children of Sri Lanka

පාසල් යළි ආරම්භ කිරීමේ එඩිතර තීන්දුව

අජිත් පැරකුම් ජයසිංහ

බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කලුතර දිස්ත්‍රික්කවල පාසල් හා තවත් පාසල් කීපයක් හැර සෙසු පාසල් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. එය ඉතා එඩිතර තීන්දුවකි. රටේ සමස්ත පාසල් සංඛ්‍යාව 10,100කට වැඩි අතර, ඒ අතරින් 5,100කට වැඩි සංඛ්‍යාවක් ආරම්භ කෙරේ. ශ්‍රී ලංකාවේ පාසල් අතරින් 90%කට වඩා සිසුන් 1,000ට අඩු ඒවා බැවින් සමාජ පරතරය පවත්වාගැනීම දුෂ්කර නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පෙන්වා දෙයි. එසේම, හදිසි තත්වයන් තුළ සෞඛ්‍ය උපදේශානුකූලව තීරණ ගැනීමේ බලය පාසල් බලධාරීන්ට පවරා තිබේ. විස්තර මෙතැනින් >>

කෙසේ වෙතත්, ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් පවසන්නේ පළමුව උසස් පෙළ පන්ති ආරම්භ කර ක්‍රමානුකූලව පාසල් ආරම්භ කිරීමට ගුරු සංගම් කළ ඉල්ලීමට රජය සවන් නොදුන් බවයි.

පාසල් ආරම්භ කිරීමේ අවදානමක් තිබේ. එහෙත්, මෙවැනි අවධියක රජයක් විසින් අවදානම් ගන්නට සිදු වේ. ගන්නා අවදානම සම්බන්ධ වගකීම බෙදී යන පරිදි සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර තීරණවලට එළැඹීමට රජය සමත් විය යුතුය. එහෙත්, වත්මන් ආණ්ඩුව එවැනි සාමූහිකත්වයකින් කටයුතු කරන බවක් නොපෙනේ. කෙසේ වෙතත්, ඕනෑවට වඩා ප්‍රජාතාන්ත්‍රික වීමෙන් ලංකාවේ යමක් කළ නොහැකි බව පසුගිය ආණ්ඩුව කාලයේ පෙනුණු නිසා පාසල් යළි ආරම්භ කිරීමේ අවදානම හා වගකීම ආණ්ඩුව භාරගැනීම තේරුම්ගත හැකිය.

නව සාමාන්‍ය තත්වය යටතේ කොවිඩ්-19 සමග තව බොහෝ කාලයක් ජීවත් වීමට රටේ ජනතාවට සිදු වේ. කොවිඩ්-19 සමග ජීවත් වීම යනු, නිදන්ගත රෝගීන්, වැඩිහිටියන් වැනි අවදානම් ප්‍රජාව ආරක්ෂා කරගන්නට අරගල කරමින්, සැලකිය යුතු පිරිසක් කොරෝනා වයිරසයට ගොදුරු වී සුවපත් වෙමින් කල් බැලීමයි. එහිදී සැලකිය යුතු මරණ සංඛ්‍යාවක්ද වාර්තා වන බව තේරුම් ගැනීමට සිදු වේ. කොවිඩ්-19 සමග ජීවත් වීම යනු හැකි තරම් පරිස්සම් වීමයි. ඒ සඳහා මේ රටේ ජනතාව හුරුපුරුදු විය යුතුය. සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්වයට පත්විය නොහැකි වුණත්, හැකි තරම් දුරට සාමාන්‍ය පරිදි ජීවිතය විඳීමට අප උත්සාහ ගත යුතුය.

කොවිඩ්-19 පළමු රැල්ල සමග ආණ්ඩුව විසින් රට පුරා මාස ගණනක් තිස්සේ පණවා තිබුණු අර්ථ විරහිත ඇඳිරි නීතියෙන් පසු, දෙවන වාරය සඳහා යළි පාසල් ආරම්භ කළද කොවිඩ්-19 සමග ජීවත් වීම සඳහා ශ්‍රී ලංකාවේ පාසල් හා සිසුන් සූදානම් කිරීමක් බොහෝ තැන්වල සිදු වූයේ නැත. සිදු වුණේ පෙර පරිදි සාමාන්‍ය අන්දමින් පාසල් පැවැත්වීමයි. සිසුන් තබා ගුරුවරුන්වත් සමාජ දුරස්ථභාවය වැනි කාරණා කෙරෙහි අවධානය යොමු කළේ නැත. දැන් අවදානම තුළ ජීවත් වන විට හෝ වගකීම් සහගත වීමට රටේ ගුරු, සිසු හා මාපිය පරම්පරා වගබලා ගත යුතුය.

මෙය නව සාමාන්‍ය තත්වයයි. මේ ලිපියත් කියවන්න >>