Ajith Perakum Jayasinghe

පහත දැක්වෙන නම් ලැයිස්තුව මා උපුටා ගත්තේ තරංගා කුලරත්න වෙතිනි.

සෙම්බකප් පෙරුමාල් (සපුමල්)

ජොආ ද ඔස්ට්‍රියා (විමලධර්මසූරිය)

කන්නසාමි නායක් (ශ්‍රී වික්‍රම රාජසිංහ)

වංශපූර්ණ දේවගේ ඩෙිවිඩ් (ගොංගාලේගොඩ බණ්ඩා)

ඉසබෙලා කොර්නේලියා (ගජමන් නෝනා)

ෆ්‍රැන්සිස්කෝ ෆනෑන්ඩු (පුරන් අප්පු)

ඩෙිවිඩ් හේවාවිතාරණ (අනගාරික ධර්මපාල)

රෆායෙල් තෙන්නකෝන් (රැපියෙල් තෙන්නකෝන්)

ජෝර්ජ් විල්ෆ්‍රඩ් අල්විස් සමරකෝන් (ආනන්ද සමරකෝන්)

ජෝසෆ් ජෝන් (සුනිල් ශාන්ත)

ඩේසි රාසම්මා ඩැනියෙල්ස් (රුක්මනී දේවි)

රීටා ජෙනෙවි ෆනෑන්ඩු (ලතා වල්පොල)

ඉවෝන් පෙරේරා (සන්ධ්‍යා කුමාරි)

රීටා අයිරින් ක්වියින් (ශාන්ති ලේඛා)

මොරිස් ඩයස් (චිත්‍රසේන)

ඇල්බට් පෙරේරා (අමරදේව)

පර්සි මහේන්ද්‍ර (මහින්ද රාජපක්ෂ)

බොනිෆස් පෙරේරා (රවීන්ද්‍ර රන්දෙනිය)

වසන්තා ඩොරින් පීටර්සන් (වසන්ති චතුරානි)

ෆැටිමා පතිරාජ (ගෝතමී පතිරාජ)

තුවාන් මොහොමඩ් ඩිල්ෂාන් (තිලකරත්න මුදියන්සේලාගේ ඩිල්ෂාන්)

කලක් ජනප්‍රිය නළුවකු වූ ශෂී විජේන්ද්‍රගේ කලින් නම වූයේ අවුෆ් ය. පසු කලෙක සිනමාවෙන් ඉවත් වූ ඔහු දැන් නැවතත් අවුෆ් යන නමින් මුස්ලිම් ජාතිකයකු ලෙස ජීවත් වෙයි.

මෙම ලැයිස්තුවට තවත් නම් එකතු කිරීමේ හැකියාව ඔබට තිබේ.

මෙහි නම් වෙනස් කිරීමකට අමතරව  ආගම්, ජාති වෙනස් කිරීම් ද තිබේ. වෙනත් ජාතීන්ට, ආගම්වලට අයත් පුද්ගලයන් සිංහල බෞද්ධයන් බවට මේ අන්දමින් වෙනස් වීම අප අර්ථකථනය කරන්නේ කෙසේ ද?

මෙසේ මිනිසුන් සිය කැමැත්තෙන් ජාතිය, ආගම, කුලය වැනි අනන්‍යතා ඉවත දමා අලුත් අනන්‍යතා වැළඳ ගැනීමේ ක්‍රියාවලිය ස්වීකරණය (assimilation) ලෙස හැඳින්වේ. ස්වීකරණය සඳහා බොහෝ විට හේතු වන්නේ සංක්‍රමණය, වෙළඳාම,  රැකියා, සංස්කෘතික අන්තර් සම්බන්ධතා ආදියයි. ස්වීකරණයේදී බොහෝ විට සිදු වන්නේ බහුතර හෝ බලවත් ප්‍රජාව තුළට සුළුතරයන් ස්වීකරණය වීමයි.

මෙහිදී ඉහත ලැයිස්තුවේ සඳහන් වන පුද්ගලයන් සිය අනන්‍යතා වෙනස් කරගෙන තිබෙන්නේ තමන්ට තිබෙන වෙළඳපොළ ඉල්ලුම වැඩි කර ගැනීම සඳහා යයි සැලකිය හැකි ය.

“මේක ඉතාම සිත්ගන්නා සුළු ලැයිස්තුවක්. ඇත්ත වශයෙන්ම පුද්ගල නම්වල විකාශය ඇසුරෙන් ලංකාවේ ඉතිහාසය ලිවීමට පුළුවන්. සිංහලයාගේ නම් තැබීමේ රටාවේ ව්‍යුහය මදක් විභාග කිරීමෙන් සිංහල-බෞද්ධ ජාතිකවාදයේ මූලික සාරාත්මවාදී කියාපෑම් (existentialist claims) විසංයෝජනය කිරීමට පුළුවන්,” යි මෙම ලැයිස්තුව පළ වූ තැන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සටහන් කළේ ය.

පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යටත් විජිත පාලන සමයන්හිදී සිංහලයෝ ද මහා පරිමාණෙන් සිය අනන්‍යතා වෙනස් කර ගත් හ.

මේ අතර, ලංකාවට පසුකාලීනව දකුණු ඉන්දියාවෙන් සංක්‍රමණය වූ කරාව, දුරාව කුලවලට අයත් ජනයා ද සිංහල අනන්‍යතාව තුළට ස්වීකරණය වූ හ. 

සිංහලයන් මේ අන්දමින් දෙමළ, මුස්ලිම් සුළු ජාතික අනන්‍යතා තුළට ස්වීකරණය වූ අවස්ථා ද විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල දක්නට ලැබේ.

උතුරු කොළඹ සිට හලාවත දක්වා වෙරළබඩ තීරයේ ක්‍රිස්තියානි දෙමළ ජනයා ද මේ අනදමින් ම සිංහල සමාජය තුළට ස්වීකරණය වෙමින් සිටිති.

එහෙත්, ස්වීකරණය යනු බලහත්කාරයෙන් කළ හැකි ක්‍රියාවක් නො වේ. එසේම සුමුදු ලෙස සිදු වන්නක් ද නො වේ.

ස්වීකරණය පිළිබඳ න්‍යායයන් රැසක් ඇත. 1920, 30 දශකවල චිකාගෝ විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කර ගත් සමාජ විද්‍යාවේ චිකාගෝ ගුරුකුලය විසින් සංවර්ධනය කරන ලද ස්වීකරණය පිළිබඳ ක්‍රියාවලි න්‍යාය අනුව එය සිදු වන්නේ සම්බන්ධකම් ඇති කර ගැනීම, ගැටුම්, ප්‍රතියෝජනය (accommodation) හා ස්වීකරණය යන ක්‍රියාවලිය හරහා ය.

කෙසේ වෙතත්, ස්වීකරණය යනු ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. කිසිදු න්‍යායකින් එය පූර්ණ ලෙස පැහැදිලි කර නැති අතර, මානව සමාජයේ සංවර්ධනයත් සමග ස්වීකරණය සිදු වන ආකාරයන් ද වෙනස් වේ. 

එසේම, ස්වීකරණය යනු ලෙහෙසියෙන් සම්පූර්ණ වන ක්‍රියාවලියක් ද නො වේ. ඇතැම් ප්‍රජාවන් යම් කාල පරාසයන් තුළ කිසි සේත් ම ස්වීකරණය වන්නේ ද නැත. 

ස්වීකරණය පිළිබඳ මෙම සටහන තබන්නට හේතු වුණේ, පුළුල් දේශපාලන අනන්‍යතා සංවර්ධනය කිරීමෙහිදී ස්වීකරණය ඉතා වැදගත් නිසා ය. අප සිංහල, දෙමළ, මුස්ලිම් දේශපාලන අනන්‍යතාවන් ඉක්මවා ගිය පුළුල් දේශපාලන ප්‍රජාවක් වෙනුවෙන් පෙනී සිටින විට ස්වීකරණයේ ප්‍රවණතා කෙරෙහි අපගේ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය ය. 

ස්වීකරණය ශ්‍රී ලංකාව තුළ අභ්‍යන්තරිකව පමණක් සිදු වන ක්‍රියාවලියක් නො වේ. ලාංකිකයන් ලෝක ප්‍රජාව තුළ ස්වීකරණය වන ආකාරය හඳුනාගත හැකි සාධක ද තිබේ. 

මා පාසල් යන සමයේ මගේ ගුරුවරයකුගේ පුතකුගේ නම සම්බන්ධයෙන් මතු වූ ආරාවුලක් තිබිණි. ගුරුවරුන් ද, ළමයි ද මෙම සිසුවා රෝහණ ලෙස ආමන්ත්‍රණය කිරීම ගුරුවරයාගේ අප්‍රසාදයට හේතු විය. 

“රෝහණ නෙමෙයි අයිසෙ, රොහාන් රොහාාාන්,” යි ගුරුවරයා කියයි. 

රෝහණ කියනවාට වඩා රොහාන් කියන එක තුළ ජාත්‍යන්තර හෝ බටහිර ඌරුවක් තිබේ. මෙසේ නම් නවීකරණය කර ගත් අය රැසක් සිටිති. 

රම්‍යා රමායා වීම, සන්ධ්‍යා සැන්ඩි වීම, කුමාර කුමා වීම, ජයසිංහ ජේ වීම, පැරකුම් පැරා වීම එවැනි නිදසුන් කීපයක් පමණි. නම් වෙනස් වන ආකාරය කොතරම් රසවත් ද යන්න කල්පනා කර ඔබේ අදහස් හා උදාහරණ ද මෙහි සටහන් කරන්න.

(ඡායාරූපයේ ඉන්නේ අජිත් පැරකුම් ජයසිංහ ය)

6 thoughts on “සෙම්බකප් පෙරුමාල්, සපුමල් වීමේ සිට පැරකුම් පැරා වීම දක්වා ස්වීකරණ කතා

  1. ටිකිරි බණ්ඩාගේ නන්දසිරි වන්නිනයක – නන්ද වන්නිනායක – පහසුව සහ චුට්ටක් හරි “පොෂ්” බවක් දැනීම නිසා වෙනස් කරගත්තා.

  2. ඔබ දන්නවද “සියාතු නානා” ?
    ඒ මගේ පියා, නම (Ziyaad )
    වැඩකලේ මුට්ට කර ගැහුවේ (දැන් වගේ කන්ටේනර් තිබ්බේ නැතිනිසා) වරාය අධිකාරියේ.
    මගේ පියාගේ නම වරායේ පඩි කාඩ් එකේ මුල් කාලේ ලියාගෙන තුබුන සියාඩ් කියල පස්සේ සීයාත් කියල ලියා තිබුන කොහොම හරි අස්වෙන කාලේ වෙනකොට නම සියාතු විය.
    කොහොම හරි සියාතු නානා දශක තුනක් වරායේ මුට්ට කර ගහල වරායෙන් අස්වෙන කොට නිකන් ලැබෙන දෙකත් නැතිව “සියාතු නානා” වී ගෙදර නැවතුණ.

  3. යූස්ටස් රෙජිනෝල්ඩි ද සිල්වා-එදිරිවීර සරත්චන්ද්‍ර

Leave comment

Your email address will not be published. Required fields are marked with *.