online scams

ඩබ්ලිව්. ජයසිරි අහුවුණ ජාතියේ ඔන්ලයින් ස්කෑම් ගැන කතා කීපයක්

අජිත් පැරකුම් ජයසිංහ

ඩබ්ලිව්. ජයසිරි කියන්නෙ බොහෝ දැන උගත් කලාකරුවෙක්. හැබැයි, ඔහුවත් අන්තර්ජාල වංචාවකට හසු වුණා. අයි. සී. සී. ආයතනය අනුග‍්‍රහය ඇතිව සංවිධානය කළ ලෝක කුසලාන තරගාවලියකට සමගාමීව පවත්වනු ලැබූ ලොතරැයි දිනුම් ඇදීමකින් ජංගම දුරකථන අංකවලට අනුව ඩොලර් අසූපන්දහසක මුදලක් ඇදී ඇති බව පවසා ප‍්‍රධාන පෙළේ බැංකු හතරකට ඔහු ලවා මුදලින් රුපියල් දොළොස් ලක්‍ෂයකට අධික මුදලක් වංචනික ලෙස තැන්පත් කරවා ගත් 32 හැවිරිදි තරුණයකු කොස්ගමින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Translations by Creative Content Consultants

මෙය එතරම් දක්ෂ ගේමක් නෙමෙයි. මොකද, ලංකාවේ ගිනුම්වලට මුදල් තැන්පත් කළාම ඒවා පහසුවෙන් හඳුනාගන්නට පුළුවන්. ඒ ගිනුම් හිමියන් ඉතා පහසුවෙන් අත්අඩංගුවට ගන්නට පුළුවන්. ‘දියුණු’ අන්තර්ජාල වංචාවන් මීට වඩා බොහෝ සංකීර්ණයි. ඇතැම් විට ඔබ ගෙවන මුදල් යන්නේ ඔබ නමවත් අසා නැති අප්‍රිකානු, ලතින් ඇමරිකානු වගේ කලාපයක රටක ගිනුමකටයි. මේ වංචාවන් පිළිබඳ විමර්ශනය සිදුකිරීම ඉතා අමාරුයි. ඒවා සොයන්නට යන වියදම් නැති වූ මුදලට වඩා වැඩි නිසා බොහෝ අය ඒවා අත්හැර දමනවා. ජාතික වශයෙන් පැමිණිලි කළත්, ඒ විමර්ශන වැඩිදුර යන්නේ නැහැ.

අවුරුදු 10කට විතර කලින් මා දන්නා අයෙකු ජාත්‍යන්තර පද්‍ය රචනා තරගයකින් ජයසිරි දිනුව තෑග්ග වගේ විශාල තෑග්ගක් දිනුවා. ඒක ගන්න දාන්න අවශ්‍ය මුදල ඔහු ළඟ තිබුණෙ නැහැ. මේක මා එක්ක කියනකොට ඒ ජයග්‍රහණය ගැන සිංහල පත්තරවල ලිපිත් පළ වෙලා ඉවරයි. මං මොකුත් කිව්වෙ නැහැ. කිව්වා නම් හිතයි ඉරිසියාවට කියනවා ය කියලා. ඔහුට දැන් ආචාර්ය උපාධියකුත් තිබෙනවා.

මා දන්නා තවත් එක් ආචාර්යවරියක් ජාත්‍යන්තර සංවිධානයක විශාල වැටුපක් ලැබෙන රැකියාවකට අයදුම් කරලා, ඔන්ලයින් ඉන්ටවීව් එකකින් පවා සමත් වෙලා, ඒ වන විට කරමින් සිටි රැකියාවෙනුත් අස්වෙලා වීසා ලබාගැනීම සඳහා විශාල මුදලක් ගෙවලා මේ වගේ ස්කෑම් එකකට අහු වුණා. ඒ වෙලාවේ මා එක්ක ඒ ගැන කියනකොටත් එයා ඒ මුදල ගෙවලා ඉවරයි. ඇය මගේ සේවා ස්ථානයේ මිතුරියක්.

පසුගිය දිනවල ඔබත් දකින්නට ඇති දැන්වීමක් පළවෙනවා වාහනවල සීරීම් මැකිය හැකි පෑනක් ගැන. ඒ සමග තිබෙන වීඩියෝවේ තිබෙන විදියට ඒ පෑනෙන් පාට කළාම සීරුම් ඉරි මැකී යනවා. මගේ අතිනුත් වාහනයේ වෙච්ච සීරීම් ගොඩක් තියෙන නිසාත්, ගරාජ් ගානෙ යන එක කම්මැලි නිසාත්, ඒ වගේ ම ඒ මුළු පාට් එක ම පේන්ට් කරන්නට වෙන නිසා වියදම් අධික නිසාත්, මාත් මේ ගැන විස්තර චැට් කරලා ඇහුවා. පිළිතුර ඉන්බොක්ස් කරන්නම් ය කිව්වා. හැමෝටම කියන්නෙ එහෙමයි. මට මතක විදියට රු. 1,650ක් ද කොහෙද මිල. මට ඕනෑ කළ ග්‍රැනයිට් ග්‍රේ වර්ණයත් තියෙනවා ය කියලායි කිව්වෙ. ලිපිනය එවන්න ය කිව්වා පෑන එවන්නට.

දැන් මේ වගේ අවස්ථාවක ඔබ ඕනැ එකක් ය කියලා මේ පෑන ගෙන්වාගෙන බලනවා. නැති වුණත් ඒ තරම් ලොකු මුදලක් නෙමෙයි නේ. ඒ වුණාට මේ වගේ අවස්ථාවකදි මෙහෙම හිතන්න. වාහනවල වර්ණ කියන්නෙ කොයි තරම් සංකීර්ණ මිශ්‍රණ ද? ඒ මිශ්‍රණවලට ගැලපෙන පෑන් තිබෙන්නට පුළුවන් ද? අනෙක් පැත්තෙන්, සීරුමක් කියන්නෙ ගැඹුරු කැපුමක්. වාෂ්පශීලී තීන්ත වර්ගයක් අඩංගු විය යුතු ෆෙල්ට් පෑනකින් එහෙම කැපුමක් පුරවන්නට පුළුවන් ද? මේක විද්‍යාත්මකව කරන්නට බැහැ.

මේ වෙනකොට කීදෙනෙකු මේ පෑන පරීක්ෂා කරලා තිබෙනවා ද කියලා මං දන්නෙ නැහැ.

අන්තර්ජාලය කියන්නෙ ඔබේ ආශාවන් හඳුනාගෙන ඒ හරහා ඔබේ පසුම්බිය අතගාන්නට දක්ෂ පුද්ගලයන් පිරුණු තැනක්. මෙතැනදී ලිංගික ආශාවන් විශේෂයි. ඒ හා සම්බන්ධ වංචාවන්ට අසු වූ අයට ඒ ගැන විවෘතව කතාකරන්නටවත් බැහැ. සමහර විට, මේ වංචා නිසා අපයෝජන ඇතුළු ලිංගික අපරාධ පවා සිදුවෙනවා.

අන්තර්ජාලයේ දැන්වීම් ක්ලික් කිරීම, ඩේටා එන්ට්‍රි වැනි සරල, පහසු දේ කිරීමෙන් අති විශාල ධනස්කන්ධයක් උපයන්නට පුළුවන් ය කියන කාරණයත් අති දක්ෂ වංචාවක්. මේවා උගන්වන, ඒවායින් පහසුවෙන් අධික ලෙස මුදල් උපයන බව කියන, එවැනි වෙබ් අඩවි ආදිය ප්‍රවර්ධනය කරන විශාල පිරිසක් අන්තර්ජාලයේත්, ඉන් බැහැරවත් ඉන්නවා.

අන්තර්ජාලය ඉතා පුළුල් ව්‍යවසායක අවකාශයක්. ඒත්, නිකම් ඉඳලා ලේසියෙන් සල්ලි මවන්නට පුළුවන් තැනක් ය කියන එක පට්ටපල් බොරුවක්.

Translations