Arisen Ahubudu

අනුන්ගේ නම් බාල කිරීමේ සමාජ චර්යාව

අජිත් පැරකුම් ජයසිංහ

වෙන කෙනෙකුගේ නමක් බාල කරලා කියන එක අපේ රටේ මිනිසුන්ගෙ ලක්ෂණයක්. බොහෝදෙනෙකු ඒක කරන්නෙ දැනදැනමයි.

නමක් බාල කරනවා කියන්නෙ මොකක්ද? අපි හිතමු කවුරුහරි කෙනෙකු ඉන්නවාය කියලා ශ්‍රීපාල් කියලා. ඒක සිරිපාල කියලා කිව්වොත් වෙන දේ ගැන ඔබට අවබෝධයක් තිබෙනවා නේද? අන්න ඒක තමයි නම් බාල කිරීම කියන්නෙ. ක්‍රිස්තියානි, මුස්ලිම් සංස්කෘතීන්වල වගේ නෙමෙයි, සිංහල, දෙමළ වගේ සංස්කෘතිවල නම්වලටත් පරම්පරා තිබෙනවා. 1960 දශකයේ උපන් බොහෝ අයට අජිත් කියන නම තිබ්බාට දැන් ඉපදෙන ළමයෙකුට ඒ නම තියන්නෙ නැහැ. ඒක පරණ තාලෙ එකක්.

මේ විදියටම නම් මොඩ් කරගන්නත් පුළුවන්. ධර්මසිරිට ධර්ම ශ්‍රී වෙන්න පුළුවන්.

සමහරු තමන්ගෙ පැරණි නම වෙනස් කරගෙන අලුත් නම් දාගන්නවා. පහළ යයි සම්මත කුල අනන්‍යතාව ප්‍රකාශ වෙන වාසගම් වෙනස් කරගන්න එක හොඳ දෙයක්. හැබැයි, සමහරුන් ඒ ගමන් වර්තමාන යුගයේ අලුත්ම නම් දාගන්නවා. සමහරුන් උපැවිදි වෙනකොටත් එහෙම කරනවා. හැබැයි, පැරණි ශරීරවලට අලුත් නම් ගැලපෙන්නෙ නැහැ. උදාහරණයක් විදියට මං ළහිරු වගේ නමක් දාගත්තොත් මගේ රූපයට ඒක ගැලපෙන්නෙ නැහැ.

නම් පරණ වීමත් එක්ක ඇත්තටම ලස්සන නම් රැසක් අපෙන් ගිලිහී යනවා. උදාහරණයක් විදියට ටිකිරිලියා වගේ නමක ලස්සන බලන්න. අලුත උපන් ළමයෙකුට ටිකිරිලියා වගේ නමක් දැම්මොත් මොකද වෙන්නෙ. නම් දානකොට අපභ්‍රංසවලින් ඒක කරන කලාව හඳුන්වා දුන්නෙ අරිසෙන් අහුබුදු සූරීන්. ෂයනු දාලා නමක් හදාදෙන්න කියලා නැසීගිය මොනිකා රුවන්පතිරණ කිවිඳියට කවුරුහරි කීවාම ඇය කීවලු වොෂින් මැෂින් කියල දාගන්න කියලා.

අපේ ඉස්කෝලෙ චිත්‍ර සර්ගෙ පුතාගෙ නම රොහාන්. හැමෝම කිව්වෙ රෝහණ කියලා. මේකට චිත්‍ර සර්ට හරියට කේන්ති යනවා. “අයිසෙ රෝහණ නෙමෙයි රොහාන්” කියනවා.

ශ්‍රීන් කියන ලස්සන නම තියෙන ශ්‍රීන් යාපා බොරලැස්ස මෙහෙම කියනවා. “ශ්‍රීන් තමා මගේ නම. මේක එක එක අය එක විදියට කියනවා. සමහරුන්ට මේක සිරින්, සමහරුන්ට ශ්‍රීනි තවත් සමහරුන්ට සරින්. කැතම එක තමා ස්ක්‍රීන් යාපා කියපු උන්දැලත් උන්නා.”

මගේ බිරිඳගේ නම ඊෂා. ඒක අලුත් පරපුරේ නිළියකටත් තිබෙන නමක්. ඊට පරම්පරාවකට කලින් ගැහැණු කෙනෙකුට ඒ නම වැටුණෙ කොහොමද? ලංකාවේ නූතන පුද්ගල නාමයන් නිර්මාණය කිරීමේදී මාටින් වික්‍රමසිංහ ඉතා සුවිශේෂයි. සමාජයේ ඩේවිඩ්, මාටින් සිංඤො, ගුණපාල, යසවතී වගේ නම් දාන කාලෙ මාටින් වික්‍රමසිංහ සූරීන් තමන්ගෙ චරිතවලට මාලන්, අරවින්ද, පියල්, තිස්ස වගේ ඒ කාලෙට සාපේක්ෂව ඉතාම අලුත් නම් දැම්මා. ඊෂා කියන්නෙත් මාටින් වික්‍රමසිංහයන්ගෙ කෙටි කතාවක එන නමක්. මට මතක විදියට බබාගේ වෙසක් පහනද කොහෙද?

ශ්‍රීන් කියන නම ලස්සන බව අවබෝධ වෙන එවුන් තමයි හුඟක් වෙලාවට ඒක විකෘති කරලා කියන්නෙ. මගේ උප්පැන්න සහතිකෙත් තියෙන්නෙ පැරකුම් කියලා. මං කාටවත් මං පැරකුම් කියලා මාව හඳුන්වාදෙන්නෙත් නැහැ. මං කියන්නෙ අජිත් කියලා. ඒ වුණාට වෙන මාර්ගවලින් මගේ නම දැනගන්න කට්ටිය මට පරාක්‍රම කියනවා. ඒගොල්ලන් කැමතියි මං පරාක්‍රම කියන නම විකෘති කරගෙන පාවිච්චි කරනවාය කියන්න.

මගේ එක් සහෝදරයකුගෙ නම ලලිත් චන්ද්‍ර ජයසිංහ. චන්ද්‍රපාල වගේ අයත් චන්ද්‍ර කියලා නම මොඩ් කරගන්නවා. එහෙම තියෙද්දි අපේ මල්ලි නම පාවිච්චි කරන්නෙ චන්ද්‍රා කියලා. මං හිතන්නෙ ඒකත් ඔහු වැඩ කරන ආයතනයේ කට්ටිය නම විකෘති කරපු හැටි වෙන්න ඇති.

ගම්වලින් ආපු අය වැඩි වැඩියෙන් සිංහලට හුරු අරිසෙන් අහුබුදු පන්නයේ නම් පාවිච්චි කළාට, ඒ අය අගනාගරික සමාජයට ගියාම ඒ නම් මොඩ් මදි වෙනවා. එතකොට තමයි ජයන්තිලා ජේ වෙන්නෙ. රම්‍යලා රමායා වෙන්නෙ. සන්ධ්‍යලා සැන්ඩි වෙන්නෙ. සමන්ලා සෑම් වෙන්නෙ. කුමාරලා කුමා වෙන්නෙ.

ඔය පොලිසිවල, බන්ධනාගාරවල වැඩකරන එවුන්ට ජයසිංහ වගේ නමක් කිව්වාම උන් හරි කැමතියි ඒක ජයසේන කියලා වැරදියට ලියන්න. තමන්ගෙ නමට වඩා හොඳ නමක් වෙන කෙනෙකුට තියෙන එකට තියෙන අකැමැත්ත තමයි ඒ.

මගේ දුවගෙ නම සිලිලාරි. එන්නත් කාඩ් එක ලියද්දි පවා නම නැවත නැවත කියන්න වුණා. නැතිනම් සිරිලාරි කියල ලියනවා. නොදන්නකම නෙමෙයි. නම ගැන ඇතිවෙන ඉරිසියාව. ඒක දැම්මෙ අරිසෙන් අහුබුදුද අහනවා‍. දැමමෙ මංය කිව්වාම තව අවුල්.

ඒව තව හොඳයි, මෙන්න මේව දිහා බැලුවම.අපේ ගමේ වත්තෙ කුලී වැඩකරන දෙමළ මනුස්සයෙකු හිටියා ගාන්ධි කියලා. නමේ ගාම්භීරබව නැති කරන්න ගමේ සිංහල එවුන් කිව්වෙ ගන්දියා කියලා. සෙංකෝලරාජා කියලා මිනිහෙක් ඉන්නවා. සෙංකෝලෙ පාර්ලිමේන්තුවෙ තියෙන හෙණ වටින එකක්නෙ. ඒ නිසා ගමේ මිනිස්සු අර නම සෙල්වරාජා කියලා වෙනස් කරලා නිකම්ම සෙල්ලා කියනවා.

සිංහල නම් ඉංග්‍රීසියෙන් ලියද්දි තියෙන අපූරු ලක්ෂණ හරිම රසවත්. උදාහරණයක් විදියට Soysa සහ Zoysa කියන්නෙ කාණ්ඩ දෙකක්. Kotalawela කියලා ලියන ඔය සර් ජෝන්ගෙ පවුලෙ අයයි Kotalawala කියල ලියන අයයි වෙනස්. බණ්ඩාරනායක, සේනානායක දෙකේම නායක කෑල්ල තිබුණට ඒවා ඉංග්‍රීසියෙන් ලියනකොට එන්නෙ Bandaranaike සහ Senanayake වශයෙන්. ලංකාවේ සිංහලයන් කරන මේ විකාර නිසා තමයි ක්‍රිකට් විස්තර විචාරවලදි එහෙම නම් අපූරු ආකාරවලට උච්චාරණය කරනවා අහන්න ලැබෙන්නෙ.

මේ ලිපිත් කියවන්න:

ජාතියේ නම් තබන්නා අරිසෙන් අහුබුදු සහ සිංහලයන්ගේ නම්

සෙම්බකප් පෙරුමාල්, සපුමල් වීමේ සිට පැරකුම් පැරා වීම දක්වා ස්වීකරණ කතා

Creative Content Consultants