Sivaram aka Tharaki

අජිත් පැරකුම් ජයසිංහ

ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැරිස්ටර් ප‍්‍රැන්සිස් පැහැරගෙන ගියේ යයි කියන සිද්ධිය පිළිබඳ විමර්ශනය කඩිනමින් සිදු විය යුතු ය. බොහෝ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය පවසන පරිදි ඇය කරන්නේ බොරුවක් නම්, ඒ සම්බන්ධයෙන් ඇයට එරෙහිව නීතිමය වශයෙන් පියවර ගත යුතු ය. එය රට අපකීර්තියට පත්කිරීමේ වෑයමකි. එයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව දැඩි පියවර ගත යුතුය. ස්විස් තානාපති නිලධාරීන් ලාංකිකයකුගේ බොරුවකට හසු වී රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය කළේ නම්, එකී රටේ තත්වය ගැන නොසිතා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට විය යුතු නැත. මෙය සුළුපටු සිද්ධියක් නොවේ.

Translations by Creative Content Consultants

එහෙත්, මෙතන ගැටලු කීපයක් තිබේ. ස්විස් තානාපති කාර්යාලය වැනි ස්ථානවල වැඩ කරන නිලධාරීන් ස්වදේශිකයන්ගේ සංක්‍රමණික ප්‍රයත්නයන් ගැන බොහෝ අත්දැකීම් ඇති අයයි. මෙවැනි තානාපති කාර්යාලයකට ස්වදේශිකයකුට පහසුවෙන් ඇතුළුවීමට හෝ ඉඩක් නොදෙන්නේ එබැවිනි. ස්විට්සර්ලන්තයට පළාවිත් එහි දේශපාලන රැකවරණ පැතීම කරන්නේ ලංකාවේ වැසියන් පමණක් නොවේ. එවැනි ප්‍රයත්නයන්ට තානාපති කාර්යාල නිලධාරීන් පහසුවෙන් රැවටෙන්නේ නැත.

ගානියා බැරිස්ටර් ප‍්‍රැන්සිස් ස්විස් තානාපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැවටුවා ද? නැතිනම් එය ස්විස් තානාපති කාර්යාලයේ ද අනුදැනුම ඇතිව සිදු වූ කුමන්ත්‍රණයක් ද? එය කුමන්ත්‍රණයක් නම්, ඒ වනාහි ඉතා බොළඳ කුමන්ත්‍රණයකි. ස්විට්සර්ලන්ත රජය එවැනි බොළඳ කුමන්ත්‍රණවල පහසුවෙන් පැටලෙයි ද?

ලාංකිකයන් ස්විට්සර්ලන්තය විදේශ රටවල දේශපාලන රැකවරණ ලබාගැනීම සඳහා විවිධ කූටෝපායන් භාවිතා කරති. ශ්‍රී ලංකාවේ ඇතැම් වාමාංශිකයන් මේ වෙනුවෙන් අනුගමනය කළ උපායන් පිළිබඳ මට අත්දැකීම් තිබේ.

කලක් මා ක්‍රියාකාරිකයකු වූ හිරු කණ්ඩායම සමග සම්බන්ධව සිටි එක්තරා ව්‍යාපාරිකයකු පවුල පිටින් විදේශගතවීම සඳහා අනුගමනය කළ උපායමාර්ගය මෙසේ ය: මෙම පුද්ගලයා ව්‍යාපාරික වශයෙන් අසාර්ථක වූයේ ය. දේශපාලන කණ්ඩායම සමග ද ගැටුම් ඇතිකරගත් ඔහු දේශපාලන කටයුතුවලින් ද ඈත් වී සිටියේ ය. මේ අතර, අප කණ්ඩායමේ අයෙකු සේවය කළ සන්නිවේදන ආයතනයක් හරහා යම් යම් කටයුතු කරගනිමින් මෙම පුද්ගලයා විදේශ රටවල ස්ථිර පදිංචිය සඳහා ද අයදුම් කළේ ය. එය ද අසාර්ථක විය.

2007 වන විට මා හිරු කණ්ඩායමෙන් ඉවත් වී සිටියෙමි. දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ හිමිකම වෙනුවෙන් පෙනී සිටීම නිසා ඒ වන විට හිරු කණ්ඩායම වෙත මර්දනය යොමුවෙමින් තිබිණි. ඒ සමග ම මෙම පුද්ගලයා නැවතත් හිරු කණ්ඩායම සමග සම්බන්ධ වූයේ ය. වෙබ් අඩවි සම්බන්ධ දේශපාලන කුමන්ත්‍රණවල ගෝඩ් ෆාදර් කෙනෙකු ලෙස හැඳින්වෙන පුද්ගලයකු සමග එක්ව වෙබ් අඩවියක සංස්කාරකවරයකු ලෙස ඔහු වැඩ කරන්නට පටන් ගත්තේ හිරු කණ්ඩායමේ නායකයාගේ මගපෙන්වීමෙනි. පසුගිය දිනවල ආන්දෝලනයට ලක් වූ ප්‍රසිද්ධ පරිවර්තකයකු ද මෙම වෙබ් අඩවියේ සේවය කළේ ය.

මේ අතර, එම වකවානුවේ නිතර නිතර මාධ්‍ය මර්දනයට එරෙහිව පැවති උද්ඝෝෂණවල ද මෙම පුද්ගලයා ඉදිරියෙන් ප්‍රදර්ශනය වන්නට පටන් ගත්තේ ය. ඔහු උද්ඝෝෂණවල යෙදී සිටින ඡායාරූප මාධ්‍යවල පළ විය. දේශපාලනය දෙස හැරීවත් නොබැලූ මොහුට සිදු වී ඇත්තේ කුමක්දැයි ඒ දිනවල අපට තේරුණේ නැත.

මොහු අප කණ්ඩායමට මීට පෙර සැලකූ අන්දම සම්බන්ධ සිදුවීමක් මට දැනුදු සිහිපත් වේ. අපගේ කණ්ඩායමේ සිටි නෙවිල් උදිත වීරසිංහගේ විවාහ මංගල්‍යය පැවැත්වුණේ ඊට වසරකට පෙර ය. රාත්‍රියේ පැවැත්වුණු එම උත්සවයට සහභාගි වූ අප රාත්‍රිය නතර වීමට යාමට සිටියේ ඒ වන විට මෝදර සොල්දර ගෙදරක ඉහළ මාලයේ පැවැති අපගේ කාර්යාලය ලෙස ද භාවිතා කළ නිවසට ය. මෙම පුද්ගලයාගේ වෑන් රථය එහි පැමිණ තිබුණේ පිටුපස ආසන කිසියම් කාර්යයක් සඳහා ගලවා ය. අපි එහි පිටුපස බිම වාඩි වී පැමිණියෙමු. කොළඹින් උතුර දෙසට යාමට පැමිණි ඔහු රෑ දොළහට පමණ අප සියලු දෙනා කොටුවේ මග දමා යන්නට ගියේ ය. මෝදර පැත්තට කිලෝමීටර් හතරක පමණ දුර අපි පයින් ගියෙමු. ඔහුට කරන්නට තිබුණේ තමන් යන දිශාවට ම වෙනත් මාර්ගයක ගොස් අප අදාළ තැනින් බස්වා යළි මාර්ගයට යොමුවීමයි. එම කණ්ඩායමේ සිටි අය අතර ඒ වන විටත් යම් තර්ජනයන්ට ලක්වී සිටි භාෂණ ද කාන්තාවන් කිහිපදෙනෙකු ද සිටිය හ. අද පවා මගේ වාහනයෙන් හඳුනන හෝ නාඳුනන කෙනෙකුට ලිෆ්ට් එකක් දෙන විට මට මෙම සිදුවීම මතක් වේ. මා කිසි විටෙක පුද්ගලයකු අතරමග දමා යන්නේ නැත්තේ එම අත්දැකීම නිසා ය.

එම වෙබ් අඩවියට තර්ජන ඇති බවට වාර්තා එම වෙබ් අඩවියේ ම පළ විය. ඒ වන විට සක්‍රියව පැවති මාධ්‍ය සංවිධාන විසින් මාධ්‍ය මර්දනය පිළිබඳ වාර්තාවල එම වෙබ් අඩවියේ නම ද සඳහන් කරන ලදී. එය වනාහි මාධ්‍යවලට ඇත්තට ම තර්ජන ද තිබුණු, තිබුණාටත් වඩා තර්ජන ඇති බව මාධ්‍යකරුවන් හා මාධ්‍ය සංවිධාන විසින් ප්‍රචාරය කරන ලද සමයක් විය.

හදිසියේ ම මෙම වෙබ් අඩවිය වසා දමන ලදී. හේතුව ලෙස දක්වනු ලැබුවේ මර්දනය නිසා එය කළ නොහැකි බවයි. අපේ කතානායකවරයා රටින් පළා ගියේ ය. ටික කලකට පසු ඔහු ස්විට්සර්ලන්තයෙන් මතු වූයේ නිකම් නොව, මර්දනය හමුවේ පළා ආ ශ්‍රී ලාංකික ජනමාධ්‍යකරුවකු ලෙස ය. ශ්‍රී ලංකාවේදී චිත්‍ර ගුරුවරියක වූ ඔහුගේ බිරිය තර්ජන නිසා පළා එන්නට සිදු වූ මාධ්‍යකරුවකුගේ බිරිඳක් විසින් තම කටුක අත්දැකීම් ප්‍රකාශයට පත් කරන අන්දමේ චිත්‍ර ප්‍රදර්ශනයක් ද කළා ය.

ස්විට්සර්ලන්ත ජාතිකයන් ලොව සෙසු රටවල මානව හිමිකම් උල්ලංඝනයන්ට ලක්වූ මිනිසුන්ට දේශපාලන රැකවරණ දීම සම්බන්ධයෙන් දිගු ඉතිහාසයක් ඇති රටකි. ඒ සම්බන්ධ යම් යම් පුණ්‍ය යාන්ත්‍රණයන් ද ඒ රටවල තිබේ. ඒවා ද බිස්නස් ය. එහෙත්, ඒවාට පැවතීමට හැකි වී තිබෙන්නේ සාමාන්‍ය ස්විස් වැසියන්ගේ හිතහොඳකම් නිසා ය.

ලාංකිකයන් ස්විස් ජාතිකයන්ගේ කණෙන් රිංගන බව බොරුවක් නොවේ. එහෙත්, ස්විස් තානාපති කාර්යාල නිලධාරීන් යනු මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් බොහෝ අත්දැකීම් තිබෙන අයයි. අතේ පැළවෙන බොරුවකට රැවටී රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය කරගන්නට තරම් ස්විට්සර්ලන්ත රජය මුග්ධ යයි සිතිය නොහැකි ය.

මේ අතර, මාධ්‍යකරුවන්ට පහර දීමේ සිදුවීම් ද, පහර කෑ මාධ්‍යකරුවන් රෝහල් ඇඳන් මත සිට ඡායාරූපවලට පෙනී සිට මාධ්‍යවල පළවීම ද නැවත ආරම්භ වී තිබේ. දේශපාලන රැකවරණ ගැනීම සඳහා කූට උපායන් අනුගමනය කරන අයට ඉතා පහසු මාර්ගයක් වී තිබෙන්නේ වෙබ් අඩවි ‘මාධ්‍යවේදීන්’ වීම හා තර්ජනයට ලක්වීමයි.

ලාංකිකයන් වැඩිදෙනෙකු යුරෝපයට, ඇමරිකාවට හෝ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටකට යාමට අවස්ථාවක් ලැබුණොත් පළමු අවස්ථාවේ ම පවුල් පිටින් රටින් පළා යන තරම් රටට ආදරේ කරන අය ය. ස්ථිර පදිංචිය, තාවකාලික පදිංචිය, රැකියා වැනි මාර්ගයකින් මේ රටවලට යාමට බැරි අය අධ්‍යයන වීසා මගින් හෝ යති. එහෙමත් බැරි අය දේශපාලන රැකවරණ සඳහා උප්පරවැට්ටි යොදති. තවත් සමහරු කෙසේ හෝ සංචාරක වීසාවකින් එහි ගොස් ගල්වෙති.

රටේ වත්මන් ජනාධිපති පවා වඩා යහපත් ජීවිතයක් වෙනුවෙන් රට හැර ගිය අයෙකි. ලාංකිකයන් රට හැර යාමට මෙතරම් කැමති ඇයිදැයි ඔහු හොඳින් දන්නේ ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැන් විකල්ප දෙකක් තිබේ. එකක් නම්, රටේ මිනිසුන්ට ඉන්න හිතෙන රටක් හදන්නට පසුගිය ආණ්ඩුව විසින් මුලපුරන ලද කටයුතු ඉදිරියට ගෙන යාම ය. අඩුපාඩු තිබුණත්, පසුගිය අවුරුදු හතරහමාර තුළ රටේ මිනිසුන්ට බොරුවට දේශපාලන රැකවරණ ඉල්ලා සිටින්නට බැරි තරම් නිදහස් වටපිටාවක් රටේ තිබිණි.

ජනාධිපතිවරයා හමුවේ තිබෙන අනෙක් මාර්ගය නම්, ලාංකිකයන්ට වැඩි වැඩියෙන් රටින් පළා යාමට හැකි වන වාතාවරණයක් රට තුළ නිර්මාණය කිරීමයි. ඔහු කලින් සම්බන්ධ වී සිටි ආණ්ඩුව යුද්ධය අවසන් වීමෙන් පසුව පවා මාධ්‍යකරුවන් පැහැරගෙන ගොස් ඝාතනය කළේ ය. යුද්ධය කාලයේ පවා එම ආණ්ඩුව විසින් පහර දෙන ලද හා ඝාතනය කරන ලද බොහෝ මාධ්‍යකරුවන් ආණ්ඩුවට එතරම් අභියෝගයක් වූ අය නොවේ. ආණ්ඩුවට ඇත්ත අභියෝගයක් වූ එකම මාධ්‍යකරුවා ධර්මරත්නම් සිවරාම් හෙවත් තරාකී පමණි. ඔහුගේ ඝාතනය ඉතා පැහැදිලි මිලිටරි ඉලක්කයකි. එහෙත් සිවරාම් පවා දක්ෂ මාධ්‍යකරුවකු වූයේ යයි මම නොසිතමි. දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ යුද ජනමාධ්‍ය භාවිතය කොළඹ සිට කරන්නට පුළුවන් යයි සිතීම ම අතිවිශාල මුග්ධකමකි.

පසුගිය රාජපක්ෂ ආණ්ඩුව විසින් කරන ලද මාධ්‍ය මර්දනය මුග්ධ දේශපාලකයන්ගේ ප්‍රතිචාරාත්මක ක්‍රියාමාර්ගයක් පමණි. එයින් රටට ඇති වූ අපකීර්තිය සුළුපටු නොවේ. අත්දැකීම් ඇති දේශපාලකයන් ලෙස පෙර වැරදි ම නැවත නැවතත් කරන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා ඔහුගේ ආණ්ඩුවට උවමනාවක් ඇතැයි අපි නොසිතමු.

(ඡායාරූපයේ සිටින්නේ මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් ය)

Translations

1 thought on “ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ කතා හා පැහැරගෙන යාම්

  1. පිටරට ඇසිලම් ගන්න යන එක ආතල් වැඩක්.. මමත් එහෙම ගියා… මම කලේ මුලින්ම ආජන්ටිනාවට වීසා එකක් ගත්තා.. ඊට පස්සෙ කොලඹ ඉදන් පැරිස් හරහා Buenos Aires වලට යන්න ටිකට් ගත්තා… එ ටිකට් එකට අනුව පැරිස් එයාපෝට් එකේ පැය 3විතර transit එකක් තියෙනවා… ( එකාලෙ නම් EU countries හරහා transit වෙන්න වීසා ඔනෙ නෑ, දැන් නම් ඔනෙ ඇති මම හිතේ ) මම පැරිස් එයාපෝට් එකට ගියා, ඊට පස්සෙ අනිත් ෆ්ලයිට් එකට නැග්ගෙ නෑ, flight එක යනකම් ඉදල පාස්පෝට් එක ඉරලා political asylum request කලා…. මාස 2-3ක් detention center එකේ ඉදලා වැඩේ ගොඩ ගියා… දැන් මම පවුලත් එක්ක ඉන්නෙ ජර්මනියේ මියුනික් වල…

Leave comment

Your email address will not be published. Required fields are marked with *.