Sampath Bank

අජිත් පැරකුම් ජයසිංහ

මේ දවස්වල සම්පත් බැංකුව හා ජාතිවාදය, මුස්ලිම් විරෝධය ගැන කතාබහක් ඇති වෙලා තිබෙන නිසා මගෙත් සතපහ ඒකට එකතු කරන්නයි මේ යන්නෙ. එක සිද්ධියකින් සමස්ත සම්පත් බැංකුව ගැන නිගමනයක් දෙන්නට බැරි වුණත්, එම සිද්ධිය විසින් සම්පත් බැංකුවේ බරපතල ගැටලුවක් නිරූපණය කරන බව පෙනෙනවා. එය ඇතැම් විට සමස්ත බැංකු පද්ධතියට ම අදාළ වෙන්නට පුළුවන්. එය සේවක මණ්ඩලයේ පුද්ගලයන්ගේ ජාතිවාදී, ආගම්වාදී, කුලවාදී, ලිංගික ප්‍රවණතා ඉක්මවා යන එකක්.

Translations by Creative Content Consultants

මේක මගේ පෞද්ගලික අත්දැකීම නිසා සාමාන්‍යකරණය කරන්නට බැරි ය කියලා කෙනෙකුට තර්ක කරන්නට පුළුවන්. ඒත්, බැංකුවට ඕනැ නම්, මේ සිද්ධි අධ්‍යයනය තමන්ගේ ඵලදායිතාව වැඩි කරගන්නට පාවිච්චි කරන්නට පුළුවන්.

මං දැන් අවුරුදු 20ක විතර කලක පටන් මගේ බැංකු ගිනුම් පවත්වාගෙන යන්නෙ සම්පත් බැංකුවේ. මා දැනට සේවකයන් පහක් පමණ සේවයේ නියුතු කුඩා ව්‍යාපාරයක යෙදී සිටින අයකු නිසා මගේත්, මා සම්බන්ධ සමාගමේත් ගිනුම් හරහා සැලකිය යුතු මුදල් සංසරණයක් සිදු වෙනවා. මා සම්බන්ධයෙන් ඇතැමෙකු කියන විදියට මට එන්ජීඕ ඩොලරුත් ලැබෙන්නට ඕනැ. කොහොම වුණත්, මා නම් දන්න විදියට මං වැඩ කරලා සැලකිය යුතු මුදලක් උපයනවා. ඒක බැංකුවල මිලියන් ගණන් වගේ ලොකු නැති වුණාට ලංකාවේ සාමාන්‍ය වැඩකරන ජනතාව එක්ක සන්සන්දනය කළාම නොසලකා නොහැරිය හැකි එකක්. මගේ පෞද්ගලික ගිනුමට අදාළව නම් අවුරුදු දහයකට වැඩි කාලයක් තිස්සේ ඒ ගිනුමේ ස්ථාවර ගනුදෙනු පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. මා ගුරු වෘත්තිය කරන කාලයේ මගේ මාසික පඩිය හා මගේ වෙනත් ආදායම් පවා ආවේ එම ගිනුමට.

විශ්වාස කරනවා ද, එච්චර පෙනි පෙනීත් මේ බැංකුවේ නිලධාරීන් මට ක්‍රෙඩිට් කාඩ්පතක් නිකුත් කරන එක ප්‍රතික්ෂේප කළ බව. මට ලොකු උදව්වක් කරනවා වගේ කිව්වා මගේ ඩෙබිට් කාඩ් එක පාවිච්චි කරන්නට පුළුවන් බව. මට ක්‍රෙඩිට් කාඩ් එකක් නොදෙන්නට හේතුව මට ස්ථිර රැකියාවක් නැතිකමයි. ඒත්, ඒ බැංකුවේ ගිනුමක්වත් නැති මගේ රජයේ සේවක බිරිඳට ඔවුන් ක්‍රෙඩිට් කාඩ්පතක් නිකුත් කළා. ඊ මනි ගැන කතා කරන යුගයක තමන් සමග සැලකිය යුතු ගනුදෙනුවක් කර තිබෙන, යහපත් ඉතිහාසයක් ඇති ගිනුම් හිමියකුට ක්‍රෙඩිට් කාඩ්පතක්වත් නිකුත් කරන්නට බැරි බැංකුවක් තමයි ඔය කියන සම්පත් බැංකුව. ඒ බැංකුව ප්‍රමුඛත්වය දෙන බව කියන සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි ඔක්කොම අනන්‍යතා මට තිබෙද්දි තමයි එහෙම වුණේ.

සම්පත් බැංකුවේ මුස්ලිම් විරෝධී වැඩ නිසා මං හිතන්නෙ නැහැ ඒ බැංකුවට ලොකු අලාභයක් වෙයි කියලා. සිංහල සමාජයේ අද වන විට පවතින තත්වය අනුව, සිංහල ජාතිවාදීන් රොද බැඳගෙන සම්පත් බැංකුවේ ගිනුම් ආරම්භ කරන්නට ඕනැ. හැබැයි, මං කියන්නෙ මේකයි. සම්පත් බැංකුව සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි, මධ්‍යම පන්තික අයටවත් නිසි සේවයක් සලසනවා ද කියා සොයා බලන්න. මේ බැංකුව සමග ගනුදෙනු කරන මා වැනි අයගේ අතෘප්තිය ගැනත් හිතන්න. මං දන්නෙ නැහැ, අනෙක් බැංකු ගැන. හැබැයි, මට හිතෙනවා ලංකාවේ සමස්ත බැංකු පද්ධතිය ම මේ විදියට සාමාන්‍ය ජනතාව බැහැර කරලා ය තියෙන්නේ කියලා. රට පුරා මේ තරම් ගිනි පොළී ජාවාරම් ව්‍යාප්ත වෙන්නට හේතුව තමයි, බැංකු පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය නැතිකම.

මෙම බැංකුවෙන් මට හෝ මගේ ව්‍යාපාරයට ණයක් ගන්නට පුළුවන් වෙයි කියා හිතන්නට පුළුවන් ද? අප වැනි සුළු ව්‍යාපාරිකයන්ට උපකාරයක් නැති බැංකුවක් සමග ගනුදෙනු කිරීම තේරුමක් නැති වුණත්, වෙනත් බැංකුවක් වෙත ගියත් මහා පිළිගැනීමක් ලැබෙන්නට තරම් සෙසු බැංකු ද හොඳ නැති බව දන්නා නිසා සහ ගිනුම් වෙනස් කිරීම ව්‍යාපාරික ගැටලු රැසක් ඇති කරන නිසා අපි එහෙමම රැඳී සිටිනවා. කොරෝනා නිසා සිදු වූ හානි වෙනුවෙන් අප වැනි අයට සහන ලබා දෙන්නැයි කියා රජය මෙම බැංකුවලට ඉතා අඩු පොළියට මුදල් ද දී තිබෙනවා. අපට පිහිටක් ලැබෙයි ද?

මා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කළ සමයේ මාසිකව මගේ වැටුපෙන් රුපියල් පන්දහසක් පමණ රක්ෂණයක් සඳහා කපාගත්තා. මට මේ රක්ෂණයෙන් ක්ලේම් එකක් ගන්නට අවස්ථාවක් මා එහි සේවය කළ කාලය තුළ යෙදුණේ ම නැහැ. අන්තිම මාසයේ මම රු. 17,000ක වෛද්‍ය බිල්පතක් වෙනුවෙන් එම රක්ෂණ ආයතනයේ ඇප් එක හරහා ක්ලේම් කළා. එය ද අමතක වී තිබී සිදු කළේ මා සේවය කළ අන්තිම දිනයේයි. මට ඒ වෙනුවෙන් මැලේසියාවේ ජාත්‍යන්තර බැංකු ශාඛාවකින් ඩොලර් අනූගණනක චෙක්පතක් මාසයකට පමණ පසු එවා තිබුණා. එතකොට මා එම ආයතනයේ සේවය කළේ නැහැ.

මම මේ චෙක්පත මාරු කරගැනීමට සම්පත් බැංකුවට ගියා. මා වෙනත් බැංකුවක් සමග ගනුදෙනු කළේ නැහැ. එහෙත්, සම්පත් බැංකුව මෙම චෙක්පත භාරගැනීම ප්‍රතික්ෂේප කළා. එවැනි චෙක්පතක් ලැබීම වරදක් නොවන නිසා, මට එම චෙක්පත මාරු කරගන්නට දිය හැකි විසඳුම මොකක්ද කියා ඇසුවාම, මේ බැංකුවේ නිලධාරීන් කිසිම ලැජ්ජාවක් නැතුව කිව්වේ, තම බැංකුවට ඒ සඳහා විසඳුමක් නැති බවයි. සම්පත් බැංකුව කියන්නෙ ඔබට විදේශ බැංකුවකින් ඩොලර් 99ක චෙක්පතක් ලැබුණොත්, ඒ චෙක්පත ඉවත විසි කර දමන්නැයි කියන බැංකුවක් බව මතක තබාගන්න.

පසුව සොයා බලන විට දැනගන්නට ලැබුණේ එම බැංකුවේ ජාත්‍යන්තර නිෂ්කාශන නියෝජිතායතනය සමග ඔවුන් ගිවිසුමට එළැඹ තිබෙන්නේ ඩොලර් 100ට වැඩි චෙක්පත් පමණක් නිෂ්කාශනය කළ හැකි පරිදි බවයි. මට විසඳුමක් දීමට ක්‍රමයක් නැති බව කියා වෙන බැංකුවක් වෙත යන්නැයි කියන්නට තරම් ලැජ්ජා නැතිකමකුත් මෙම බැංකුවේ නිලධාරීන්ට තිබිණි.

මෙම බැංකුව සිංහල යයි කීවාට, සිංහල වුණත් අප වැනි පොඩි මිනිසුන්ට මේ බැංකුවෙන් වැඩක් ඇත්තේම නැති බව ඔබට නොපෙනේ ද?

ඉතා සාධාරණ ආදායමක් වූ මෙම චෙක්පත නිසා මා පත් වූ අපහසුව කියන්නත් ලැජ්ජා ය. මෙම චෙක්පත දැමීම වෙනුවෙන් මට සෙලාන් බැංකුවේ අලුතින් ගිනුමක් විවෘත කිරීමට සිදු වුණා. අලුතින් විවෘත කරන ලද එම ගිනුමට මෙම චෙක්පත දැමූ මා ඔවුන් සැලකුවේ වංචනිකයකු ලෙසයි. චෙක්පත සමග එය සමග මා වෙත එවන ලද ලියුම ද ඉදිරිපත් කරන ලද මුත්, බැංකුවේ නිලධාරීන් මගෙන් ප්‍රශ්න කළේ මා හොරබඩුවක් රැගෙන ආවා වගෙයි. අඩු තරමේ මා කවුන්ටරයෙන් මෙම චෙක්පත මාරු කරගන්නට ගිහින්වත් නොවෙයි. මා එහි මුදල් ඉල්ලා සිටියේ එය නිෂ්කාශනය වී පැමිණි පසු ලබාගන්නටයි. ඒත්, ඔවුන් දිගටම කිසිදු හේතුවක් නැතුව මා සැක කළා. මේ චෙක්පත භාර නොගෙන ඉන්නට තමයි ඔවුනුත් උත්සාහ කළේ. අවසානයේදී එහි වටිනාකමට මුදල් එම ගිනුමට දමන්නට ද මට සිදු වුණා. ඔවුන් චෙක්පත භාරගත්තේ ඉන් අනතුරුව ය. එම චෙක්පත කිසිදු ගැටලුවකින් තොරව මුදල් බවට පත් වුණා.

මා එවැනි නින්දාවකට පත් වූයේ ද දීර්ඝ කාලයක් තිස්සේ සම්පත් බැංකුව සමග ගනුදෙනු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ය. මා සෙලාන් බැංකුව සමග ගනුදෙනු කළා නම් එසේ නොවන්නට ඉඩ තිබිණි. හැබැයි, සෙලාන් බැංකුවත් අඩුවක් නැතුව සම්පත් බැංකුව වගේ ම අසංවේදී ආයතනයක් බවට වෙනත් සාක්ෂි අවශ්‍ය ද? මෙය සමස්ත බැංකු පද්ධතියේ ම ගැටලුවක් බවට වෙනත් කතා අවශ්‍ය ද?

Translations

1 thought on “සම්පත් බැංකුව එක්ක අවුරුදු විස්සක්

  1. ක්‍රෙඩිට් කාඩ් නම් නොගෙන ඉන්න එක ශරීර සෞඛ්‍යට ඉතාම හොඳයි.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.