අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2021-01-03

ගිය සතියෙ දවසක දවල් මං රජයෙ කන්තෝරුවකට ගියා වැඩක් කරගන්න. කොවිඩ්-19 නිසා කොන්දේසි ගොඩයි. අදාළ කවුන්ටරේ අරින්නෙ උදේ වරුවෙ විතරයි. අදාළ ලේඛන එදාම නිකුත් කරන්නෙත් නැහැ. මුද්දර, ලියුම් කවර දෙන්න ඕනැ. එතකොට තැපෑලෙන් එවනවා. සිකියුරිටි ගාඩ් මහත්තයා නවතම කොවිඩ් විධිවිධාන ගැන මට දේශනයක් පැවැත්වූවා.

“දැන් භාරදෙන්න බැහැ. හෙට උදේ තමයි පුළුවන්,” සිකියුරිටි ගාඩ් කිව්වා. “ඕනැනම් ඇප්ලිකේෂන් එක අරගෙන ගිහින් ගෙදරින් පුරවගෙන එන්න පුළුවන්.”

“එහෙනම්, මට ඇප්ලිකේෂන් එකක් දෙන්නකො,” මං කිව්වා.

සිකියුරිටි ගාඩ් මහත්තයා මාස්කෙක පාත් කරලා ඇඟිල්ල කටේ එබුවා. ඇප්ලිකේෂන් එක ගන්න.
එතන ඉඳලා මං එයාට දේශනයක් පැවැත්වූවා. අපරාදෙ කියන්න බැහැ, ගාඩ් මහත්තයා අත්දෙක සබන් දාලා හෝදගෙන ඇවිත් තමයි ආපහු කඩදාසිය ඇල්ලුවෙ. මං එයාට කිව්වෙ අර තැපැල් කන්තෝරුවල වගේ පීරිසියකට හරි පරණ යෝගට් කෝප්පෙකට හරි වතුර ටිකක් දාලා ස්පොන්ජ් කෑල්ලක් තියාගන්න කියලායි.

මේ ප්‍රශ්නෙ සුපර් මාකට්වල, එළවළු කඩවල එහෙමත් තිබෙනවා. වියළි අත්වලින් ෂොපිං බෑග්වල කට ඇරගන්න අමාරුයි. සමහර සුපිරි වෙළඳසල්වල ගෑනු ළමයින්ගෙ සේවා කොච්චර හොඳද කියනවා නම් මං ඔය බෑග් ඇරගන්න ට්‍රයි කරනවා දැකලා ඒ ළමයි ඇවිත් මට ඒක ටක් ගාලා කරල දෙනවා. නැතිනම් ඉතින් මං වට්ටක්කා කෑල්ලක් අල්ලන්න ඕනැ ඒ වැඩේට. මේ කාලෙ ඒ වගේ වැඩ හොඳ නැහැ.

තව මේ වගේ මං දැකලා තියෙන බඩ දඟලන වැඩක් තමයි හුඟක් ටයර් කඩවල වැඩකරන මිනිසුන් හුළං බලන විදිය. ඒගොල්ලන් ඇඟිල්ල කටේ දාලා කෙළ තලියක් වෑල් එක උඩින් තියලා තමයි වෑල් එකෙන් හුළං බහිනවද බලන්නෙ. ඒකෙන් වෙන කෙනෙකුට ඍජු හානියක් වෙන්නෙ නැහැ. ඒත්, අපි හැමෝම ආරක්ෂා නොවුණොත්, සමාජයක් විදියට අපි අනාරක්ෂිතයි. ඉඳහිට ටයර් කඩේක මේ සඳහා සබන් වතුර පුරවපු හීන් කෙමිය තියෙන උපකරණයක් පාවිච්චි කරනවා.

අපි සමාජ විපර්යාස ගැන කතාකරනකොට බලය සම්බන්ධ මහා ලොකු දේවල් ගැන විතරයිනෙ කතාකරන්නෙ. හැබැයි, මගේ ජීවිත කාලය ඇතුළත මම නම් සමාජය වෙනස් වෙනවා දැක්කෙ මේ වගේ පොඩි පොඩි කාරණාවලින්. අපි පොඩි කාලෙ කොකුපණු රෝගය සමාජයේ බරපතල විදියට පැතිරිලා තිබුණා. මිනිසුන්ට වැසිකිලි ගිහින් දෑත් සෝදාගන්න එක, පණු බෙහෙත් බොන එක එහෙම හුරුකරන්නට රජයෙන් ප්‍රචාරණ ව්‍යාපාර ගෙන ගියා. ඒ කාලෙ තිබුණෙ කක්කුස්සි, අතුමඩු, තිස්බඹේ. වැසිකිලිය විතරක් නෙමෙයි, තමන්ගෙම ශරීරෙ ගුද ප්‍රදේශය පවා පිළිකුල් කරමින්, නොසලකා හැරියා. පෞද්ගලික ස්වස්ථතාව පැත්තෙන් දැන් අපි එදාට වඩා යුග ගණනක් ඉදිරියෙන් ඉන්නෙ. ඒ වුණාට පොදු ස්ථානවල පිරිසිදුකම වැනි දේවල් අපට තව ගොඩක් ඉගෙනගන්නට තියෙනවා.

කොවිඩ්-19 එක්ක අද වනවිට අපේ මිනිසුන් කවුරුත් නගරයට යන්නෙ මාස්ක් දාගෙන. ඒක වුණත් ලොකු දෙයක්. අපට වෙනස්වෙන්න පුළුවන්. වෙනස තියෙන්නෙ බලාධිකාරයන් තුළ විතරක් නෙමෙයි. අප ළඟත් තියෙනවා. සමාජය වෙනස් කිරීම කියන්නෙ පුළුල්ව විහිදුණු, පරිපූර්ණ කාර්යයක්. අප හැමෝටම එහි වගකීමක් තිබෙනවා. විශේෂයෙන්ම කම්කරු පන්තියට එහි වගකීම වැඩියි. වෙනස්වෙමු. අපෙන් වෙනස පටන්ගනිමින් වෙනස වෙනුවෙන් සටන් කරමු. උදාහරණයක් විදියට දූෂණයට එරෙහිව සටන් කරන අපි දූෂණයෙන් අත්මිදෙන්නට ඕනැ. සමාජවාදය වෙනුවෙන් අරගල කරන අපි සමාජවාදී ජීවන විලාසයක් අප තුළම ගොඩනගාගන්නට ඕනැ.

1 thought on “වෙනස වෙනුවෙන් වෙනස් වෙන හැටි

  1. Issara , desapalanika wam iwura sakriyawa pewathi yugaye ekala mekala se nowa kamkaru panthiyata paalakayan dana gesviemata tharam balakak thibuna .
    Owho vedipura katayuthu kale aithiwasikam wenuwen haa Uthopiyaa sihinaye rajaviemai .
    Oya kulakaye ” Burusuwaasi kaarayan ” da sitiya . Kamkaruwo ease handinwooye Borshuwashi jiewana ratawa gathakarana udaviya .
    Ae kaale hetiyata anaagathaya udesa wenas woo hetiya . Ae minissu den nethath unge janithayan den rajakaranne evilasini .
    Wenas kala yuththe minisun nowa owunge purusaarthayanya .

Leave comment

Your email address will not be published. Required fields are marked with *.