International Day of the Girl Child

පහත දැක්වෙන්නේ දරුවන්ට ශාරීරික දඬුවම් පැමිණවීම ගැන මට ඇති වූ කවි සිතුවිල්ලක්.

මී මල් යළි පිපුණා

හැන්දෑවේ රන් එළියේ
මල් වැස්සක් වැස්සා
ඒ වැස්සෙන් පණ බීගෙන
මී මල් යළි පිපුණා

මී මල් නම් පිපුණි එහෙත්
පුංචි පුතා නැතුවා

ගල පාමුල පරඬැල් පත්
තෙමී සුවඳ දුන්නා
වැහි රැල්ලට තෙමුණ කූඹි
ගුල්වලට ම ඇදුණා
මද්දහනේ රත් වුණ ගල් තෙමිලා දුම් දැම්මා
හේබා ගිය ළා තණ පත්
හිස ඔසවා බැලුවා

පුංචි කොබෙයි පුතු විතරක්
බිම වැතිරී හිටියා
ජීවිත බර පොළවට දී
සැහැල්ලුවෙන් හිටියා

මී පුප් ලද කොබෙයියන්ට
ලොවක් අහිමි වූවා
ඊයම් බරු කුරුළු හදේ
පතුලෙ කිඳා බැස්සා
සදාකල්ම දුක් ගීයක
රන්කැටි පුතු හිටියා
රන්කැටි පුතු හිටියා

අජිත් පැරකුම් ජයසිංහ
2016 – 07 – 08

දරුවන්ට ශාරීරික දඬුවම් පැමිණවීම ඉතා නරක දෙයක්. ඒත්, ලංකාවෙ අපි බොහෝදෙනෙකු ඒ වරද කරනවා. ළමයින්ට විතරක් නෙමෙයි, කාට ශාරීරික දඩුවම් කළත්, අපි සැබෑ මිනිසුන් වෙනකොට ඉතිරිවෙන්නෙ පසුතැවිල්ල විතරයි. ඉහත දැක්වෙන කවියෙන් මා ප්‍රකාශ කළේ මගේම පසුතැවිල්ල.

ඒත්, හැමෝම මිනිසත්බව වර්ධනය කරගන්නෙ නැති නිසා දරුවන්ට ශාරීරික දඬුවම් පැමිණවීමෙන් සතුටුවන අයත් ඉන්නවා. මෙවැනි අය ගුරුවරුන් බවට පත්වීම ජාතික අපරාධයක්.

මාත් ගුරුවරයකු ලෙස දරුවන්ට ශාරීරික දඬුවම් පමුණුවා තිබෙන බව කියන්නෙ දැඩි පසුතැවිල්ලකින්. ඒ වුණත්, ගුරුවරයකු ලෙස මං ළමයින්ට දඬුවම් කළාට වඩා ඔවුන් සමග ජීවත් වෙලා, සතුටු වෙලා, ආදරය කරලා, ගෞරව කරලා තියෙනවා. මට ඒ නිසා ගුරු ජීවිතය ගැන තියෙන්නෙ සතුටක්. මගේ සිසුන් මගෙන් ඉගෙනගත්තාට වඩා දේවල් මං ඔවුන්ගෙන් ඉගෙනගත්තා. ඒ නිසා මට දැන් ගුරු ජීවිතය සොඳුරු මතකයක් විතරයි. මට ඒකෙ ඇරියස් නැහැ. මං අකැමැතිම දෙය තමයි ඉස්සර මගෙන් ඉගෙනගත්ත ළමයි මට වඳින එක. වාසනාවට වැඩිදෙනෙකුට මාව මතක නැහැ. ළමයින්ට මතක හිටින ගුරුවරයකු වෙන්න විශේෂයෙන් උත්සාහ කරන්න ඕනැ නැහැ. ඔබ ඔබ වෙන්න. ඉතිහාසය නිර්මාණය කරන්නේ ඉතිහාසය විසින්.

මෑතදී මං දැක්කා වීඩියෝවක්. එය අපේ ගම් පැත්තේ එක්තරා සාර්ථක ව්‍යාපාරිකයකු ගැන. ඔහු සාමාන්‍ය පෙළින් පසු හෝටල් රැකියාවකට යනවා. එම රැකියාවේදි ඔහුගේ සර් වුණ කෙනෙකු ගැන ඔහු කියන්නේ අද ඔහු මෙතැන ඉන්නේ සර් නිසා බවයි. එහෙත්, සර් ගැන කියනකොට ඔහු කියන්නේ, දවස පුරා වෙහෙස වෙලා වැඩ කළත් දවස අවසානයේදී සර් බල්ලන්ට වගේ බණින බව හා රස්සාව එපා වුණ බවයි.

ලංකාවේ සමාජයේ ප්‍රබල අනන්‍යතාවක් වන ‘ඉස්කෝලවාදී ආදි සිසුන්’ බොහෝවිට ගෞරවනීය ගුරුවරුන් ගැන කතාකරන විට මතක් කරන්නේ තමන්ට පහරදුන් අය ගැනයි. ඒ කාලෙ කෑ ගුටිවල රස ගැන ඔවුන් අදත් තලුමරන්නේ ඇයි? අවස්ථාව ලැබුණොත් ඔවුනුත් ඒ පරපීඩා කාමුකත්වය මුදාහරිනවා ඇති.

සුළු වැටුපක් ලැබෙන ගුරු රස්සාවෙන් පරපීඩා කාමුකයන්ට, ළමා කාමුකයන්ට හා තවත් එවැනි මානසික රෝගීන්ට ලොකු වටිනාකමක් ගන්නට පුළුවන්. මෙවැනි පිරිස් පෙරහන් කර බැහැර කිරීමේ ක්‍රමවේදයක් ගුරු වෘත්තියට බඳවාගැනීමේදීවත් නැහැ. අඩු තරමේ හිංසන වැරදි කර අසුවන අයට වරදේ ස්වභාවය අනුව පළමු වරට සමාව දී, දෙවන වර විනය දඩුවම් දී, තුන්වන වර සේවයෙන් පහ කර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රතිපත්තියකට හෝ අධ්‍යාපන අංශ යොමුවිය යුතුයි.

මෙහිදී ප්‍රධාන ගැටලුවක් වන්නේ පාසල් දරුවන් හා ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ අවබෝධයකින් තොරවීම. නොගහා හැදූ ළමයා හැඳිනොගා හැදූ හොද්ද වැනිය යන ආප්තෝපදේශය තමයි තවමත් ලංකාවෙ සමාජයේ මූලික අධ්‍යාපන මූලධර්මය. අපි වෙනස් වෙන්න ඕනැ.

මෙම සබැඳියේ තිබෙන ලිපියේ තියෙන්නේ මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ආකල්පය. කියවන්න.

Corporal Punishment as a method of discipline is ineffective – Supreme Court of Sri Lanka>>

1 thought on “ළමයින්ට ශාරීරික දඬුවම් හෙවත් හැඳි ගා හැදූ හොදි

  1. සිසුන්ට පහරදීම අතින් සිංහල ගුරුවරුන්ට වඩා දෙමළ ගුරුවරු වඩා දරුණුයි.

    දෙමල සමාජයේ තියෙන ලක්ෂණයක් තමයි දෙමල ජාතිවාදී ප්‍රභූවරයෙක්ට දෙමළ බයියෝ විශාල පිරිසක් වහල්ලු වගේ හසුරවන්න පුළුවන් වීම.

    මෙම ගුණයට හේතුව පාසලේදී දඬුවම් දීම විය හැකියි.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.