Rain water on road at Thunmulla

අජිත් පැරකුම් ජයසිංහ

වැස්ස කියන්නෙ තෙත් කලාපෙ අපේ ජීවිතවල ප්‍රධාන කොටසක්. වැස්සට තෙමිල හැදෙන හෙම්බිරිස්සාව පොඩි කාලෙ ඉඳල අපේ උරුමයක්. තුනේ පන්තියෙදි දවසක් මං ඉංගිරිසි ටීචර්ට පොත පෙන්නද්දි දවසක් නහයෙ හොටු පුරෝදාලා සුරුස් සුරුස් ගාල ඇද ඇද හිටියෙ. ඒ ටීචර් හෙණ පොෂ් විදියට තමයි හිටියෙ. ඒ වුණාට ඉතින් මතුගම ම තමයි. පොත් බලන ගමන් හ්ම් හ්ම් ගාලා නහයෙන් සිංදු මුමුණනවා. අපි හිතුවෙ ඉංගිරිසි සිංදු ය කියලා.

(ලිපිය දැන්වීමෙන් පසු නැවතත්)
Sinhala Tamil English Translations and Content Writing

“එළියට ගිහින් නහය සුද්ද කරගෙන එන්න,” කියල ටීචර් කිව්වා. ළඟදි දවසක් ලේන්සුවක් නැති ගැටයෙක් බස්සෙකේ මගේ ඔලුව උඩින් නහය තියන් හිටගෙන සුරුස් සුරුස් ගගා හොටු ඇද ඇද ගියා. මං බයේ හිටියෙ ඌට රිවස් ගහගන්න බැරි වෙච්ච හොටු තලියක් කොයි වෙලේ ඔලුව උඩට පතබෑවෙයි ද කියලා.

අද වැඩ ඇරෙන වෙලාවට දුන්නෙ නැතෑ පොරි හැලෙන්න. මං වැඩකරන තැන සුද්දො ඒ වගේ වැහිවලට කියන්නෙ රේනිං කැට්ස් ඇන් ඩෝග්ස් කියලා. අපි ඉස්කෝලෙ යනකාලෙ ඒක සිංහලට පරිවර්තනය කරගෙන තිබුණෙ හිටගෙන පස්ස හෝදන්න පුළුවන් වැස්ස කියලා. කොරිඩෝ දිගේ ගරාජය ගාවට ඇවිත් බලා හිටියා. මේ වැස්සෙ කුඩෙන් යන්නත් බැහැ. ඒ පාර ආපහු ඇවිත් ඔපීසියෙ පුටුවෙ වාඩිවෙලා ෆෝන් එකෙන් ෆේස්බුක් ගියා. වැස්ස පොඩ්ඩක් තුරල් වුණාම ආපහු යන්න පිටත් වුණා. මාව දැකලා ද කොහෙද වැස්ස ආපහු ටොප් ගියර් එකට මාරු වුණා. මාත් වැස්ස නිසා යන්න බැරුව හිටිය අහිලාට ඩූ ඕ ඩයි අයිල් ගෝ කියලා ඒකි හිනාවෙද්දි මියෙම්වා, රැකෙම්වා කියලා එළියට ආවා. ඔපීසියෙ මහ ගේට්ටුවෙන් එළියට පැඩ්ඩුනාමයි දැක්කෙ එතන තියෙන පුංචි කැනපිය හෙවත් අඹරාව යට වැඩ ඇරිලා ගෙදර යන්න විදියක් නැති කුඩ නැති අසරණයො බුරුත්තයි.

මට කුඩයක් තියෙන නිසා මං බැස්සා පාරට. කුඩ හෙවනෙන් පිටට පනින ශරීර කෑලි තෙමෙනවා. ශ්‍රී විහාර් හෝටලේ ඉස්සරහ සුදු ඉර ගාව පාරෙ මේ වගේ වැහිවලට වතුර උතුරන නිසා මං ඉක්මණින් එතනින් පාර පැනගත්තා. සම්බුද්ධත්ව ජයන්ති මන්දිරේ පහළ මාලයේ බෝක්කුව යටින් ගිහින් ලෝරිස් පාරට බහින්න බලනකොට මෙන්න ඩෝ පාර නෑ. ඒ හරිය වැනීසිය වගේ. කාර් බෝට්ටු, ත්‍රීවීල් බෝට්ටු එහෙමත් යනවා ඇල මාර්ගය දිගේ. මං ඉවුරෙ ඉඳන් තොටියෝ එගොඩ යන්න වරෝ කිය කිය ත්‍රීවීල් බෝට්ටුකාරයන්ට අත දැම්මා. ම්හු! වැහි දවසට උන්ගෙ කණ් ඇහෙන්නෙත් නැහැ.

කොළඹ ත්‍රීවීල් බුවාලා සාමාන්‍ය දවසට ඇති කරපු සත්තු වගේ කෝච්චියෙන් බස්වලින් බහින මගීන් දිහා බලාගෙන ඉන්නවා. වැහි දවසට උන්ගෙ මීටර් කැඩෙනවා. එදාට ගාන ඩබල්. ඒ විතරක් නෙමෙයි අම්බ පකුං.

ලෝරිස් කැනල් පාර අමතක කරලා ආපහු හැරිලා බුලර්ස් පාර දිගේ එන ගමන් මං ත්‍රීවීල් හත අටකට අත දික්කළා. ලොන්ඩ්‍රොමැට් ලොන්ඩරියා ගාව සර්ෆ් එක්සෙල් පුසුඹ ගහන හරියෙදි එකෙක් නවත්තලා කොහෙද ඇහුවා. බම්බලපිටිය ඉස්ටේෂමට කිව්වාම ඌ හොම්බ උල් කරගෙන යන්න ගියා. අනේ තොපි හැමනියල්ලා කියලා මං වැස්සෙම පයින් බම්බලපිටිය පැත්තට කාල් ගෑවා. සපත්තු අස්සෙ වතුර ජෝගු දෙකක් පිරිලා හරි ආතල්.

දැන් හතරහමාරෙ කලුතර එක්ස්ප්‍රස් එකත්, ඒ පිටිපස්සෙන් එන ස්ලෝ එකත් ගිහින්. රත්මලානට හරි පානදුරට හරි ගිහින් සාගරිකා අල්ලගන්නත් පරක්කු වැඩියි වගේ. හික්කඩුවෙ තමයි යන්න වෙන්නෙ. බස්සෙකක් ආවොත් පරක්කු වුණත් කමක් නැහැ යනවා කියලා හිතාගෙන බම්බලපිටියෙ එක්ස්ප්‍රස් හෝල්ට් එකට ආවා. දෙයියනේ කියලා ආපි ඉන්ටසිටියක්. දෙයියොම තමයි ඒක එවල තියෙන්නෙ. මං ආස කරන පස්සම සීට් එකට ඉස්සරහින් වම් පැත්තෙ අයිනෙ තියෙන සීට් එකත් හිස්. ඔතන පොඩි කොස්සක් තියෙනවා. සමහර බස්වල ඒසී එකෙන් ඔතනින් හිටි හැටියෙ වතුර ලීක්. මං කල් ඇතුව ම තිර රෙදි ටික ඇදලා සෙට් කළා එතනට. නැතිනම් සැපට නිදාගෙන ඉන්නකොට හිටි හැටියෙ ඔලුවට වැටෙනවා අයිස් වතුර. ඔව්වා මං හිතන්නෙ බස්සෙකේ ඉන්න අයගෙ ශරීරෙන් උරාගත්ත ජලවාෂ්ප ම තමයි. සමහර නෝනාවරුන්, මහත්වරුන් ගාව තියෙන ජීවන සුවඳට ආස්‍රැත ජලය වුණත් කැතයි මෙයා.

තෙත කුඩේ තිබ්බා සයිඩ් එකෙන්. ගැලෙව්වා සපත්තු, මේස් ඔක්කොම. වැහුවා ඒසී ගුල් දෙක. දුන්නා එකසිය අසූව. ඉන් පස්සෙ මං මළා. එක සැරයක් පණ එනකොට වාද්දුවෙ. දෙවෙනි සැරේ සිහිය ආවෙ දොඩංගොඩදි. ඒසී බස්වල ආතල් එක කියන්නෙ ඒ වෙනකොට මං ලිපේ දාන්න පුළුවන් ගානට වේලිලා. තෙත කුඩේ බෑග් එකට දාන්න පුළුවන් ගානට වේලිලා. හැබැයි එතකොට හතහමාරත් වෙලා. හික්කඩුවෙ ආවත් මේ වෙනකොට ගෙදර. ඔන්න ඕකයි බස්වල තත්වෙ. ඒ නිසයි සහෝදරවරුනි, මිනිස්සු වවුල්ලු වගේ එල්ලිලා හරි කෝච්චියෙ ම යන්නෙ.

කොයි කාන්තාරෙ ඉඳන් ආවත්, මතුගමට එනකොට වහිනවනෙ. ඒ නිසා මතුගමින් බැහැලා කොහොමත් ඉතුරු ටික තෙමි තෙමි තමයි යන්න වෙන්නෙ.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.