සුන්දර ඉංග්ලිෂ්: කට්ලිස්, පැටිස්, රෝල්ස්

අජිත් පැරකුම් ජයසිංහ
සිංහලයන් කන ප්‍රධාන බටහිර කෑම වර්ග තුනකි, කට්ලිස්, පැටිස් හා රෝල්ස්.
මේවා බැලූ බැල්මට පෙනෙන්නේ තත්සම පද ලෙසයි. එනම්, ඉංග්‍ලිෂ් බසින් ණයට ගෙන ඒ අන්දමින් ම යෙදෙන පද ලෙසයි. එහෙත්, ඒ අදහස වැරදි ය.
කට්ලිස්, පැටිස් හා රෝල්ස් යනු ඒකවචන නාමපද තුනකි. ඉංග්ලිෂ් බසෙහිදී ඒවා බහුවචනයි.
ඒකවචන පද වන්නේ cutlet, patty, roll වේ. බහුවචන වන්නේ cutlets, patties, rolls යන ඒවායි.
සිංහල අය පැටි එකක් කියා කියන්නේ නැත. කියන්නේ පැටිස් එකක් කියා ය. කට්ලිස් එකක්, රෝල්ස් එකක් ය කියා ද කියනු ලැබේ. බහුවචන වන්නේ කට්ලිස් දෙකක් පැටිස් තුනක්, රෝල්ස් හතරක් ලෙසයි.
නූතන නාගරික සිංහලයන් කට්ලට් යයි කීවාට, එය Received Pronunciation අනුව වැරදි ඉංග්ලිෂ් උච්චාරණයකි. පැරැන්නන් එය ආසන්න වශයෙන් නිවැරදිව උච්චාරණය කළ හ. එයට හේතුව, දකුණුදිග එංගලන්ත අධ්‍යාපනික භාෂා උච්චාරණය අනුව එය කට්ලිට් වන හෙයිනි. පබිලිස් මහත්තයා කියන්නේ ද කට්ලිස් කියා ය.
නිවැරදි ඉංග්‍රීසි උච්චාරණය කියා දෙයක් නැත. එහෙත්, ශ්‍රී ලාංකික ඉංග්‍රීසිය බොහෝ දුරට සැකසෙන්නේ දකුණුදිග එංගලන්තයේ අධ්‍යාපනික රිසීව්ඩ් ප්‍රනන්සියේෂන්උච්චාරණය අනුව ය. නිවැරදි යයි පරම වශයෙන් කියන්නට බැරි වුණත්, ඉංග්‍රීසිය දෙවන බසක් ලෙස කතාකරන බොහෝ රටවල ප්‍රමිතිය ලෙස සලකන්නේ එයයි.
ලාංකිකයන්ගේ පැටිස් එක ලාංකික විදියට හදාගත් එකකි. මා කුඩා කාලයේ පාසලේ කම්බි වැටෙන් එහා පැත්තේ තබාගෙන පැටිස් විකුණන පැටිස් ආච්චි කෙනෙකු සිටියේ ය. නම් කට්ලිස්, රෝල්ස් වුණත් ඒවා ලාංකික කෑම ය. විස්කෝතු කුඩු දවටනය ලාංකික රෝල්ස්වල අනිවාර්ය ය.
කට්ලිස්, පැටිස්, රෝල්ස් සමග යෙදෙන තවත් වචනයක් වන්නේ ෂෝට් ඊට්ස් (short eats) ය. මෙයට සිංහල පරිවර්තනයක් ලෙස කෙටි කෑම යයි ද කියනු ලැබේ. කෑම කඩවල ඒවාට සෝටිස් යයි ද කියනු අසා ඇත්තෙමි.
“සෝටිස් එකයි ප්ලේන්ටියයි, හෑන්බිල්,” කියා වේටර්ලා කවුන්ටරයට කෑගසා කියනු ඔබ අසා තිබේ ද? මෙතනදී හෑන්බිල් කියන්නේ handbill යන්න නොව බිල අතේ බවට ය.
ෂෝට් ඊට්ස් යනු ශ්‍රී ලාංකික ඉංග්‍රීසි වදනකැයි මැක්මිලන් ඕපන් ඩික්ෂනරියේ ද දැක්වේ. එහෙත්, එය දකුණු ඉන්දියාවේ ද භාවිතා වේ.
(ඡායාරූපය අන්තර්ජාලයෙනි)
යම් භාෂාවක වචන වෙනත් භාෂාවක තත්සම වචන ලෙස භාවිතා වන විට එම වචන ඒවා අයත් මුල් බසේ උච්චාරණය වන ආකාරයටම උච්චාරණය කළ යුතු යැයි නියමයක් හෝ අවශ්‍යතාවක් හෝ නැහැ. එංගලන්තේ සුද්දන්වත් එහෙම කරන්නේ නෑ.උදාහරණ – ලංකාවේ ගාල්ල එංගලන්තේ සුද්දාට ගෝල් (Galle), දෙමළ භාෂාවේ කට්ටුමරම් (கட்டுமரம்) එංගලන්තේ සුද්දාට කැටමරන් (Catamaran). කට්ලිස්, පැටිස් හා රෝල්ස් යන වචන තුන ඒ ආකාරයට ව්‍යවහාර කරන්නේ සාමාන්‍ය සිංහලයන් විනා ඉංග්‍රීසි උගත්කම නිසා මාන්නයක් ඇතිකර ගත් පණ්ඩිතයන් නෙමෙයි. මේ ගැන සිංහල හා ඉංග්‍රීසි උගත් එහෙත් මාන්නක්කාර පණ්ඩිතයෙක් නොවූ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ලිපි කියවා බලන්න.
Pan Cake , thawath ewennaki .