Nalin de Silva

නලින් ද සිල්වා, ලයිමා ෆාලිඩා ඇතුළු සියලු කට්ටඩියන් පරදවමු

ලයිමා ෆාලිඩා නම් කට්ටඩි ගැහැනියක හා මව විසින් දෙල්ගොඩ ප්‍රදේශයේ ෆාතිමා රිෆ්කා නම් නව හැවිරිදි දැරියකට පැය පහක් පුරා වේවැල් පහර දී ඝාතනය කිරීම සරල සිද්ධියක් නොවේ.

මෙවැනි ක්‍රියාවල යෙදෙන පුද්ගලයන් මානසික ගැටලු ඇති, එහෙත්, ප්‍රතිකාර නොගන්නා අයයි. ඇතැම් අය මෙම ක්‍රියාවල යෙදෙන්නේ හුදෙක් මුදල්වලටම නොවේ.

අගමැති මහින්ද රාජපක්ෂගේ අනුග්‍රහය ලැබූ එලියන්ත වයිට් මෙවැනි ප්‍රසිද්ධ ප්‍රශ්නකාරී පුද්ගලයෙකි. මෑත වකවානුවේදී ධම්මික බණ්ඩාර නම් පුද්ගලයෙකු කොවිඩ්-19 සුව කළ හැකි බව කියමින් කිසියම් පැණියක් රාජ්‍ය අනුග්‍රහයෙන් බෙදාහැරියේය. එය ප්‍රවර්ධනය කළ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු ඇමතිවරුන්ට ද කොවිඩ්-19 ආසාදනය විය.

මහින්ද චින්තනයට හා ඉන් අනතුරුව ගෝඨාභයගේ සෞභාග්‍යයේ දැක්මට හා එහි ජාතිවාදී හරයට දාර්ශනික පසුබිම සැපයූ නලින් ද සිල්වාගේ ඊනියා ජාතික චින්තනයේ අනුගාමිකයන් විසින් විද්‍යා විරෝධී මිථ්‍යා සංකීර්ණයන් රාජ්‍ය මතවාදය දක්වා ඔසවා තබන්නට සමත් වී තිබේ..

ඔවුන්ගේ තර්කන ක්‍රමය විසින් දාර්ශනික ලෙස විද්‍යාව ප්‍රශ්න කරන ලද අතර, ප්‍රායෝගික තලයේ සිය අසාර්ථකත්වය වසාගැනීම සඳහා විද්‍යාවෙන් පළිගැනීම සඳහා සෑම ආකාරයකම මිථ්‍යාවන් ඔසවා තබන ලදී. ජාතික චින්තනය වනාහි ප්‍රායෝගික වශයෙන් ගත් කල හරවත් කිසිවක් නිර්මාණය කර නැති, නිර්මාණය කළ නොහැකි වඳ තර්කනයකි.

ජාතික චින්තන තර්කනය අනුව, ලයිමා ෆාලිඩා නම් මෙම මුස්ලිම් කට්ටඩි ගැහැනිය ද මහාචාර්ය නලින් ද සිල්වා වැනි අයෙකි. ඔවුන් අතර වෙනසක් නැත. චන්න ජයසුමන වැනි නලින්වාදීන් දේව මණ්ඩල අමතන ආකාරයත්, ලයිමා යක්ෂයන් පලවාහරින ආකාරයත් අතර මූලික වෙනසක් නැත. ඇය විසින් කරන ලද ඝාතනය ද ඒ අනුව රෝහලකදී ප්‍රතිකාර ගනිමින් සිටි අයෙකු මියයාම වැනි සාමාන්‍ය දෙයකි.

ඊනියා ජාතික චින්තනය අනුව, නව හැවිරිදි දැරියකට වේවැල් කසාය දීම හා කාන්තාවන්ගේ ඔසප් වේදනාව දුරලීම සඳහා ගන්නා පියවර යන දෙකම එකය.

මේ විගඩම දැන් නම් හොඳටම ඇතිය. රට පුරා සිටින විවිධ කට්ටඩින්ට හා තක්කඩින්ට මෝඩ මිනිසුන්, ගැහැණුන් රවටන්නටත්, අනාගත පරම්පරාවල ඔලු පමණක් නොව ජිවිත පවා විනාශ කරදමන්නටත් ඉඩ දුන්නා හොඳටම ඇතිය.

විද්‍යාව වෙනුවෙන් පෙනී සිටින, විද්‍යාවේ ආධිපත්‍යය වෙනුවෙන් සටන් කරන, අවිද්‍යාව පරාජය කරන සමාජ දේශපාලන බලවේගයක් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යය.