Che on three wheeler

චේට ගිය කල

චේ ගුවේරා වගේ විප්ලවීය දේශපාලන චරිතයක් ජනප්‍රිය සංස්කෘතියට ඇතුළු වුණේ ඔහුගේ රූපයේ චිත්‍රමය හා ග්‍රැෆික් ප්‍රතිනිර්මාණත් එක්කයි. එහිදී ඔහු අත තිබුණු අවියට වඩා රැවුල, තොප්පිය හා මුව රැඳුණු සුරුට්ටුව ජනප්‍රිය වුණා. ඔහුගේ ඒ රූපමය ප්‍රකාශනය අවසානයේදී දේශපාලන ප්‍රකාශනය අභිභවා ගියා.

බොබ් මාලි ජනප්‍රිය සංස්කෘතියේ සංකේතයක්. ඒත්, වඩා ජනප්‍රිය සංස්කෘතීන් තුළ බොබ් මාලිගේ සංගීතය හා රස්තෆානියන් දැක්ම වෙනුවට ගංජා එක්ක ඔහුගේ තිබුණු සම්බන්ධය ඉස්මතු වුණා.

ලංකාවෙ වර්තමානයේදී පහළ මට්ටමේ ජනප්‍රිය සංස්කෘතිය ඇතුළෙ චේ හෝ මාලි කියන්නෙ සාරයක් තිබෙන සංකේත නෙමෙයි. ඒ සංකේත කොච්චර නිස්සාර ද කියනවා නම් සම්පූර්ණයෙන් ම වෙනස් සංදර්භ දෙකකට අයත් චේයි මාලියි ඔවුන්ට පැටලෙනවා. හැබැයි, ඒ පැටලිල්ල ඇතුළෙ සංගීතයවත්, විප්ලවයවත් මොකුත් නැහැ. තිබෙන්නේ ගංජා විතරයි.

ගංජා කියන්නෙ රැඩිකල් පොරත්වයේ සංකේතයක්. ප්‍රභූ, නිර්ප්‍රභූ කවුරුත් ගංජා පුම්බනවා. සූස්තියක් ගහනවා කිව්වා ම, බොනවා, සිගරැට් බොනවා කියනවාට වඩා මොකක්ද ගතියක් තියෙනවා ය කියලා පොදු ප්‍රකාශනයක් තියෙනවා. සූස්ති ගහන එකා අමුතු ඩයල් එකක් වගේ හැඟීමක් තියෙනවා. ඒ වුණාට හුඟක් ගංජා ගහන එවුන්ගෙ තියෙන ලොකුම අනන්‍යතාව ගංජා ගහන එක විතරයි. අනන්‍යතා අර්බුදවලින් පෙළෙන විවිධ මට්ටම්වල හිස් පඹයෝ රාශියක් ගංජාවලින් අනන්‍යතා හොයනවා.

ඒ කතාව අනන්‍යතාවක් තියෙන, ගංජාත් ගහන අයට අදාළ නැහැ. මේක මගේ නිරීක්ෂණයක් විතරයි.

පහත පළවන්නේ අප මිත්‍ර චන්දන ගුණසිංහ සටහන් කළ ඔහුගේ සැබෑ අත්දැකීමක්. ඒක රස කතාවක්.

කළුපාට ත්‍රීවීල් එක මාව පහුකරල අඩි කිහිපයක් ඉස්සරහින් නැවැත්තුව.

“හයිවේ එක ලඟට.”

තඹ පාට කෙස් රොද පස්සට තල්ලුකරල ළඟ ළඟ ගියර් දෙකක් මාරු කෙරුව.

“කොහොමද මේ දවස්වල?”

“අවුලක් නෑ සර් වැස්සෙ පිහිටෙන් ගොඩයනව.”

“මොකක්ද අර පිටිපස්සෙ චේ ගුවේරා කියල ගහල තියෙන්නෙ.”

“සර් දන්නෙ නැද්ද මෑන්ස් ගැන?”

“නැහැනෙ.”

“ෂුහ් , සුපිරි පොරක් තමයි, අපි වගේ පේ්පර් එකේ නෙමෙයි කෙලින්ම පයිප්පෙන් සූස්තිය ඇදල මාර ෆන් ගත්තු පොරක්. දැක්කද ඩයල් එක රැවුල වවපු හෙන හැන්ඩියා?”

“ලංකාවෙද?”

“නෑ නෑ මේ වෙන කොහෙද. මෑන්ස්ගෙ හරියටම ඩීටේල්ස් දන්නෙ ස්ටිකර් කඩේ මලයා තමයි.”

ඡායාරූපය අන්තර්ජාලයෙනි. ස්තුතියි San Juan de Oriente, Nicaragua