කොවිඩ්-19 එන්නතක් නැතිව අප තව කෙතරම් කල් සිටිය යුතු ද?

අජිත් පැරකුම් ජයසිංහ

කොවිඩ්-19 සම්බන්ධයෙන් ලංකාව දැනට අනුගමනය කරන උපායමාර්ගය මගින් රෝග ව්‍යාප්තිය බොහෝ දුරට පාලනය කරගෙන තිබෙනවා. එහෙත්, රෝගයට ස්ථාවර විසඳුමක් සොයාගැනීමට නම් එක්කෝ ශ්‍රී ලංකාව තුළ වයිරසය බිංදුව කර නැවත රෝගය මෙරටට නොපැමිණය හැකි පරිදි වසා දැමීම හෝ රටට පැමිණෙන සියලු දෙනා නිරෝධායනයට යොමු කිරීම සිදු කළ යුතුයි. එය ප්‍රායෝගිකව දුෂ්කරයි. එසේ කළත්, වයිරසයට ප්‍රතිශක්තිය ගොඩනගන එන්නතක් හෝ වයිරසය විනාශ කළ හැකි ඖෂධයක් සොයාගන්නා තෙක් පූර්ණ විසඳුමක් ලැබෙන එකක් නැහැ.

කෙසේ වෙතත්, නව කොරෝනා වයිරසයට එරෙහිව එන්නතක් සොයාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක පර්යේෂණ සිදුවන බවක් නම් වාර්තා වන්නේ නැහැ. හෙළ වෙදකමින්, ආයුර්වේදයෙන් සහ තවත් විවිධ ප්‍රාතිහාර්ය මගින් සොයාගන්නා වෙදකම් නම් තව ටික දිනක් යන විට හැම පඳුරක් ගානේ ම සොයාගන්නට පුළුවන් වේවි. ඔවුන්ගේ වෙදකම් හේතුවෙන් රෝග ව්‍යාප්තිය වැඩිවීම පාලනය කරගැනීම නම් පහසු වෙන එකක් නැහැ.

නව කොරෝනා වයිරසයට එන්නතක් හෝ ඖෂධයක් හෝ සොයාගැනීමට තව කොපමණ කලක් ගතවෙයි ද? මේ වන විට ඒ සඳහා අධි වේගයෙන් පර්යේෂණ සිදු වන බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මේ මොහොත වන විට එන්නත් 20ක් පමණ සංවර්ධනය කරනු ලබමින් තිබෙනවා. මේ පර්යේෂණවල හදිසිය කෙතරම් ද යත්, මුලින් ම පර්යේෂණයක් කරන බව නිවේදනය කළ එක්සත් ජනපදයේ සියැටල්හි විද්‍යාඥයන් පිරිස එන්නතේ ඵලදායිතාව සතුන්ගෙන් පිරික්සීමේ සාමාන්‍ය පියවර අතහැර දැමීමට තීරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ විද්‍යාඥයන් කණ්ඩායමක් එන්නත සතුන්ට දී පරීක්ෂා කිරීම ආරම්භ කර තිබෙන අතර, මිනිසුන් සඳහා පරීක්ෂාව අප්‍රේල් මාසය අග වන විට ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා.

එන්නතක් සාමාන්‍ය අන්දමින් පරීක්ෂාවට ලක් කර, අනුමැතිය ලබාගැනීම සඳහා මාස 18ක කාලයක් අවශ්‍ය වෙනවා. එන්නතකින් කරන්නේ වයිරසය පාලනය කරන ලද තත්වයක් තුළ ශරීරයට ඇතුළත් කර, ශරීරය තුළ ප්‍රතිශක්තිය ගොඩනංවා, සත්‍ය වයිරසයට මුහුණ දීමට හැකි අන්දමින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමයි.

මේ වන විට මිනිසුන් අතර පැතිරෙමින් තිබෙන කොරෝනා වයිරස වර්ග හතරක් තිබෙනවා. එහෙත්, තවමත් මේ එකකටවත් එන්නතක් නිෂ්පාදනය කර නැහැ.

මේ අතර, කොරෝනා වයිරසය විනාශ කළ හැකි ඖෂධ පිළිබඳව ද පර්යේෂණ කෙරෙනවා. උදාහරණයක් ලෙස මැලේරියාවට ලබාදෙන ක්ලෝරොක්වීන් නමැති ඖෂධය මගින් කොවිඩ්-19 ඇති කරන කොරෝනා වයිරසය විනාශ කළ හැකි ද යන්න පිළිබඳ පර්යේෂණ සිදුකරනවා. මේ අන්දමින් ම, එබෝලා, එච්අයිවී වැනි වයිරසවලට ලබා දෙන ඖෂධ කොවිඩ්-19 වෙනුවෙන් යොදාගත හැකි ද යන්නත් පරීක්ෂණයට ලක්කරනවා.

කොවිඩ්-19ට එන්නතක්, ඖෂධයක් නිර්මාණය කිරීම වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් මෙන් ම වානිජමය වශයෙන් ද දැවැන්ත ජයග්‍රහණයක්. ඒ නිසා ඒ පිළිබඳ තරගකාරිත්වයකුත් තිබෙනවා. ලොව ප්‍රමුඛතම ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ජොන්සන් සහ ජොන්සන් සමාගම එන්නතක් ක්ෂේත්‍රයට හඳුන්වාදීම සම්බන්ධයෙන් එක්සත් ජනපද රජය සමග ඩොලර් බිලියනයක ගිවිසුමකට එළැඹ ඇති බව පසුගිය සඳුදා නිවේදනය කළා. මිනිසුන් යොදාගෙන පරීක්ෂා කිරීම සැප්තැම්බරයේදී ආරම්භ කිරීමටත්, හදිසි අවශ්‍යතා වෙනුවෙන් භාවිතා කිරීම පිණිස 2021 මුල වන විට එන්නත ලබාදීමටත් ඔවුන් බලාපොරොත්තු වෙනවා.

කොවිඩ්-19ට එරෙහි එන්නත්වලට ලෝකයේ දැවැන්ත ඉල්ලුමක් හා වෙළඳපොළක් නිර්මාණය වෙනවා. පශ්චාත් කොවිඩ්-19 ආර්ථික අර්බුදයෙන් වැඩියෙන් ම බැටකෑමට නියමිත ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල සෞඛ්‍ය වියදම් ඉහළ යාම ඉදිරියේදී තවත් වැඩි වේවි.

කෙසේ වෙතත්, එන්නත මුලින් ම ලබාදෙන්නේ කාට ද යන්න ගැන අවධානය යොමු කරන්නට වේවි. ලංකාවේ නම්, දේශපාලකයන් හා නිලධාරීන් හිතාවි එය මුලින් ලබාගත යුත්තේ තමන් ය කියා. එහෙත්, ඇත්තෙන් ම එය මුලින් ම අවශ්‍ය වන්නේ කොවිඩ්-19 සමග සටන් කරන ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ටයි.

ඒ වගේ ම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල මහළු පුද්ගලයන් කොවිඩ්-19ට වැඩිපුර ගොදුරු වන නිසා ඔවුන්ට එන්නත ලබාදීමේ අවශ්‍යතාවක් තිබෙනවා. ලංකාවේ දේශපාලකයන් අතර මහල්ලන් සුලබ නිසා එමගින් ඔවුන්ට එන්නත ලබාගැනීමට තර්කයක් නිර්මාණය කරගන්නට පුළුවන්. කෙසේ වෙතත්, මහලු අයගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල නිසා ඔවුන්ට එන්නතක් 100%ක් සාර්ථක නොවන්නට පුළුවන්.

සාමාන්‍ය මිනිසුන් වන අපට කොවිඩ්-19 එන්නත ලබාගැනීමට තව බොහෝ කාලයක් බලාසිටින්නට සිදු වේවි. ඇත්තෙන් ම, සාමාන්‍ය මිනිසුන් මෙයට එතරම් බිය විය යුතු නැහැ. කොවිඩ්-19 වැළඳුණොත් ඔබ තුළ නොමිළේ ම ප්‍රතිශක්තිය ගොඩනැගෙනවා. වැඩිදෙනෙකුට කොවිඩ්-19 නිසා සාමාන්‍ය වයිරස් ආසාදනයක ලක්ෂණ තමයි ඇතිවන්නේ. ශ්වසන පද්ධතියට එමගින් දැඩි බලපෑමක් ඇති විය හැකි යම් ප්‍රතිශතයක් සිටිනවා. ඔවුන් පරිස්සම් කරගත යුතුයි. එසේම, අමාරු වන රෝගීන් ප්‍රමාණය රෝහල් පද්ධතියට දරාගත හැකි මට්ටමක තබාගැනීමත් අවශ්‍ය වෙනවා. මේ අතර මතක තබාගත යුතු කරුණක් තිබෙනවා. වෙනත් රෝග, හදිසි අනතුරු, මිනීමැරුම් ආදියෙන් මියයන පිරිස අතරින් පිරිසක් කොවිඩ්-19 නිසාත් මියයනවා. ඒ අතර අනිවාර්යයෙන් ම අපේ ප්‍රියයන් පමණක් නොවෙයි අප ද සිටිනවා. මරණය කියන්නෙ කොවිඩ්-19න් පස්සෙ විතරක් ඇති වුණ විස්මය දනවන දෙයක් නෙමෙයි.

ලංකාව මුල් අදියරේදී රෝගය පාලනය කරගැනීමට සමත් වුණා. දැන් උත්සාහ කළ යුත්තේ මේ යහපත් තත්වය දිගට පවත්වාගෙන යන්නටයි. එයට අප සියලු දෙනා සහයෝගය ලබා දිය යුතුයි.

හැබැයි, රෝගය සම්පූර්ණයෙන් ම තුරන් වන බවක් එයින් අදහස් වන්නේ නැහැ. අප කොවිඩ්-19 සමග ජීවත් වීමට උගත යුතුයි.

(ඡායාරූපය ගෙටි ඉමේජස් වෙතිනි)

Translations