Handkerchief

කොරෝනා ලේන්සු මාරයා

ඊශා කප්පරගේ

⁣යොවුන් වියේ පසුවන ඇතැම් ගැහැණු ළමයින් මෙන් ම ඇතැම් වැඩිහිටි කාන්තාවන් ද ගමන් බිමන් යන විට ලේන්සුවක් අතේ ගෙනියනවා. ඒක විලාසිතාවට, හැමෝම කරන නිසා කරනවා වෙන්නත් පුළුවන්. ඒ වගේ ම අතට නිතර දාඩිය දැමීම නිසා ලේන්සුව ගෙන යනවා වෙන්නත් පුළුවන්. සමහරුන් ගෙනියන්නෙ මුහුණ, අත ආදිය පිසදාගැනීම සඳහායි.

Translations

ඒ කොහොම වුණත්, පොදු ප්‍රවාහනය පාවිච්චි කරනකොට එහෙම බොහෝ අය ලේන්සුව අතේ තියාගෙන ඉන්නවා. මේ ලේන්සුව බස් පොල්ලෙත්, තවත් තැන්වලත් ඇතිල්ලෙනවා. යන තැන්වලදී, ඒවා තවත් විවිධ මතුපිටවල ස්පර්ශ වෙනවා. ඊළඟට ලේන්සුවෙන් මූණත් පිහදානවා. ලේන්සු කොන හපන වෙලාවලුත් තියෙනවා. ඉස්සර නම් ලේන්සු කියන්නෙ තෑගි දුන් ජාතියක්. තාමත් එහෙම දෙනවද? ලේන්සු තෑග්ගට දෙන්න හොඳ නැහැ ය කියලා ඒ දවස්වල පෙම්වතුන් අතර කතාවක් තිබුණා. එතකොට පෙම්වතුන් අතර අඬදබර ඇති වෙනවාලු. හැබැයි, ඉස්සර කාලෙ පන්සල්වල මල් වට්ටි වෙන්දේසිවල ලේන්සුවලට ලොකු ඉල්ලුමක් තිබුණා.

කොවිඩ්-19 නිසා මේ පුරුදුවලින් මිදෙන්න කාලය ඇවිත්. මේ පුරුද්ද නිසා කොරෝනා වයිරසයට ඔබ ළඟට එන්න ඉතා පහසුයි. මෙය දකින අම්මලා තම දියණියන් දැනුවත් කරන්න. විශේෂයෙන් ම පාසල් ආරම්භ කරන්නට පෙර මේ නිවාඩුවේ දරුවන්ට හෙමිහිට මේවාත් කියාදෙන්න.

ලේන්සුව වෙනුවට ටිෂූ භාවිතය හොඳයි. හැබැයි, ටිෂූ වුණත් නැවත නැවත භාවිතා කරන්නට එපා. ඒවා බැහැර කරන විදියත් වැදගත්. පියන සහිත කසල බඳුනකට වහාම බැහැර කරනවා නම් හොඳයි. භාවිතා කළ ටිෂූ තැන තැන දාන එක වගේ ම, ඒවා තමන්ගේ ගමන් බෑගයේ දමා තබාගැනීමත් අවදානම් සහගතයි.

පිරිමි ලේන්සුව භාවිතා කරන විදිය තරමක් වෙනස් වුණත්, මේ කාරණා ලේන්සු භාවිතා කරන පිරිමි පක්ෂයටත් අදාළයි.

ඔබේ ලේන්සුව ඔබත්, සෙසු අයත් අවදානමට හෙළන දෙයක් වන්නට පුළුවන්. ඒ ගැන හිතන්න. ඒත්, බයවෙන්න එපා. අප කිසිවෙකුට මුළුමනින් ම විෂබීජවලින් බේරී සිටින්නට බැහැ. අපේ ශරීරයට විෂබීජ සමග සටන් කරන්නට තිබෙන ශක්තිය ඉතා වැදගත්.