඳුම තහනම් කළේ 2019 අප්‍රේල් 21දා, පාස්කු ඉරිදා ප්‍රහාරවලින් 250කට අධික පිරිසක් මියගොස් 500කට අධික පිරිසක් තුවාල ලැබීමෙන් පසුය. මෙම ප්‍රහාර එල්ල කරනු ලැබුවේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් විසිනි. එහෙත්, බුර්කා ඇඳුම් හා එම ප්‍රහාර අතර සම්බන්ධයක් තිබුණේ නැත.

පාස්කු ඉරිදා ප්‍රහාර සරත් වීරසේකර ඇමති තනතුරක් දරන වත්මන් ආණ්ඩුව බලයට ඒම සඳහා මහත් පිටුවහලක් වූ අතර, එම ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශන නිසි පරිදි සිදු නොවන බවට විපක්ෂය චෝදනා කරයි. ඒ සම්බන්ධ අතෘප්තිය වත්මන් ආණ්ඩුවේ සමීප දේශපාලනික හිතවතකු ලෙස සැලකිය හැකි කොළඹ කතෝලික රදගුරු මැල්කම් කාදිනල් කුරේ විසින්ද ප්‍රකාශ කරන ලදී. ප්‍රහාර එල්ල කළ ත්‍රස්ත නායක සහරාන් සමග මෙන්ම බුද්ධි අංශ සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයකු නිදහස් කිරීම, කටුවාපිටිය පල්ලියට ප්‍රහාර එල්ල කළ හස්තුන් නමැති ත්‍රස්තවාදියාගේ බිරිය වූ සාරා ජැස්මින් පළාගියාද යන කරුණ හා දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයේ බෝම්බය පුපුරවාගත් ත්‍රස්තවාදියා සොයා බුද්ධි අංශ නිලධාරියකු ගියාද වැනි සැක සහිත කරුණු රැසක් නිසි පරිදි විමර්ශනය නොකරන බව විපක්ෂය චෝදනා නගයි. කියවන්න: සහරාන්ගේ මතය ද හැඩගැස්වූ බව කියන බුද්ධි අංශ සමග සම්බන්ධ ඔහු කවුරුද?

මෙම පසුබිම තුළ හදිසියේ ගෙන ආ බුර්කා තහනම විමර්ශනයේ අඩුලුහුඬුකම් වෙතින් අවධානය වෙනතකට යොමුකිරීමට සහ ත්‍රස්තවාදීන් නොවන මුස්ලිම් ජාතිකයන්ගෙන්, විශේෂයෙන්ම කාන්තාවන්ගෙන් පළිගැනීම මගින් වෙනත් ආකාරයක තෘප්තියක් තම අනුගාමිකයන්ට ලබාදීම ඉලක්ක කර ඇති බවට අනුමාන කළ හැකිය.

මුස්ලිම් දේශපාලන නායකයකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් හා ඔහුගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීම ද මෙවැනිම සිදුවීමක් ලෙස සැලකිය හැකිය.

බුර්කාව තහනම් කරන්නට ඇමති සරත් වීරසේකරට හදිසියේ අවශ්‍ය වුණේ ඇයිද යන්න ඉහත දක්වන ලද ආකාරයෙන් ද විග්‍රහ කළ හැකිය. කෙසේ වෙතත්, බුර්කාව සම්බන්ධයෙන් මෙරට මුස්ලිම් ජනතාවට මෙන්ම සියලු ප්‍රගතිශීලීන්ට ද නිරවුල් අදහසක් තිබිය යුතුය.

ජාතිවාදීන් හෝ මුස්ලිම් විරෝධීන් නොවන පුරවැසියන් අනිවාර්යයෙන්ම ස්ත්‍රී විරෝධීන් ද නොවිය යුතුය. බුර්කාව ස්ත්‍රී පීඩක ඇඳුමක් ලෙස දැකීම විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේදී අසාධාරණ නැත. ශ්‍රී ලංකාවේ මුස්ලිම් සංස්කෘතිය තුළ එවැනි ඇඳුම් අඳින සම්ප්‍රදායක් අතීතයේදී නොතිබිණි. ඇත්තෙන්ම කීවොත් සිංහල සාමාන්‍ය මිනිසුන් කලිසම් අඳින සම්ප්‍රදායක් සියවසකට ඉහතදී තිබුණේ ද නැත. බුර්කා නිකාබ් වැනි ඇඳුම් ෂාරියා නීති අනුවවත් අනිවාර්ය නැත. ලංකාවේ මුස්ලිම් සම්ප්‍රදාය තුළ කාන්තා ඇඳුම සම්බන්ධයෙන් අනිවාර්ය වූයේ ශරීරය හා හිස ආවරණය වන ඇඳුම් ය.

හිජාබ්, අබායා, බුර්කා වැනි ඇඳුම් පසුකාලීනව ජනප්‍රිය වූ විලාසිතා ය. සිංහල, දෙමළ කාන්තාවන් පංජාබ් විලාසිතා අනුගමනය කිරීම ගැටලුවක් නොවේ නම් මුස්ලිම් කාන්තාවන් අරාබි විලාසිතා අනුගමනය කිරීම ද ගැටලුවක් විය නොහැක. එහෙත්, බුර්කා නීතිය හා සමානාත්මතාව පිළිබඳ යම් ගැටලු ඇති කරයි. නිකට ආවරණය වන පරිදි හෙල්මට් පැළඳීම නීති විරෝධී වන රටක, කැප් තොප්පියක්, ජැකට්ටුවක් ඇඳ ටෙලර් යන්ත්‍රයක් භාවිතා කිරීමට අවසර නැති රටක මුස්ලිම් කාන්තාවක් වූවා ය කියා සම්පූර්ණ මුහුණ ආවරණය කිරීම අනිවාර්යයෙන් පිළි ගත යුතු නැත.

මහ මගදී, පොදු ප්‍රවාහනයේදී කාන්තා හිංසනය ඉතා සුලබ රටක යම් කාන්තාවක් මුළු සිරුර ම ආවරණය කර ගැනීමට කැමැත්තක් දැක්වීම අසාධාරණ නැති විය හැකි ය. එහෙත් මේ ඇඳුම ඉහළ ආර්ද්‍රතාවක් තිබෙන ලංකාවේ දේශගුණයට ගැලපෙන්නේ නැත. ඒ නිසා කාන්තාවන් පුරුෂාධිපත්‍යයට එරෙහිව සටන් කළ යුත්තේ ලිහිල්, නිදහස් ඇඳුමට ඇති හිමිකම රැකෙන පරිදි ය.

අනෙක් ගැටලුව බුර්කාව ප්‍රවර්ධනය කරන ඇතැමෙකු ස්ත්‍රී පීඩකයන් මෙන් ම, සිංහල හා දෙමළ ජාතිවාදී අන්තවාදීන් කුපිත කිරීමට කැමති මුස්ලිම් අන්තවාදීන් වීමයි. බුර්කාව ප්‍රවර්ධනය කරන අයම මුස්ලිම් ළමා විවාහ අනුමත කරන අවස්ථා ද තිබේ. බුර්කාව සම්බන්ධයෙන් ප්‍රගතිශීලීන්ට සෙවල නොවන, ඍජු ප්‍රතිපත්තියක් අවශ්‍ය ය. එය කිසිදු ජාතිවාදයකට යට නොවන එකක් විය යුතුය. බුර්කාව මුස්ලිම් කාන්තාවන් අතර අධෛර්යවත් කිරීම දේශපාලනිකය. එහෙත්, රජයකට බුර්කා තහනම් කිරීමට සදාචාරාත්මක බලයක් තිබේද යන්න ප්‍රශ්නකාරීය. ආගමික නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු වන අහමඩ් ෂහීඩ් පැවසූ පරිදි එවැනි තහනමක් ජාත්‍යන්තර නීතිය සහ නිදහස් ආගමික ප්‍රකාශනයේ හිමිකම සමග අනුකූල නැත.

ඡායාරූපය මෙතැනින්

Creative Content Consultants